විදු නැන නුවණ – Science Literacy for All

ධූමකේතු සෙවීමට පුරවැසි විද්‍යාඥයන්

ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක්(comet) සොයා ගැනීම තාරකා විද්‍යාඥයෙකුට ජීවිත කාලය තුළ ලබාගත හැකි ඉහළම ජයග‍්‍රහණයක්. මහා  ධූමකේතු ඒවා සොයගත් විද්‍යාඥයන්ගේ නාමය රැගෙන ඉතිහාසයට එක්වෙයි. හැලීගේ ධූමකේතුව, ලව්ජෝයි ධූමකේතුව, හෙල්-බොප් ධූමකේතුව මෙසේ නම් කරනු ධූමකේතු අතුරින් කිහිපයක් පමණකි. එසේ වුවද, ධූමකේතුවක් සොයා ගත් විගස එය විනාශ මුඛයට පත්වේ නම් එය සොයා ගත් තැනැත්තාට ඉන් ඇතිවන අපෙක්ෂාභංගත්වය කොපමණදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. හැබැයි, ඉතිහාසයේ මෙතෙක්  වැඩියෙන්ම  ධූමකේතු සොයාගන්නා දිනපතාම පාහේ  මුහුණ දෙන අමිහිරි සත්‍ය මෙය තමයි.

සූර්ය හා සූර්යග‍්‍රහ මණ්ඩලයට අයත් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය(Solar and Heliospheric Observatory) හෙවත් SOHO  යනු ESA ( European Space Agency යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය) සහ NASA (National Aeronautics and Space Administration ජාතික තාරකා විද්‍යාඥ හා අභ්‍යවකාශ පරිපාලනය, ඇමරිකා එක්සත් ජනපදය) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. එ මගින් සූර්යයා ආසන්නයෙන් ගමන් කළ විනාශ මුඛයට පත් ධූමකේතු 3,000 කට වැඩියෙන් සොයාගෙන ඇත. සූර්ය හා සූර්යග‍්‍රහ මණ්ඩලයට අයත් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය වැඩි දෙනෙකු දන්නේ එහි ඉංග‍්‍රීසි අකුරු වලින් සෑදුණු SOHO  යනුවෙනි.

පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක හෙවත් සැතපුම් 932,000 ඈතින් සූර්යයා වටා කක්ෂගතව ඇති SOHO අභ්‍යවකාශ යානය  වෙනත් කිසිම අභ්‍යවකාශ යානාවක් හෝ තාරකා විද්‍යාඥයෙකු විසින් සොයා ගනු ලැබුවාට  වඩා ධූමකේතු සොයා ගෙන තිබේ. එසේ වුවද SOHO ධූමකේතු සියල්ලම පාහේ විනාශව ගොසින්ය. ‘අප ධූමකේතුවක්  නිරීක්ෂණය කරන සෑම වාරයකදීම ඒවා සිඳී බිඳී යනවා’ යයි වොෂිංශ්ටන් නුවර නාවුක පර්යේෂණ පරීක්ෂණාගාරයේ සූර්ය විද්‍යාඥ කාල් බටම්ස් කියයි. 2003 වසරේ සිට ධූමකේතු දර්ශන(SOHO comet-sighting website) වෙබ් අඩවිය භාරව කි‍්‍රයා කරන්නේ ඔහුය. ‘‘සූර්යයාට ඉතා ආසන්නයෙන් ගමන් ගන්නා ධූමකේතු SOHO මගින් දර්ශනය කරනවා. එහෙත් ඒවාට (ධූමකේතුවලට) තීව‍්‍ර සූර්යයා ලෝකය දරාගන්න බැහැ’’ බටම්ස් පෙන්වා දෙයි.

SOHO මගින් සොයා ගනු ලබන මේ ධූමකේතු බහුතරය අයත් වන්නේ ක්‍රොයිට්ස් (Kreutz) පවුලටයි. හිරු සූරන ක්‍රොයිට්ස් ධූමකේතු (Kreutz sungrazers) ඇත්තටම මෙයට වසර දහස් ගණනකට පෙර කැඞී බිඳී ගිය එක් තනි යෝධ ධූම කේතුවක කොටස්. ඒවාට ඔය නම ලැබී ඇත්තේ මෙකී ධූමකේතු හොඳින් අධ්‍යයනය කළ හයින්රිච් ක්‍රොයිට්ස් නම් 19 වැනි සියවසේ ජර්මානු තාරකා විද්‍යාඥයාගේ නමිනුයි. සාමාන්‍යය ගතහොත් සෑම දින තුනකට වතාවක් අළුතෙන් ක්‍රොයිට්ස් පවුලේ සාමාජිකයෙකු සොය ගනු ලැබේ. එහෙත් මේ කුඩා ධූමකේතු විනාශභිමුඛව සූර්යයාට ආසන්න කක්ෂයක ගමන් කරයි. ‘‘සූර්යයා වටා ගමන් කිරීමට හැකි වී ඇත්තේ එකම එක ක්‍රොයිට්ස් ධූමකේතුවකට පමණයි. ඒ ලව්ජෝයි ධූමකේතුවයි. ඒත් අපට විශ්වාසයි එයත් සතියකින් දෙකකින් කැඞී බිඳී ගිය බව’’ බටම්ස් කියයි.

