විදු නැන නුවණ – Science Literacy for All

හිරු ගින්දර වගෙයි – සඳු වතුර වගෙයි

කි‍්‍ර.පූ.  140 දී පමණ ගී‍්‍රක තාරකා විද්‍යාඥ හිපාකස් තාරකා ගණනක කැටලෝගයක් සම්පාදනය කළේය. පුරාතන ලෝකයේ ජීවත් වූ වඩාත්ම අනගි තාරකා විද්‍යාඥයා සමහරවිට ඔහු විය හැකියි. හිපාකස් සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ චලනයන් මෙන්ම ග‍්‍රහණ සිදුවන දින පුරෝකතනය කරන ආකාරය ද පැහැදිලි කර දීමට සමත් විය. කි‍්‍ර.ව. 150 දී පමණ රචනා කරන ලද Almagest නම් සිය ග‍්‍රන්ථයෙහි ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ ටොලමි තාරකා 1000 ක් සහ රාශි (constellations තාරකා මණ්ඩල) 48 ක් ලැයිස්තුගත කළේය. එම ග‍්‍රන්ථයේ වැඩි කොටස ඇත්තටම හිපාකස් ලියු දේවල්ම යාවත්කාලීන කිරීමක් බඳු විය. එහෙත් එය හිපාකස් ගේ කෘතිය හා සසඳද්දී වඩාත් ප‍්‍රායෝගික අන්දමින් සකස් කර තිබිණ. Almagest ග‍්‍රන්ථය මධ්‍ය කාලීන සමය පුරාම තාරකා විද්‍යාවේ සම්මත පෙළ පොත බවට පත් විය. සූර්යා හා චන්ද්‍රයාගේ අනාගත ස්ථාන ගතවීම් මෙන්ම ග‍්‍රහලෝක හා ප‍්‍රධාන පෙළේ තාරකාවල පිහිටීම් සහ සූර්ය සහ චන්ද්‍ර ග‍්‍රහණ ගණන් බැලීම පිණිස අවශ්‍ය සියලූම තොරතුරු  එම ග‍්‍රන්ථයෙහි වගු අතර විය.

චීන ජාතික මහා ප‍්‍රඥයෙකු වූ ෂෑංග් හෙංග් කි‍්‍ර.ව. 120 දී Ling Xian හෙවත් The Spiritual Constitution of the Universe (විශ්වයේ අධ්‍යාත්මකි සංයුතිය) යනුවෙන් කෘතියක් නිපදවීය. එහි ඔහු මෙසේ ලිවීය: ‘අහස හරියට කිකිළි බිත්තරයක් වගෙයි. එමෙන්ම, හරස් දුන්නක ගුළි මෙන් රවුම්ය. එ වගේම පෘථිවිය, තනිව මැද සිටින බිත්තරයේ කහ මදය වගෙයි. අහස විශාලයි. පෘථිවිය කුඩායි.’ ඒ ආකාරයට හිපාකස් හා ටොලමි අනුව යමින් ඔහු ද  දැක්වුයේ  පෘථිවිය කේන්ද්‍රකරගත් විශ්වයකි.  ෂැංග්, ‘බොහෝ ප‍්‍රභාසම්පන්න’ තාරකා 2500ක් ද තාරකා මණ්ඩල (රාශි) 124ක් ද කැටලොග් ගත කළ අතර “ඉතා කුඩා තාරකා  ගත්තොත් ඒවා  11.520 ක් ඇතැ’යි යනුවෙන් වැඩි දුරටත් කියා සිටියේය.

චන්ද්‍ර ග‍්‍රහණ හා ග‍්‍රහයෝ

ෂැංග් ග‍්‍රහණවලින් වශීකෘතව සිටියේ ය. ෂෑංග් මෙසේ ලිවීය: ‘සූර්යයා හරියට ගින්දර වගෙයි, චන්ද්‍රයා ජලය වගෙයි. ගින්දර ආලෝකය පතුරුවනවා. ජලය ඒ ආළෝකය පරාවර්තනය කරනවා. මෙහෙම, චන්ද්‍රයාගේ ප‍්‍රභාව ඇති වන්නේ සූර්යයාගේ කාන්තියෙනුයි. ඉතින් චන්ද්‍රයාගේ අන්ධකාරය ඇති වන්නේ සූර්යයාගේ ආළෝකය අවහිරවීමෙනුයි. සූර්යයාට මුහුණලා තිබෙන (චන්ද්‍රයාගේ) පැත්ත සම්පූර්ණයෙන්ම අළෝකමත්. සූර්යයාගන් ඈත්ව තිබෙන පැත්ත අන්ධකාරයි.’ චන්ද්‍රග‍්‍රහණයක් ගැන විස්තර කරන ෂැංග් කියා සිටියේ සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය  පැමිණෙන විට සූර්යයාගේ ආලෝකය චන්ද්‍රයා වෙත පැමිණිය නොහැකි බවයි. එපමණක් නොව ග‍්‍රහලෝක ද ‘ජලය බඳු’ බව ඔහු හඳුනා ගත්තේය. ඒවා ද සූර්යාලෝකය පරාවර්තනය කරන අතර එනිසා ග‍්‍රහණයන්ට බඳුන් වෙයි. ග‍්‍රහයෙකු සම්බන්ධ නම්, එවැන්නක් (සමාන සිදුවීමක්) සිදු වූ විට අප එය හඳුන්වනු ලබන්නේ අන්තර්ධානය(occultation = එක් ඛගෝලිය වස්තුවක් විසින් තවත් ඛගෝලිය වස්තුවක් වසා ගනු ලැබීම) ලෙසින්.  ඒත් චන්ද්‍රයා හිරුගේ ගමන් මග හරහා යන විට ඇති වන්නේ සූර්ය ග‍්‍රහණයක්’ යනුවෙන් ඔහු සඳහන් කළේය.

තවත් චීන ජාතික තාරකා විද්‍යාඥයකු  වන ෂෙන් කුවෝ 11 වැනි සියවසේ දී ෂැංග් ගේ කෘති එක්තරා වැදගත් අංගයකින් තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. චන්ද්‍රයාගේ මේරීම සහ ක්ෂීණනය (waxing and waning of the Moon)නිරීක්ෂණය කිරීම තුළින් ඛගෝලිය වස්තූන් ගෝලාකාර බව ඔප්පු වන්නේ යයි ඔහු පෙන්වා දුන්නේය.

ෂෑංග් හෙන්ග්(Zhang Heng)

ෂැංග් කි‍්‍ර.ව. 78 දී උපත ලැබුවේ වත්මන් චීනයේ හෙනන් ලෙස හැඳින්වෙන පළාතේ ෂියි නගරයේ දී ය. ඒ හන් රාජපෙළපත රජ කරන සමයේදීය. වයස අවුරුදු 17 දී ඔහු නිවසින් නික්ම ගියේ සාහිත්‍ය හදාරා ලේඛකයකු ලෙස පුහුණුවීම අරමුණු කරගෙනය. වයස 20 ගණන්වල අගවන විට ඔහු දක්ෂ ගනිතඥයෙක් බවට පත්ව සිටි අතර ඇන් – ටි අධිරාජ්‍යයාගේ රාජ්‍ය සභාවෙ සේවයට කැඳවනු ලැබීය. අධිරාජ්‍යයා විසින්, කි‍්‍ර.ව. 115 දී ෂැංග් ප‍්‍රධාන ජ්‍යේතිර්වේදියා බවට පත් කරනු ලැබීය.

ෂැංග් ජීවත් වුණේ විද්‍යාවේ සීඝ‍්‍ර වර්ධනයක් සිදුවන වකවානුවකදීය. ඔහුගේ ජ්‍යෝතීර්වේදී කටයුතුවලට අමතරව ඔහු කටුගෝලයක්(armillary sphere ආකාශ වස්තුවල ගමන් මග දැක්වීමට වළලූවලින් තැනූ සැකිලි ගෝල ආකෘතියක්) මෙන්ම  ජලයෙන් බල ගැන්වූ ලොව ප‍්‍රථම භූකම්පන මානය (seismometer) ද නිපදවීය. මෙය කි‍්‍ර.ව. 138 වන තුරුම අවඥාවට ලක්වූ අතර එම වසරේදී කි.මි. 400 ඈත භූකම්පනයක් සාර්ථකව වාර්තා කිරීමට සමත් වීමෙන් පිළිගැනීමට ලක්වීය. ලොව ප‍්‍රථම හොඩෝමීටරය(odometer= වාහනයක දුර මනින මීටරය ලෙස ද දැක්වේ) නිපදවූයේ ද ඔහුය. අශ්ව කරත්තයක ස්වරූපයෙන් ඔහු නිපද වූ දකුණ දක්වන මාලිමා යන්ත‍්‍රයට කාන්දමක් නොවීය. බොහෝ සැලකිල්ලට ලක්වූ කවියෙකු වූ  ෂැංග්ගේ කෘති ඔහු ජීවත් වූ යුගයේ සංස්කෘතික ජීවිතය පිළිබඳ ඇතුළු නුවණක් සපයයි.

චන්ද්‍රයා මෙන්ම ග‍්‍රහලෝක ද තමන්ගේම ආලෝකයක් උපද්දන්නේ නැතැයි ෂැංග් නිගමනය කළේය.

ෂැංග්ට පසුව

1543 දී නිකලස් කොපනිකස් On the Revolutions of the Celestial Spheres නම් කෘතිය පළකරමින් සූර්යකේන්ද්‍රීය (heliocentric) පද්ධතිය විස්තර කළේය.

1609 දී ජොහැනස් කෙප්ලර් ග‍්‍රහණ ගැන විස්තර කරමින් නිදහසසේ පාවෙන ‘වස්තුන් ලෙස ග‍්‍රහලෝකවල චලනය පැහැදිලි කර දුන්නේය.

 

THE SCIENCE BOOK – Big ideas simply explained ග්‍රන්ථයේ THE SUN IS LIKE FIRE, THE MOON IS LIKE WATER කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: