සංකල්ප සාර සංග්‍රහය 45: ආත්මය(The Soul)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
සෑම මනුෂ්‍යයෙකුටම ආත්මයක් — භෞතික නොවන අද්යාත්මික සාරාර්ථයක් — ඇත යන්න බොහෝ සංස්කෘතීන්ට සහ ආගම්වලට පොදුය. මේ අදහස ඉතිහාසයේ ආරම්භය දක්වා ඈතට නිරීක්ෂණය කළහැකිය.
ආදිකාලීන ඊජිප්තුවේ සහ ආදිකාලීන චීනයේ පැවති අදහස වුයේ ආත්මයට ආකාර දෙකක් තිබෙන බවයි. ඉන් එක ආකාරයක් සිරුරත් සමගම මියයයි. අනෙක නොනැසී පවතී. පුරාණ ග්‍රීසියේ දී ඇරිස්ටෝටල් පරිකල්පනය කළේ ආත්මය වනාහි (මිනිසුන්ගේ, සතුන්ගේ හෝ ශාකවල වේවා) සිරුරෙන් වෙන්කළ නොහැකි ස්වරුපයක් හැටියටය. ප්‍රතිපල වශයෙන් ගත් කළ සිරුර හැසිරෙන ආකාරය එයයි. එනම් එහි සප්රාණික අංගයයි. ප්රාණීවාදී සංස්කෘතිවල(animistic cultures) සෑම සජීවී ප්රාණීයෙකුටම ගංගා සහ පාෂාණ වැනි අජීවී දේ බොහොමයක් සේම ආත්මයක් හෙවත් අධ්‍යාත්මයක් ඇත.
කෙසේවෙතත්, වඩාත්ම ආනුභාවසම්පන්න බවට පත්වුයේ තවත් ග්‍රීක දාර්ශනිකයෙකු වන ප්ලේටෝ විසින් ප්‍රසිද්ධියට පත් කෙරුණු ආත්මය පිලිබඳ අදහසයි. ප්ලේටෝ ආත්මය දැක්කේ අභෞතික එමෙන්ම ජිවිතයේ දී පමණක් සිරුර සමග එක්වන්නක් ලෙසයි.
මේ ශරීර-ආත්ම බෙදීම ක්‍රිස්තියානි ධර්මය විසින්ද වැළඳ ගනු ලැබිය. ඒ අනුව ආත්මය දෙවියන් විසින් මවනු ලබන අතර පිළිසිඳ ගැනීමේදී සිරුරට අතුලුකරනු ලැබේ. සිරුර මිය ගිය පසුව ද එය පවතින අතර ලෝකය අවසානයේ දිව්‍යමය විනිශ්චවයට පාත්රව ආත්මය එහි ගුණය අනුව දිව්‍ය ලෝකය හෝ නිරය සදාකාලිකව උරුම කෙරේ. ඉස්ලාම් ධර්මයේ ද මෙවන් විශ්වාස දැකිය හැකිය. හින්දු ආගම සහ බුද්ධාගම දක්වන්නේ ආත්මය නැවත නැවත ඉපදීමේ නොනවතින සංසාර චක්‍රයකට හසුවන බවයි. අලුතෙන් උපදින්නාවූ සෑම බවයකම ස්වරුපය රඳා පවතින්නේ කර්මය මතයි. කර්ම යනු අතීතයේ සිදු කළ ක්‍රියාවන්ගේ ඵලවිපාක ලෙස දැක්විය හැකිය.
ක්‍රිස්තියානි ආගමේ මේ ශරීර-ආත්ම ද්විධාකරණය(dichotomy) ගැබ්ව ඇත්තේ රෙනේ ඩේස්කාට්ස්, දාහත්වැනි සියවසේදී ඉදිරිපත් කළ මනස-සිරුර ද්වෛතවාදය(dualism) මධ්‍යයෙහිය. එම මතවාදය අනුව මනස සහ සිරුර යනු අසම්බන්ධිත වුව ද කෙසේ හෝ එකිනෙක හා අන්තර් ක්‍රියා කරන වස්තු දෙකකි. නුතන දර්ශනවාදයේ දී ආත්මයේ ස්වභාවය පිළිබඳ විවාදය මනස, පුද්ගලත්වය, අනන්‍යතාව සහ සවිඥානකත්වය පිළිබඳ සංසෝධිත විවාදයක් බවට පත්ව ඇත.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ The Soul යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න