SOHO ධූමකේතු ඉක්මණින් විනාශ වී ගියද ඒවායින් විද්‍යාවට වැදගත් සේවාවක් ඉටුවෙයි. නිදසුනක් දක්වතොත් ධූමකේතුවේ වලිගයට ‘පිට පිට පහර දී’ ඒවාට මග පෙන්වන්නේ සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රයයි. වලිග නැවෙන හා පැද්දෙන ආකාරය අනුව සූර්යයාගේ චුම්බක ක්ෂේත‍්‍රය ගැන පර්යේෂකයන්ට  බොහෝ කරුණු නිර්ණය කළ හැකිය. 1995 SOHO යානය අභ්‍යවකාශ ගත කිරීමට පෙර, අභ්‍යවාකාශයෙන් සොයා ගනු ලැබ ඇත්තේ ධූමකේතු අතළොස්සකි. එමෙන්ම, 1761 සිට පෘථිවියේ සිට සොයා ගනු ලැබූ ධූමකේතු සංඛ්‍යාව 900 ක් පමණ වේ. SOHO මේ තත්වය උඩු යටිකුරු කර ඇත. ඒ අනුව එය ලොව විශිෂ්ටතම ධූමකේතු ගවේෂකයා බවට පත්ව තිබේ.

කෙසේ වෙතත්, මේ හපන්කම SOHO තනියම සිදු කළ එකක් නොවේ. මෙම යානය සිය කාර්යයන් සඳහා විශ්වාසය තබා ඇත්තේ දත්ත පීරා බලමින් ඉන්නා ජනතාව මතය.  SOHO අනුරූප, මාර්ගගතව එවේලේම ලබා ගත හැකි හෙයින්  ඕනෑම අයෙකුට මෙයට දායක විය හැකියි. නව ධූමකේතු පිළිබඳව ඔත්තු බලමින් ස්වේච්ඡා ආධුනික තාරකා විද්‍යාඥයෝ බොහොමයක් දෛනික පදනමක් මත දත්ත සුපරීක්ෂණය කරති. මෙන්න එහි ප‍්‍රතිඵලය : SOHO ධූමකේතු වලින් 90% සොයා ගනු ලැබ ඇත්තේ පුරවැසි විද්‍යාඥයන් විසිනි.

කිසිවෙකු ධූමකේතුවක් සොයා ගත් කළ එම අය ඒ බව බටම්ස්ට දන්වයි. ඔහු රූප සංඥා පිරික්සා බලන්නේ සොයා ගැනීම සනාථ කිරීමටයි. අනතුරුව ඒ ගැන තාරකා විද්‍යාත්මක ටෙලිග‍්‍රෑම් සඳහා වූ මධ්‍යම කාර්යාංශයට(Central Bureau for Astronomical Telegrams) දැනුම් දෙනු ලැබේ.  කාර්යාංශය මගින් අළුතෙන් සොයා ගත් ධූමකේතුවට නිළ නමක් දෙනු ලැබේ. ඒ නම තමයි SOHO: ඔව්ඔබ සිතුවා නිවැරදිය. පෘථිවියේ සිට සොයා ගනු ලබන ධූමකේතු එය මුලින් සොයා ගනු ලැබූ තැනැත්තාගේ නමින් නම් කෙරේ. එසේ වුවද අභ්‍යවකාශය පාදක කරගත් ටෙලස්කෝපයකින් සොයා ගනු ලබන ධූමකේතු නම් කරනු ලබන්නේ එම අභ්‍යවකාශ යානයේ නමිනි. සොයා ගනු ලැබූ 3000 වැනි ධූමකේතුවට නම තැබුනේ “SOHO-3000.” ලෙසිනි. එයත් ඉතින් දැනටමත් විනාශව ගොස් ඇති බව සත්‍යයකි. ඒත් විශිෂ්ටතම ධූමකේතු සොයන්නා(ඔව්,SOHO) දිගටම සිය කාර්යයෙහි යෙදෙයි.

NASA Science Newsletter හි පළවූ Spacecraft Discovers Thousands of Doomed Comets ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: