විදු නැන නුවණ – Science Literacy for All

කැසිනි අවසන් ගමන් යද්දී අවධානය බ‍්‍රහස්පතී වෙත

වසර විස්සක ජීවිත කාලය අවසන් කරමින් සැත්තැම්බර්  15 සිකුරාදා අවසන් ගමන් ගිය කැසිනි විමර්ෂණ යානය අපට ලබා දී ඇති තොරතුරු බොහෝයි. කැසිනි මෙහෙයුමෙන් පසුව සෙනසුරු සහ එහි වළල මෙන්ම චන්ද්‍රයන් ගැන උනන්දුව අඩුවේද? නැතිනම් පිටත ග‍්‍රහයන්(outer planets) අතුරෙන් වෙනත් ග‍්‍රහයෙකු වෙත සැලකිල්ල යොමුවේද? අපි සොයා බලමු.

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහයා බ‍්‍රහස්පතිය.  නාසා ආයතනය හා යුරෝපීය අභාවකාශ ඒජන්සිය එකතුව ඉතා ඉක්මනින්ම බ‍්‍රහස්පති ග‍්‍රහයා වෙත මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වේ. මේ ලිපියෙන් සොයා බැලෙන්නේ එම සූදානම ගැනයි. නාසා ආයතනයේ කැසිනි අභාවකාශයානය, සෙනසුරු වලාකුළු මත හුදෙක් අණු ගොඩක් බවට පත්වෙද්දී විද්‍යාඥයන්ගේ අක්ෂි මානයට පැමිණෙන්නේ තවත් වායු යෝධයෙකු වන බ‍්‍රහස්පතිය. ඇත්තටම දැනටමත් නාසා ආයතනය ඒ සඳහා ගවේෂක යානයක් යොදවා තිබේ. පසුගිය ගිම්හානයේ බ‍්‍රහත්පති වටා කක්ෂගත වුණු ඒ යානය හඳුන්වනු ලබන්නේ ජූනෝ(Juno) යනුවෙනි. මීට අමතරව තව වසර පහක් ගතවෙද්දී තවත් බ‍්‍රහස්පති මෙහෙයුම් දෙකක් දියත් කිරීමට නියමිතයි.

ජූනෝ(JUNO)

ජූනෝ:  ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වැය වන ජූනෝ මෙහෙයුම 2011 අගෝස්තු මස දියත් කෙරුණු අතර ජූනෝ යානය 2016 ජූලි 4 දා බ‍්‍රහස්පතිගේ කක්ෂයට ඇතුල් විය. එය  බෙහෙවින් ඉලිප්සීය කක්ෂයක ගමන් ගනී. බ‍්‍රහස්පති වටා භ‍්‍රමණය වීමට ඊට ගත වන කාලය පෘථිවි දින 53 කි. මෙම ඉලිප්සීය කක්ෂ ගත ගමනේදී බ‍්‍රහස්පතිට කිට්ටුවටම පැමිණෙන විට එහි වලාකුළුවලට උඩින් සැතැපුම් දහස් ගණනක් දක්වා ආසන්නයට පැමිණේ. (මුල් සැලැස්ම වූයේ ජූනෝ බ‍්‍රහස්පති වටා පෘථිවි දින 14 ක කක්ෂගතව ගමන් කරවීමටයි. එහෙත් එන්ජින් වෑල්වයක ගැටලූවක් නිසා එය වෙනස්කිරීමට සිදු විය. ජූනෝ  බ‍්‍රහස්පති වඩාත්ම ආසන්නයේ ගමන් කරද්දී එහි ඇති උපකරණ මගින් බ‍්‍රහස්පතිගේ වායුගෝලයේ ව්‍යුහය හා සංයුතිය පිළිබඳ දත්ත මෙන්ම ග‍්‍රහයාගේ ගුරුත්වය හා චුම්භක ක්ෂේත‍්‍රය පිළිබඳ දත්ත එක් රැස් කර ගනී. එවන් දත්ත බ‍්‍රහස්පති ග‍්‍රහයා සෑදුනු ආකාරය මෙන්ම එහි පරිණාමය ගැන බොහොමයක් තොරතුරු හෙළිකර ගැනීමට මග පාදනු ඇතැයි මෙහෙයුමේ විද්‍යාඥයෝ කියති. ජූනෝ එහි කැමරා උපකරණය යොදා ගනිමන් අති සුවිශේෂීව ඡයාරූපද ගනු ලැබේ. ජූනෝ කැමරාවේ දළ දත්ත උපයෝගී කරගනිමින් විචිත‍්‍ර චිත‍්‍ර සකසා ගන්නා ලෙස නාසා සහ පුනෝ මෙහෙයුමේ සාමාජිකයෝ ජනතාවගෙන් ඉල්ලීමක් කරති. වැඩිවිස්තර https://www.missionjuno.swri.edu/junocam වෙබ් අඩවියෙන්) ජූනෝ දැනට සැලසුම් කර ඇත්තේ 2018 ජූලි වන තෙක් ක්‍රියාත්මක කරවීමටය. එහෙත් ඉන් ඔබ්බට තවත් කාලයක් ඊට ලබා දීමට ඉඩ ඇතැයි නාසා නිලධාරිහු පවසති.

යුරෝපා ක්ලිපර්(Europa Clipper)

යුරෝපා ක්ලිපර් : ජූනෝ බලාපොරොත්තු වුණාට වඩා වැඩි කාලයක් පැවතුනහොත් හැර, බ‍්‍රහස්පති වෙත යැවෙන ඊළඟ නාසා මෙහෙයුමට බොහෝ කාලයකට පෙර එය අවසන් ගමන් ගොස් තිබෙන්නට පුළුවන. මන්ද, නාසා ආයතනයේ යුරෝපා ක්ලිපර් මෙහෙයුම දියත් කිරීමට නියමිතව ඇත්තේ 2022 දී වීම නිසයි. දැනට වැඩිදියුණු කරමින් සිටින දැවැන්ත  අභ්‍යාවකාශ පද්ධතියේ(Space Launch System – SLS)  රොකට්ටුවක් යොදාගෙන අභ්‍යවකාශ ගත කරන මේ යුරෝපා ක්ලිපර් වෙනුවෙන් ඩොලර් බිලියන 2ක් යෙදවේ.

සියල්ල සැලසුම් කළ ආකාරයට සිදු වුවහොත් ක්ලිපර් යානය 2025 දී බ‍්‍රහස්පති වටා කක්ෂ ගත වනු ඇත. ඉන් අනතුරුව ඉදිරි වසර කිහිපය තුළ එය බ‍්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා පසුකරමින් ‘ආසන්නයේ පියාසර කිරීම්’(flybys)  40 ක් සිදු කිරීමට නියමිතයි. මෙකී ආසන්න පියාසර කිරීම්වලදී යානයේ ඇති විද්‍යා උපකරණ කට්ටල නවයක් යොදා ගනිමින් යුරෝපා චන්ද්‍රයා ගැන අධ්‍යයනය කරනු ඇත. (මෙම චන්ද්‍රයා වටා කක්ෂ ගතව සිටිනවාට වඩා මෙසේ ආසන්නයෙන් පියඹා යාමෙන් යානය බලගතු විකිරණවලින් ආරක්ෂා කර ගැනීමට ඉඩ සැලසෙන බව නාසා නිලධාරීහු පවසති). මෙම මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණු වන්නේ සැතැපුම් 1,900ක් (කි.මී. 3100) ක් පළලැති යුරෝපා චන්ද්‍රයාට අප දැනට දන්නා මාදිලියේ ජීවය නඩත්තු කිරීමට හැකි දැයි සොයා බැලීමයි.

(බ‍්‍රහස්පතිගේ) යුරෝපා චන්ද්‍රයාගේ අයිස්මය කබොල යට ද්‍රව ජල සාගරයක් ඇති බව සොයාගෙන තිබේ. මීට අමතරව යුරෝපා අයිස්මය චන්ද්‍රයා වඩා සමීපව අධ්‍යයනය කිරීමට ද අපේක්ෂා කෙරේ. ඊට මග සැලසෙන පරිදි යුරෝපා ගවේෂණ පැකේජයට ගොඩ බැස්සවීමේ යානයක්ද එක්කරන්නැයි 2015 දී කොංග‍්‍රස් මණ්ඩලය නාසා ආයතනයට උපදෙස් දුන්නේය. එය ඉටු කළ යුතු හොඳම විධිය ගැන නාසා ආයතනය දැන් කරුණු සොයමින් සිටියි.

ජූස් (JUICE)

ජූස්: ක්ලිපර් මෙන්ම ජූස් මෙහෙයුමද 2022 දියත් කිරීමට නියමිතයි. ජූස්, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය(Europe Space Agency) බ‍්‍රහස්පති වෙත යොමුවන ප‍්‍රථම ප‍්‍රයත්නයයි. යුරෝ බිලියන 1.5ක් (ඩොලර් බිලියන 1.8ක්) වැයවන ජූස්,  එරියන් ස්පේස් එරිඈන් 5(Arianespace Ariane 5)  රොකට්ටුවක ආධාරයෙන් දියත් කරනු ඇත. ජූස්, බ‍්‍රහස්පතිගේ වායුගෝල සහ චුම්භක වටපිටාව අධ්‍යයනය කරනු ඇති අතර ග‍්‍රහයාගේ ගැලීලි චන්ද්‍රයන් සිව් දෙනාගේ තිදෙනෙකු වන යුරෝපා(Europa) කැලිස්ටෝ(Callisto) සහ ගැනීමිඞ්(Ganymede) ගැනද සොයා බලනු ඇත. අනෙක් ගැලීලි චන්ද්‍රයා වන්නේ අධිකතර යමහල් කි‍්‍රයාකාරිත්වයකින් හෙබි අයෝ(Io)ය.(මේවා ගැලීලි චන්ද්‍රයන් ලෙස නම් කරුණක් 1610 දී ගැලීලියෝ ගැලීලි විසින් ඒවා සොයා ගැනීම නිසාවෙනි). කලින්ම සඳහන් කළ(යුරෝපා, කැලිස්ටෝ සහ ගැනීමිඞ්)  බ‍්‍රහස්පති චන්ද්‍රයන් තිදෙනාගේම අයිස් කබොල යට ද්‍රව ජලය කැලතෙන්නේ යයි විද්‍යාඥයෝ විශ්වාස කරති.  ජූස් නිරීක්ෂණ, මේ වාසයෝග්‍ය වියහැකි වටපිටාවන් ගැන හොඳින් අවබෝධ කර ගැනීමට ඉඩ සලකනු ඇත. “ක්ලිපර් සහ ජූස් එකම පවුලේ සාමාජිකයන් දෙදෙනෙක්. ඒ දෙක බ‍්‍රහස්පති ග‍්‍රහ පද්ධතිය මුළුමනින්ම සෝදිසි කරලා බලාවි” යයි කර්ට් නයිබර් පවසයි. ඔහු වොෂින්ග්ටන් හි නාසා මුලස්ථානයේ වැඩ සටහන් විද්‍යාඥයෙකි. ‘ක්ලිපර් යුරෝපා ගැන අවධානය යොමු කරමින් එහි වාසයෝග්‍යතාව ගැන සොයා බලාවි. ජූස් ගැලිලිය චන්ද්‍ර පද්ධතිය ගැන පුළුල් අවබෝධයක්  ලබාගන්නට ක්‍රියා කරනවා  මෙන්ම ඒවායේ සම්භවය හා පරිණාමය ගැන සොයාවි.

බ‍්‍රහස්පති වෙත සිදුකෙරෙන මේ මෙහෙයුම්වලින් කියැවෙන්නේ නාසා සෙනසුරු ග‍්‍රහයා ගැන උනන්දුව අත්හැර දමා ඇත යන්න නොවේ.  ඇත්තටම සිදුවන්නේ එහි අනික් පැත්තයි. එනම් 2025 වන විටම වාගේ නැවත එහි යාමටයි නාසා අදහස් කරන්නේ. ආයතනයේ නව සිමා මෙහෙයුම්(New Frontiers mission) 12න් 5 ක්ම සෙනසුරු කේන්ද්‍ර කරගෙන ඇත. ඉන් එකක් සෙනසුරුගේ වායුගෝලය ගවේෂණය කරනු ලබන අතර දෙකක් චන්ද්‍රයා ද අනික් දෙක  චන්ද්‍රයා ද අධ්‍යනය කරනු ඇත.

 

Scientific American හි After Cassini’s End at Saturn, Outer Planets Exploration Shifts to Jupiter ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: