විදු නැන නුවණ – Science Literacy for All

නම මොකක් වුණත් කුණාටුව කුණාටුවමයි: කුණාටු පිටුපස විද්‍යාව

අර්මා සැඩ කුණාටුවෙහි ප්‍රචණ්ඩත්වය යාම්තම් පහව යද්දී පසුගිය සෙනසුරාදා බටහිර අත්ලාන්තික් සාගරයේ මරියා නිවර්තන වාසුලිය මෝදුවෙන්නට පටන් ගෙන තිබේ. එය අද රාත්‍රී (ඇමරිකා වේලාවෙන්) වන විට සැඩ කුණාටුවක් බවට පත්වීමට නියමිතයි. බදාදා වනවිට මරියා ප්‍රධානපෙලේ චන්ඩ සැඩ කුණාටු වෙතයි ජාතික සැඩ කුණාටු කේන්ද්‍රය පවසයි. මේ නයින් සැඩ කුණාටු, චණ්ඩ මාරුත ගැන සෙසු ලොව අන් අයගේත් අවධානය යොමු වී ඇත්තේ ඒවායේ  ප‍්‍රචණ්ඩ ස්වරූපය ගැන මාධ්‍ය මගින් සිදු කරනු ලබන ආවරණය හේතුවෙනි. ශ‍්‍රී ලංකාවේ අපට ඒ සමානම දරුණු කුණාටුවල අත්දැකීම් සුලබ නොවූවත් කුණාටු පිටුපස ඇති විද්‍යාව ගැන දැන ගැනීම වැදගත්ය.

සැඩ කුණාටුවක්(hurricane) යනු ස්වභාවධර්ම මාතාව සිය කෝපය පිට කර හරින මාර්ගය කැයි දැක්වෙන කියමනක් ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රචලිතව ඇත. එහෙත්, ඇත්ත වශයෙන්ම සැඩ කුණාටු යනු ස්වභාව ධර්මයේ කෝපය නිසා ඇතිවන අතුරුඵලම නොවේ. සැඩ කුණාටු-වඩාත් පුළුල් වශයෙන් දක්වන්නේ නම් නිවර්තන වාසුළි(tropical cyclones) සාමාන්‍යයෙන් නිවර්තන සාගර ජලය මත්තේ අකුණු කුණාටු පොකුරු(clusters of thunderstorms) ලෙස හට ගනී. එය සංවිධානය වී, සැඩ කුණාටු තත්ත්වයට පත්වීම සඳහා පැය කිහිපයක සිට දවස් කිහිපයක් දක්වා කාලයක් ගතවිය හැකිය. පරිපූර්ණ කුණාටුවක් හරියටම කියනවා නම්, සැඩ කුණාටුවක් හට ගැනීම පිණිස අවශ්‍ය තත්ත්වයන් පවතී. එම තත්ත්වයන් අතර පහතදැක්වෙන තත්ත්වයන් ද වේ.

  • අඩුම වශයෙන් ෆැරන්හයිට් අංශක 80 ක් පමණ වූ (සෙල්සියස් අංශක 6) තරම් උෂ්ණත්වයෙන් යුත් ජලය.
  • සාපෙක්ෂව තෙත් වාතය.
  • ඉතාමත් උණුසුම් මතුපිට උෂ්ණත්වයන්.
  • අඛණ්ඩව ඇතිවන වාෂ්පීභවන (evaporation) හා ඝනීභවන(condensation) චක‍්‍රයක්.
  • ඝට්ටනය වෙන විවිධ දිශාවන්හි සුළං රටා (අභිසරණය වන සුළං converging winds).
  • පෘෂ්ඨයෙහි (මතුපිට) සහ ඉහළ උන්නතාංශය අතර වායු පීඩනයෙහි වෙනසක්.

නිවර්තන වාසුළි ලොව සෑම තැනකම හට ගන්නා නමුත් සාමාන්‍යයෙන් ඇති වන්නේ සමකයට කිලෝමීටර 480 ක් (සැතපුම් 300) පමණ උතුරින් හෝ දකුණින්ය. ඒවා, අත්ලාන්තික් සාගරයෙහි හෝ නැගෙනහිර ශාන්තිකර සාගරයෙහි හටගන්නා විට එම කුණාටු දැක්වෙන්නේ සැඩ කුණාටු(hurricanes) ලෙසය. උතුරු ශාන්තිකර සාගරයේ බටහිර පැත්තට වෙන්නට හටගත් විට ඒවා ටයිපුන්(typhoons) ලෙස හැඳින්වේ. එමෙන්ම, දකුණු ශාන්තිකර සාගරයේ හෝ ඉන්දියානු සාගරයේ දී ඒවා හඳුන්වනු ලබන්නේ වාසුළි (cyclone) ලෙසය.

අත්ලාන්තික් සැඩ කුණාටු වාරය ජුනි සිට නොවැම්බරය දක්වාය. කුණාටු හටන්නේ අප්‍රිකානු වෙරළාසන්නයේය. නැගෙනහිර ශාන්තිකර සාගර වාරය මැයි මැද සිට නොවැම්බරය දක්වායි. ටයිපුන් වසර පුරාම ඇතිවන නමුත් උච්චවන්නේ අගෝස්තුවේ දී ය. දකුණු ශාන්තිකර සාගරයේ වාසුළි වාරය ආරම්භ වන්නේ ඔක්තෝබරයේය. එය මැයි මාසයෙන් අවසන් වේ.

අත්ලාන්තික් කලාපයේ සැඩ කුණාටු, නිවර්තන මධ්‍යම අත්ලාන්තික් ප‍්‍රදේශයේ සිට මැක්සිකෝ බොක්ක දක්වා වූ  ඕනෑම තැනක හටගත හැකිය. සැඩ කුණාටු සාමාන්‍යයෙන් මං තුනක් ඔස්සේ දිව යයි.

  • බටහිර අප‍්‍රිකා වෙරළට ඔබ්බෙන්, වර්ඞ් තුඩු කොදෙව් අසළින්(Cape Verde Islands) පටන් ගෙන බටහිරට යමින් කැරිබියන් සහ ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දක්වා යන මග
  • බටහිර කැරිබියානු කලාපයෙන් හටගෙන(මැක්සිකෝ) බොක්කේ වෙරළට පිවිසෙමින් හෝ ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ ඔස්සේ ඇදෙන මග.
  • මැක්සිකෝ බොක්කෙන් හටගෙන ටෙක්සාස් සිට ෆ්ලොරිඩා දක්වා ගල්ෆ් වෙරළ රාජ්‍යයන් තුළට ගමන් කරන මග.

කුණාටුවක් සැඩ කුණාටුවක් දක්වා වර්ධනය වීමේ දී කැපී පෙනෙන මට්ටම් දැකිය හැකිය. ප‍්‍රථම අදියර නිවර්තන කැළඹීමකි. මෙය අවශ්‍යයෙන්ම සැළකිය යුතු වැසි සහ අකුණු කුණාටු පොකුරකි.

එය නිවර්තන කැළඹුමක් අවපාතයක් (tropical depression) බවට පත්වද්දී එය තිබුණාට වඩා මදක් සංවිධානාත්මක ගතියක් පානා අතර සුළං වේගය ද පැයට කිලෝමීටර 40 සිට 61 දක්වා (පැයට සැ: 25 සිට 38) වේගවත් වෙයි. සුළං වේගය පැ.කි. 62 සිට 117 දක්වා (පැ.සැ. 39 සිට 73 දක්වා) වැඩි වූ විට එය වර්ගී කෙරෙන්නේ නිවර්තන කුණාටුවක් හැටියටය.

සුළං වේගය පැ.කි.මී (පැ.සැ.74) පැමිණ විට එය සැඩ කුණාටුවක් ලෙස වර්ගීකරණය කෙරේ. එහි තීව‍්‍රතාව මනිනු ලබන්නේ සෆීර් – සිම්සන් පරිමාණය(Saffir-Simpson Scale)   මගිනි. සෆීර් – සිම්සන් සැඩ කුණාටු පරිමාණය නිර්මාණය කරන ලද්දේ 1971 දීය. ඒ සිවිල් ඉංජිනේරූ හර්බට් සෆීර් සහ කාලගුණ විද්‍යාඥ බොබ් සිම්සන් යන දෙදෙනා විසිනි. (මොහු එවකට ඇමරිකා එක්සත් ජනපදයේ සැඩ කුණාටු ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විය).

ප‍්‍රවර්ග 1: සුළං වේගය පැ.කි.මී. 119-153.

ප‍්‍රවර්ග 2: සුළං පැ.කි.මී. 154-177.

ප‍්‍රවර්ග 3: සුළං පැ.කි.මී 178-208.

ප‍්‍රවර්ග 4: සුළං පැ.කි.මී 209-251.

ප‍්‍රවර්ග 5: සුළං පැ.කි.මී. 252 ඉක්මවන.

එ. ජ. ඒකාබද්ධ ටයුපුන් අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය දක්වන අන්දමට පැ.කි.මී. 241 ට පැමිණි විට සමහර කුණාටු හඳුන්වනු ලබන්නේ සුපිරි-ටයිපුන් ලෙසිනි(super-typhoons).

කුණාටු ව්‍යුහය(Storm structure

සැඩ කුණාටුවක ප‍්‍රධන කොටස් වන්නේ වැසි පටි(rain bands), ඇස (කේන්ද්‍රය) සහ ඇස් පවුරයි. උතුරු අර්ධ ගෝලයේ දී සුළං කේන්ද්‍රය දෙසට වාමාවර්ථව භ‍්‍රමණය වන අතර දකුණු අර්ධ ගෝලයේ දී දක්ෂිණාවර්තව භ‍්‍රමණය වේ. ඒවා පිටව යන්නේ විරුද්ධ දිසාවටය. කුණාටුවේ හරි මැද සුළං ගිලා බසින්නේ ඇසක් ලෙස සදමිනි. එය බොහෝ කොට වළාකුලින් තොර අතර විෂ්කම්භය කි.මී 32 සිට 64 දක්වා පමණ වේ. කුණාටු කේන්ද්‍රය වට වී ඇත්තේ කේන්ද්‍ර පවුරකිනි. එනම්, විශාල අකුණු කුණාටු වලල්ලකිනි. කුණාටුවක දරුණුතම පහර එල්ල වන්නේ එහි සිටය. නැමුණු වළාකුළු පටි සහ අකුණු කුණාටු කේන්ද්‍රයේ සිට ක‍්‍රමයෙන් හීන වී යන්නේ සර්පිලාකරවය. මෙකී වර්ෂා පටි මගින් අධික වැසි සහ සුළං කෝඩ ද එමෙන්ම, ටෝණාඩෝද නිපදවනු ලැබේ. නිවර්තන වාසුළි කි.මී. 483 ක් පමණ පුළුල් විය හැකි නමුත් පළල එහි තීව‍්‍රතාවය පිළිබඳ අත්‍යවශයෙන්ම දැක්වෙන සාධකයක් නොවේ. කුණාටුවක විනාශකාරී සුළං සහ වැසි කි.මී. 242 කට වැඩියෙන් පිටතට විහිදිය හැකිය.

නිවර්තන වාසුළි වලින් පැමිණෙන හානිය අධික සුළං වලටම සීමා නොවේ. සුළෙඟ් බලයෙන් ජලය වෙරළ දෙසට නෙරපන විට සාමාන්‍ය ජල මට්ටම 4.5 කින් පමණ හෝ ඊටත් අධිකව වැඩිවේ. ජල ගැල්මද ඇතිවන අතර නිවර්තන වාසුළියක දී වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ එහෙයිනි. කාලගුණයට සම්බන්ධ වෙනත් හේතුන්ට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ ජල ගැල්මෙනි.

 

Live Science හි Hurricanes, Typhoons and Cyclones: Storms of Many Names ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: