විදු නැන නුවණ – Science Literacy for All

ලොව පුරා මරණවලට බලපාන ප‍්‍රධාන හේතු

ලොව පුරා ජනතාව දැන් වැඩි ආයු කාලයක් භුක්ති විඳිති. එහෙත් සමස්තයක් ලෙස ගත් කළ බෝවෙන රෝග නිසාවෙන් හා නියමිත කාලයට පෙර උපත් හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව අඩුවෙමින් පැවතියත්, හෘදයාබාධ, ඝට්ටන හා ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් සිදුවන මරණ ඉහළ යමින් පවතින බව නව වාර්තාවක් පෙන්වා දෙයි. මේ වාර්තාව ‘රෝග පීඩාවේ ගෝලීය අධ්‍යයනය’ (Global Burden of Disease study) යනුවෙන් නම් කර ඇත. සාමාන්‍ය ආයු අපේක්ෂා කාලය මෙන්ම 300 කට අධික හේතු නිසාවෙන් සිදුවන මරණ, ලෙඩ රෝග සහ තුවාලාදිය  ඇස්තමේන්තු කිරීමෙන් එම වාරතාව මගින් ලෝක සෞඛ්‍ය තත්ත්වය විමර්ෂණයක් කර බලයි.

වාර්තාවට අනුව අද ලෝකයේ  සාමාන්‍යයණ ආයු අපේක්ෂාව ගෝලීය වශයෙන් අවුරුදු 72.5 කි. (පිරිමින්ට 69.8 ක් වන අතර කාන්තාවන්ට වසර 75.3 කි).  එය 1999 සාමාන්‍යයය ආයු අපේක්ෂාව වූ අවුරුදු 65.1 සහ 1970 වේ වසර 58.4 සමග සංසන්දනයේ දී වර්ධනයක් සිදුවී ඇති බව වාර්තාව දක්වයි. 2016 වසරේ වැඩිම ආයු අපේක්ෂාව වාර්තා වූ රට වූයේ ජපානයයි. එරට ආයු අපේක්ෂාව අවුරුදු 83.9 කි. එමෙන්ම ලොව අඩුම ආයු අපේක්ෂාව වාර්තා වන්නේ මධ්‍යම අප‍්‍රිකානු සමූහාණ්ඩුවෙනි. එය අවුරුදු 50.2 කි.

සමස්තයක් වශයෙන් ගත් කළ 2016 දී ලොව පුරා මරණ සංඛ්‍යාව මිලියන 54. 7 කි. මේ සංඛ්‍යාවෙන් හතරෙන් තුනක් පමණ (සියයට 72.3 ක්) ඊනියා ‘බෝ නොවන රෝග’ එනම් හෘදයාබාධ, ආඝාතය(stroke) සහ පිළිකාව ඇතුළුව කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පැවරිය නොහැකි රෝගාබාධයයි. 2016 දී සිදු වූ මරණ සංඛ්‍යාවෙන් සියයට 19 ක් බෝවෙන රෝග, (ගර්භණි අවස්ථාවේ සහ දරු ප‍්‍රසූතියේ දී සිදුවන) මාතෘ රෝග, (අළුත උපන් කාලයේ දී සිදුවන)නවජ සූති සහ (පෝෂණ ඌණතා ද ඇතුළත්) පෝෂණයට අදාළ රෝගයි; මරණ සංඛ්‍යාවෙන් සියයට 8 ක් පමණ තුවාල හේතුවෙනි.

 

ක‍්‍රි.ව. 2006 සිට 2016 කාලය තුළ බෝවෙන රෝග, මාතෘ රෝග, නවජ සූති සහ පෝෂණ රෝග සියයට 24 කට ආසන්න ප‍්‍රමාණයකින් අඩුවිය.(මෙම රෝග වලට ඉංග්‍රීසියෙන් කියන Communicable, Maternal, Neonatal And Nutritional diseases   යන වචනවල මුල් අකුරු යොදා ගනිමින් පර්යේෂකයෝ “CMNN” යන කෙටි යෙදුමෙන් ඒවා හඳුන්වති). සුවිශේෂී වශයෙන් සඳහන් කළ යුත්තක් වන්නේ වයස අවුරුදු 5 න් පහළ ළමුන් අතර මරණ සංඛ්‍යාව අඩු කිරීමේ සැලකිය යුතු ප‍්‍රගතියක් ඇති බවයි. මේ වයස් කාණ්ඩයේ දරුවන් බොහෝ විට මිය යන්නේ ශ්වසන ආසාදන හෝ කලින් උපත ලැබීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් බව වාර්තාව දක්වයි. නූතන ඉතිහාසය ගතහොත් වයස අවුරුදු 5 න් පහළ මරණ සංඛ්‍යාව මිලියන 5 ට වඩා ප‍්‍රථම වතාවට අඩු වූයේ 2016 වර්ෂයේ දීය. එය 1990 මෙම මරණ සංඛ්‍යාව වන මිලියන 11ටත්  සහ 1970 තිබූ මිලියන 16.4 සංඛ්‍යාවටත් වඩා අඩුය. 2006 සිට HIV/AIDS  නිසාවෙන් ළමුන් සහ වැඩිහිටියන් අතර සිදුවන මරණ සංඛ්‍යාව ද අඩු වී ඇත. ඒ සියයට 46 කිනි. 2006 සිට මැලේරියාවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 26% කින් අඩු වී තිබේ.

Related image

කෙසේ වෙතත් බෝ නොවන රෝග වලින් සිදුවන මරණ සංඛ්‍යාව 2006 සිට 2016 අතරතුර 16% කින් වැඩි විය. එහි තේරුම නම් මෙයට දශකයට පෙරට වඩා මෙම තත්ත්වයන් නිසා 2016 වන විට අතිරේකව මිලියන 5.5 ක් මරණ සිදු වූ බවයි. මරණවලට  බලපෑ ප‍්‍රධාන හේතුව රක්තහීන හෘදය රෝගයයි(Ischemic heart disease). මියගිය සංඛ්‍යාව 2016 දී මිලියන 9.5 කට ආසන්නය. එය 2006 සමග සසඳද්දී 19% ක වැඩිවීමකි. 2006 ට වඩා 31% කින් වැඩිවෙමින් 2016 දී දියවැඩියාවෙන් මියගිය සංඛ්‍යාව මිලියන 1.4 කි. ලොව පුරා මියගිය සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මරණ අනුපාතය බලද්දී 2006 සිට 2016 දක්වා බෝ නොවන රෝග අඩු වුවත් CMNN වලින්  සිදුවන මරණ සංඛ්‍යා අනුපාතය තරම්ම අඩු නොවීය. (වසර 10 ක කාල ෙඡ්දය තුළ CMNN හේතුවෙන් වූ මරණ අනුපාතය 32% කින් අඩු වූ නමුත් බෝ නොවන රෝග වල මරණ අනුපාතය පහත වැටුණේ 12% කින් පමණකැයි අධ්‍යයනය කියයි. “අමෙකුත් රෝග හා තුවාල නිසා සිදුවන මරණ සමග සසඳද්දී CMNN මරණ සංඛ්‍යාවෙහි සීග්‍ර අඩුවක් දැකිය හැකි  වුවද තරුණ හා මැදිවයස් වැඩිහිටි පිරිස් අතර සැලකිය යුතු මරණ අනුපාතයකට තුඩු දෙන බෝ නොවන රෝග ප‍්‍රතිපත්ති සම්පාදනයේ දී වැඩි සැලකිල්ලක් යොමු වියයුතු ය” යි පර්යේෂකයෝ පෙන්වා  දෙති.

මීට අමතරව 2006 සිට ගැටුම් සහ ත‍්‍රස්තවාදය හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එය 2016 දී මරණ 150,500 දක්වා ඉහළ නැංගේය. (මෙය 2006 සසඳද්දී 143% වැඩිවීමකි). මේ වැඩවීම ප‍්‍රධාන කොටම උතුරු අප‍්‍රිකාවේ සහ මැද පෙරදිග ගැටුම් හේතුවෙනි. ඇතැම් ප‍්‍රදේශවල විශේෂයෙන් ඉහළ ආදායමක් සහිත රටවල ඔපයිඞ(opioid අබිං සමාන සංයෝග), ඇමිෆිටමින(amphetamine උත්තේජක ඖෂධ) සහ අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදු වූ මරණ අනුපාතයන් ද ඉහළ ගොස් ඇත. ලොව පුරා බිලියන 1.1 ක ජනතාව මානසික සෞඛ්‍ය හෝ මත්ද්‍රව්‍ය භාවිතයට අදාළ රෝගාබාධ ඇතැයි අධ්‍යයනය පෙන්නුම් කරයි.

“පසුගිය දශකය ගත්තොත්, අපේ සොයාගැනීම් වලින් පෙන්නුම් කරන්නේ මිනිස්සු දැන් වැඩි කාලයක් ජීවත් වෙනවා,  වයස අවුරුදු 5 ට අඩු මරණ සංඛ්‍යාව සහ මැලේරියාව වැනි අනර්ථකාරී රෝග වලින් සිදුවන මරණ අනුපාතය පහළ හෙලීමට අප සමත්ව සිටිනවා යන්නයි” යයි වාර්තාවේ සමකතෘ ක‍්‍රිස්ටෝපර් මරේ පෙන්වා දෙයි. හෙතෙම සියැටල් හි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මිනුම් සහ ඇගැයීම් ආයතනයේ අධ්‍යක්ෂවරයාය. “එසේ වුවද මෙලෙස ප‍්‍රගතියක් තිබුණේ වී නමුත් අප ස්ථුලතාව (තරබාරුකම), ගැටුම් සහ (මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළුව) මානසික රෝගාබාධ යන තුන් බිය බොහෝ ජාතීන් හා ප‍්‍රජාවන්ගේ ප‍්‍රගතියට බාධා පමුණුවනවා” යයි හෙතෙම වැඩි දුරටත් දක්වයි.

අධ්‍යයනයට රටවල් හා ප‍්‍රදේශ 130 ක,  2500 කට අධික පිරිසක් එක්වූහ.

 

Live Science හි පළවූ Here Are the Top Causes of Death Worldwide  නම් මුල් ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: