විදු නැන නුවණ – Science Literacy for All

මුම්බායි පාඩම: සංවර්ධනය වෙනුවෙන් පරිසරය කැපකිරීමේ ඵලවිපාක

අර්මා චන්ඩ මාරුතය අද සිදු කරන විනාශය ගැන මේ මොහොතේත්  ලෝක ප්‍රවෘත්ති සේවාවලින් පුළුල්ව  වාර්තාවේ.  මෙයට කලින්, හාවි චණ්ඩ මාරුතය යනුවෙන් නම් කෙරුණු කුණාටුව ටෙක්සාස්හි හූස්ටන් අවට ප‍්‍රදේශය ජල ගැලීමෙන් යට කර දමද්දී උතුරු ඉන්දියාවේ, නේපාලයේ සහ බංග්ලාදේශයේ විශාල ප‍්‍රදේශයන්ද මහ වැහිවලට ගොදුරු විය. තවද, මුම්බායි පුරවරයෙහි තවත් මහා ජලගැල්මක්ද හට ගත්තේය. මෙහිදී පුද්ගලයන් ගණනාවක්ම ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් වැඩි දෙනෙකු සිට ඇත්තේ මහවැස්සෙන් දුර්වලව ගොස් කඩා ඇද හැළුණු සිව් මහල් ගොඩනැගිල්ලක් තුළය. අධික ජනගහනයෙන් යුත් නගර නාගරික ප‍්‍රදේශවල එවැනි ජීවිත හානියක් සිදු වූ කල බොහෝ විට වැරැද්ද පැටවෙන්නේ මහා නගර හා නගර,  වුවමනාවට වඩා ජනගහනයකින් යුක්තවීම යන කාරණාව මතයි. ඉන්දියාවේ මහා නගර ජනගහනය පෙර නොවූ විරූ  අනුපාතයෙන් ඉහළ  යයි. 1950 දී මුම්බායි ජනගහනය මිලියන 2.86 ක් වූ අතර අද මුම්බායි නගරය මිලියන 21 ක් ගේ නිවහනයි. 2030 වන විට එය මිලියන 28 ක් වෙතැයි සැලකේ. (සසඳන්න : 2030 ශී‍්‍ර ලංකාවේ ජනගහනය මිලියන 22ට මඳක් වැඩිවේයැයි ගණන් බලා ඇත. – පරිවර්තක). වෙරළ ඉමෙහි කොදෙව් පෙළක් ඔස්සේ ගොඩ නැගී ඇති මේ පුරවරය ජලයෙන්: මඩතලා(mudflats ), විල් (ජලාශ), දොල, ගංගා සහ නිරන්තරව දැකිය හැකි වෙරළ ඉම වටවී ඇත.

මෙම පුරවරයේ ඇතැම්  කොටස්වල අහස උසට නැගි ඉඩම් මිල ගණන් මෙන්ම අතිශය දැඩි ඉඩම් හිඟය  ගැන සළකන විට මුම්බායි පුරවරය, සංවර්ධනය වෙනුවෙන් පරිසරය පාවා දී ඇතැයි යන්න පුදුමයට කාරණාවක් නොවේ. ඉඩකඩම්, දේපොළ වෙළෙඳාම් කර්මාන්ත සහ (දුම්රිය මාර්ග, මහා මාර්ග සහ ගුවන් තොටුපලවල් වැනි) රජයේ උපරි ව්‍යුහය, මූලෝපායිකව වැදගත් ස්ථාන කිහිපයකදීම නගරයේ ජල පද්ධතිය අවහිර කර තිබේ.  සෑම මෝසම් වාරයක් පාසාම පුරවරය ජලගැල්මට ලක්වේ.  කුණාටුවලින් මුල පුරන ජල ප‍්‍රවාහය තරමක් හෝ මන්දගාමී කිරිමට කලක් උපකාරී වුයේ මඩතලා, පිටාර තැන්න, කඩොලාන හා වනශාක පද්ධතීන්ය. කඩොලාන සතු සංකීර්ණ මූල පද්ධතිය සහ ශාකවල අතුපතර ජල ප‍්‍රවාහයේ බලය බාල කිරිමට සලස්වන ස්වාභාවික අවරෝධකයක් ලෙස කි‍්‍රයා කළේය. දැන් ඒවා වසාගෙන ඉදිකිරීම් සිදු කර ඇත. සෑම තැනකම දමා ඇති කුණු කසල ජලමාර්ග අවහිර කර දමයි. ජල කඳන් එකට යා කරන ඇළ වල් සහ වෙනත් ජල මාර්ගද ඉදිකිරීම්වලින් වැසී ගොස්ය. මෙය ජල ප‍්‍රවාහයන්ට පහසුවෙන් මුහුදු කරා ළඟාවීම අවහිර කරන  අතර එම තත්ත්වය  ජල ප‍්‍රවාහයන්ට බලකෙරෙන්නේ නගරයේ පහත් බිම් වෙත ඇදී යාමටයි. එලෙස එයද මහ ජලගැල්මට දායක වෙයි.

මුම්බායි නගරයේ 19 වන සිය වස මුල සිට නගරයේ කොටස එකිනෙකට යා කළ, පුළුල්ව පැතිර ගිය මඩතලා හා තෙත් බිම් අද අතුරුදන්ව ගොස්ය. ඒවා පැවතියේ නම් වැහි ජලය රඳවාගෙන භූමිය ඉන් පෙඟවීමෙන් ළිං සහ භූගත ජල මට්ටම ප‍්‍රතිපෝෂණය කිරීමට ඉවහල් වේ. එහෙත් අද, වෙන කිසිවකටත් ඉඩ නොදී නගරය පුරා වසාගෙන ඇති කොන්කී‍්‍රට් තට්ටුව. එය හරහා ජලය ගලා යාමට ඉඩ නොදෙයි. විශේෂයෙන්ම, ඉතා දැඩිව වර්ෂාව පවතින අවධිවල විනාශය අතිශය දරුණුය. ඒ 2005 කුප‍්‍රකට ජල ගැලීමේදී,  අඩු තරමින් පුද්ගලයින් 5000කගේ වත් ජීවිත හානියට පත් වූ බව කියැවේ. එහි ආර්ථික හානිය ඉන්දියානු රුපියල් බිලියන 30 ක් ලෙස ගණන් බලා තිබේ.

අන්තරාවලෝකනයේ අවශ්‍යතාව

පෙර කී 2005  මහා ගංවතුරෙන් පසුව ඉන්දීය රජය මගින් පත් කළ කමිටුවක් මගින් ව්‍යසනයට හේතු සාධක සොයා බැලින. එහිදී නිගමන වූයේ මුම්බායි හි තෙත් බිම් හා ජලමාර්ග වහා යළි ප‍්‍රකෘතිමත් කළ යුතු බවයි. 2009 දී මුම්බායි මහ නගර සභාව විසින් මහා මුම්බායි කි‍්‍රයාකාරී සැලැස්ම සකසන ලදී. එහි සඳහන් කරනු කාරණා අතර නගරයේ ප‍්‍රධාන ගංගාව වන ‘මිති’ යළි ප‍්‍රකෘතිමත් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබුණි. ඒ වන විට මිති ගංගාව තැනින් තැන පටු ඇළක ස්වරූපයක් ගෙන තිබුණි. ඒ කෙසේ වෙතත්, රෙකමදාරු කළ කරුණුකාරණා කි‍්‍රයාවට නැංවීමේ ප‍්‍රගතියක් නොමැතිවීම ගැන ඔය කාලයේදීම වාගේ කි‍්‍රයාකාරී සැලැස්ම අධික්ෂණය කිරීම භාරව සිටි කමිටුවේ සභාපති, ජල විද්‍යා විශේෂඥ මාදව් චිටාල්, සිද්ධියේම කරුණු ගෙන හැර පෑවේය. ඔහු පෙන්වා දුන්නේ, වැසි වතුර ගලා යාමට අවශ්‍ය ගමන් මං තැනීමට අත්‍යවශ්‍ය වන මූලික භූවිෂමතා දත්ත නගරය සතුව නොමැති බවයි. පසු කලෙක ඇති වන වර්ෂාවලදී ජල ගැල්ම නතර කරලීමට එවන ගමන් මං උපකාරී වේ.

මෑතක අවුරුදුවලදී දේශගුණ විද්‍යාඥයන් නාගරික විශේෂඥයන් මෙන්ම සිවිල් සමාජ කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ එමෙන්ම අනතුරු හැඟවූයේ මුම්බායි පුරවරය තවත් මහා ගංවතුර විනාශයක් කරා යමින් සිටින බවටයි. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් අධික වර්ෂා පතන ඇති වීමට තිබෙන හැකියා වැඩියි.  ඊටත් වඩා ප‍්‍රබල හේතුවක් ලෙස නිසියාකාර සූදානමකින් තොරවීම දැක්විය හැකියි.  මේ  කරුණු ඒකාබද්ධව නිර්මාණය කර ඇත්තේ වර්ධනයවෙමින් පවතින  ව්‍යසනකාමී තත්ත්වයක්ය යන  අනතුරු හැඟවීම් මෙවර මෝසම් සමයේදී යථාර්ථයක් බවට පත්විය.

දේශගුණ විපර්යසයන් හේතුවෙන්  දැඩි වර්ෂාපතනය සඳහා ඇති  ඉඩකඩ ඉහළ යන බව   මුම්බායි නගර සැලසුම්කරුවෝ දනිති. එමෙන්ම, නගරයේ තෙත් බිම්, ගංගා හා පිටාර තැන්න ආදී ජාලා ප‍්‍රකෘතිමත් කිරීම ජල ගැල්ම පාලනයට අත්‍යවශ්‍යයි. පුරවරයක ස්වාභාවිකත්වය මුදලින් ආදේශ කළ නොහැක. ඉන්දීය පුරවර ඉතිහාසය පිළිබඳ අවධානයෙන් යුතුව හදාරන කළ පෙනී යන්නේ, ඓතිහාසිකව නගර සංවර්ධනය වී ඇත්තේ  ස්වාභාවිකත්වයෙන්() ලැබෙන සහයෝගීතා පද්ධති සමගයි.  දිල්ලිය, බැංගලෝරය හා චෙන්නායි ඇතුළු අද දින ඉන්දියානු නගර බොහොමයක දැක ගත හැකි පරිදි මේ පද්ධතිය බිඳ වැටෙන විට එම නගරවල පැවැත්ම ප‍්‍රශ්නයට ලක්වේ. මුම්බායි නගරයේ අද කාන්තාරය වනාහී බොහෝ  ඉන්දියානු නගර සහ මියාමි, හුස්ටන් ආදී ලෝකයේ අනෙක් කොටස්වල ඇති නගර කෙරෙහි ද බලපාන ව්‍යසනවල ප‍්‍රතිබිම්බයකි. වඩාත් තෙතබරිත  අනාගතයක නගර වර්ධනයවීමට නම් පරිසරවේදය අත්‍යවශ්‍ය වන බව වෙන කවරදාකටවත් වඩා පැහැදිලිය.

NASA Climate හි Mumbai floods: what happens when cities sacrifice ecology for development යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: