විදු නැන නුවණ – Science Literacy for All

මානවයන් පරිණාමය වන ආකාරය දැවැන්ත අධ්‍යයනයකින් පෙන්නුම් කෙරේ

මිනිසුන් දෙලක්ෂ ගණනක DNA විශ්ලේෂණය කිරීමෙන් දැක්වෙන්නේ ජිවය කෙටි කරන විචලකයන්ට(variants) එරෙහිව වරණය සිදුවන බවයි.

මානව ජීනෝමය පරිණාමය වන අන්දම නිසියාකාරව දැක්වීමට උත්සාහ කෙරෙන ජානවිද්‍යා, දැවැන්ත අධ්‍යයනයක් හඟවන්නේ, මිනිසුන්ගේ ජිවිත කෙටි කරන, හානිකර ජානමය විකෘතීන් ස්වභාවික වරණය මගින් ඉවත් කරනු ලබන බවයි. මෙම අධ්‍යයනයට අදාළ වාර්තාව PLoS Biology හි පළ විය. මේ පර්යේෂණය සඳහා පුද්ගලයන් 215,000 ගෙන් ලබා ගත් DNA විශ්ලේෂණය කෙරිණ.  මෙය පරම්පරා  එකක් හෝ දෙකක් ගතවෙද්දි මානවයන් පරිණාමය වන්නේ කෙසේද යන්න ඍජුවම විමසා බැලෙන ප‍්‍රථම ප‍්‍රයත්න අතරින් එකකි.

මානව ජිනෝමයේ පරිණාමය වන්නේ කුමණ කුඩා කොටස් දැයි හඳුනාගැනීම පිණිස පර්යේෂකයෝ එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ජාන දත්ත සමුදායන් පරික්ෂාකර බැලූහ. එහිදී සොයා බැලූනේ විවිධ වයස් කණ්ඩායම් අතර වෙනස් වන්නා වූ විකෘතීන් ගැනයි. දීර්ඝායු මැන බැලීමක් ලෙස, (අධ්‍යයනයට සම්බන්ධ කරගත්) සෑම පුද්ගලයෙකුගේම දෙමාපියන් මිය ගිය වයස හෝ සමහරුන් සම්බන්ධයෙන් ඔවුන්ගේම වයස වාර්තා කර ගැනිණ. ‘ජානමය විචලකයක් කෙනෙකුගේ ජීවිත පැවැත්ම කෙරෙහි බලපාන්නේ නම් එසේ පවතින පුද්ගලයාගේ වයස සමග එය සිදුවන නිරන්තර බාවය වෙනස් වෙන්න  ඕනි” හකමනේෂ් මොස්ටෆාවී පෙන්වාදෙයි. අධ්‍යයනය මෙහෙය වු ඔහු නිව්යෝක් නුවර කොළොම්බියා සරසවියේ පරිණාමීය ජීව විද්‍යාඥයෙකි. හානිකර ජාන විචලක සහිත පුද්ගලයන් මිය යාම  වැඩි වේගයෙන් සිදුවේ.  එසේ වෙද්දී ජනගහනයේ වයස් ගත කොටස අතර විචලකය විරල වෙයි.

මොස්ටෆාවී සහ සගයන් වඩා ප‍්‍රචලිත හෙවත් වඩා පොදු විකෘතීන් මිලියන අටකට වැඩියෙන් පරික්ෂා කර බැලූ අතර වයසත් සමග ව්‍යාප්තවීම අඩුවෙන බව පෙනීයන විකෘතීන් දෙකක් සොයා ගැනීමට හැකි විය. ඔවුනට පෙනී ගියේ වයස  ඇල්සයිමර්ගේ රෝගයට දැඩි සම්බන්ධයක් ඇතැයි සැළකෙන APOE  ජානයේ විචලකයක් වයස අවුරුදු 70 ට වැඩි කාන්තාවන්ගෙන් සොයා ගනු ලැබිය හැක්කේ කලාතුරකින් බවයි. පිරිමින් අධික දුම්පානයට ඇබ්බැහිවීම හා සම්බන්ධ CHRNA3  ජානයේ විකෘතියක් මැදිවියෙන් පටන් ගන්නා ජනගහන කණ්ඩායම් අතරේ ක්ෂය වී යයි. මෙකී විකෘතීන් රහිත ජනතාවට ජිවත්වීමේ වැඩි හැකියාවක් ඇති අතර දිගු කලක් ජීවත්වීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ සඳහන් කරති.

Related image

මෙය පමණක්ම සැලකිල්ලට ගතහොත් එය පරිණාමය කි‍්‍රයාත්මකවීමේ සාක්ෂියක්ම නොවේ. පරිණාමය සාධකයක් ලෙස ගත් කළ දිගු  ආයු කාලයක් තිබීම, ප‍්‍රජනනීය වශයෙන් ඵලදායි ජීවිතයක් ගත කිරීම තරම්ම වැදගත් නෙවේ. එවිට ප‍්‍රජනනීය වශයෙන් ඵලදායි බවක් තිබෙන්නන් අතරේ ළමයින් බොහොමයක් වැඩිහිටි භාවයට පත්වන තුරු ජීවත්වන අතර ඔවුන්ගේම ජනිතයන් උපදවීමේ හැකියාව ලැබේ.  එහෙයින් ප‍්‍රජනනීය වයස පසු කළ පසු ඔවුන්ගේ (එවන්) ප‍්‍රයත්නයන් මත බලපෑම් ඇතිකරන විකෘතීන් පරිණාමීය ඇසින් බලන කල උදාසීන යයි සැලකේ.

එහෙත් ඇත්තටම සිදුවන්නේ එය නම් එවැනි විකෘතීන් බොහොමයක් ජාන තුළ යහතින් සිටිනු ඇතැයි පර්යේෂකයෝ තර්ක කරති. එහෙත් මේ අධ්‍යයනය තරම් විශාල අධ්‍යයනයකදී පවා සොයා ගත හැකි වුණේ දෙකක් පමණක් යන්නෙන් දැඩිව කියැවෙන්නේ පරිණාමය මගින් ඒවා ‘උගුල්ලා’ දමන බව යයිද එමෙන්ම අනික් ඒවා ඒ වන විට ස්වාභාවික වරණය මගින් ජනගහනයෙන් ඉවත් කර දමා ඇතැයිද මොස්ටෆාවි පෙන්වා දෙයි.

ජීවිතයේ පසු කලෙක කි‍්‍රයාකාරී වන මෙකී විකෘතීන් කෙනෙකුගේ ජානමය යෝග්‍යතාව– ඒ කියන්නේ ප‍්‍රජනනය හා තම ජාන පැතිරවීමට ඇති හැකියාව පහළ හෙළන්නේ ඇයි ද යන්න විවෘත ප‍්‍රශ්නයක් හැටියට පවතී. පිරිමින් ගතහොත් මෙහි තේරුම වන්නේ  දිගු කාලයක් ජීවත්වනන් නම් වැඩියෙන් ළමයි ලැබෙතැයි යන්න විය හැකියයි පර්යේෂකයෝ පෙන්වාදෙති. එහෙත් එය  ඉතින් සම්පූර්ණ කතන්දරයම නොවේ. එහෙයින් දීර්ඝායු වැදගත් වන්නේ මන්දැයි යන්නට විද්‍යාඥයෝ වෙනත් පැහැදිලි කිරීම් දෙකක් ගැන සලකාබලති.

ඉන් පළමුවැන්න තමයි මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව වයස්ගත වනතුරු ජීවත්වන දෙමාපියන්ට තම දරුවන් සහ දරුවන්ගේ දරුවන් රැක බලා ගැනීමට අවස්ථාව ලැබීමෙන් පසුකාලීන පරපුරුවලට ජීවත්වීමට හා ප‍්‍රජනනයට ඇති අවස්ථාව වැඩි කරන්නේය යන්න. මෙය ඇතැම් විටෙක ‘ආත්තම්මාගේ උපකල්පනය’(‘grandmother hypothesis’) ලෙස ද දැක්වේ. ආර්තවභාවයෙන්(menopause) පසුවත් මනුෂ්‍යයන් බොහෝ කලක් ජීවත් වන්නේ මන්දැයි මෙයින් පැහැදිලි කළ හැකිවේ.

දෙවනුව, වයසට ගිය විට නිශ්චිතවම අයෝග්‍ය  වන ජානමය විචලකයන් — ඊට වඩා සියුම් ආකාරයකින් වුව– වයසට යාමට පෙර ජීවිතයට වුවද හානිකර වනවා විය හැකිය. “මේ කුඩා බලපෑම් දැකීමට නම් අතිශය විශාල නියදි අවශ්‍ය වෙනවා”  යයි පිලඩේල්පියාවේ, පෙන්සිල්වේනියා සරසවියේ ජන ප‍්‍රවෙනි විද්‍යාඥයකු වන ලේන් මැතිසන් කියා සිටියි. කාරණාව මෙයම දැයි තවමත් කීමට නොහැකි වී ඇත්තේ මේ නිසාවෙනි.

තවද තනි තනිව ගතහොත් මිනිය හැකි තරම් බලපෑමක් රහිත ඇතැම් ජාන විකෘති කාණ්ඩ එහෙත් එකට ගත් කල සෞඛ්‍ය තර්ජන ගෙනෙන ජාන විකෘති,  වැඩි ආයුකාලයක් අපේක්ෂා කළ හැකි අය අතර එසේ නොවන්නන්ට වඩා අඩුවෙන් දැක්වෙන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ඇදුම රෝගයට, ඉහළ ශරීර ස්කන්ධ දර්ශකයකට සහ ඉහළ ක්ලෙස්ටරෝල් පැවතීම සඳහා ඇති පෙර නැඹුරුවද මේවා අතර වේ. එහෙත් වඩාත්ම පුදුමය දනවන කාරණාව වුනේ දිගුකලක් ජීවත් වන ජනතාව අතර ලිංගික පරිපාකය හෙවත් යෞවනෝදය සහ දරුවන් දැරීම පමා කරන වීකෘතින් කට්ටල දිගු කලක් ජිවත්වන ජනතාව අතර වඩාත් ප‍්‍රචලිතබව සොයාගැනීමයි.

පමා වී දරුවන් දැරීමට ජානමය සම්බන්ධයක් ඇතැයි යන්න කුතුහලය දනවන සුළු යයි  කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ ප‍්‍රවේණි විද්‍යාඥ ජොනතන් පි‍්‍රචාඞ් පවසයි. දීර්ගායුෂ සහ පසුකාලීන සාඵලත්වය අතර ඇති සබඳතාව මෙයට කලින් සොයා ගෙන ඇති අතර එම අධ්‍යයනවලට  ධනය සහ අධ්‍යාපනයෙහි බලපෑම සුළුකොට තැකීමට නොහැකි විය. මන්ද මේ දෙකම යහමින් ඇති අය ජීවිතයේ පසු කාලවල දරුවන් දැරීමට පෙළඹන හෙයිනි. සාඵල්‍යතාව හා දීර්ඝායුෂ අතර පරිණාමීය වශයෙන් ‘වාසී-අවාසි තුලනයක්’ ඇතැයි  සිතීමට අලූත්ම ජනාමය සාක්ෂි පි‍්‍රචාඞ්ව පොළඹවයි. මේ සම්බන්ධතාව ගැන කලින් අධ්‍යයන සිදු කර ඇත්තේ වෙනත් සතුන් සම්බන්ධ කර ගනිමිනි. “මෙය ඇත්තටම වැදගත් අධ්‍යයනයක්” පි‍්‍රචාඞ් කියයි.

මානවයන්ගේ වර්තමාන පරිණාමය හැදැරීම බෙහෙවින් දුෂ්කර කර්තව්‍යයක්  බව ප‍්‍රකටය. වරණය ගැන ඍජුවම නිරීක්ෂණය කිරීමට කැමැති විද්‍යාඥයන් එක් පරම්පරාවක විකෘතියක් කොපමණ  නිරන්තර බාවයකින් සිදුවන්නේ දැයි  මිනිය යුතුය. ඊළඟට එම පරම්පරාවේ සියලූම ළමුන්ගේ සහා වඩාත් යෝග්‍යව  නම් ඔවුන්ගේද ළමයින්ගේත් මැනැබැලිය යුතු යයි එක්සත් රාජධානියේ ඔක්ෆර්ඞ් සරසවියේ සංඛ්‍යාලේඛන  ප‍්‍රවේණිවිද්‍යාඥ නීල් මැක්වීන් පවසයි. ‘ඒත් ඒක කරන එක  අසීරුම වැඩක්. සාම්පල බොහෝ ගණනාවක්  ඕනෑවේ.’
Scientific American හි Massive Genetic Study Shows How Humans are Evolving යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: