විදු නැන නුවණ – Science Literacy for All

වසර 12,000 පෙර අතුරුදන් වූ අතිශය දියුණු ශිෂ්ඨාචාරයක්?

ග‍්‍රැහැම් හැන්කොක් යනු තම මතය අභීතව කියාපාන ස්වයං අධ්‍යාපනයෙන් ඉගෙනුම ලත් අයෙකි. Magicians of the Gods (Thomas Dunne Books, 2015)නම් ප‍්‍රකට කෘතිය මගින් හා වෙනත් අවස්ථාවල ඔහු කියා සිටින්නේ පුරාණ මෙසපොතේමියාව,බැබිලෝනියාව හා ඊජිප්තු ශිෂ්ඨාචාරයන්ට බොහෝ කාලයකට පෙර (ඒවාටත් වඩා) උත්කෘෂ්ට ශිෂ්ඨාචාරයන් පැවති බවයි. එහෙත් මෙයට වසර 12,000 ට පමණ පෙර පෘථිවිය මතට ධූමකේතු කඩා වැටීමකින් පසුව එහි පැවැත්ම පිළිබඳව සාක්ෂි සියල්ලම පාහේ විනාශ වී ගොසින්ය. ඉන් ඉතිරිව ඇත්තේ වර්තමානයේ සිටින අපට ද සිදුවිය හැකි මහා නැස්පැත්තියක ගුප්ත අනතුරු හැඟවීමක් ද ඇතුලත් ඉතා අපැහැදිලි, මැකී ගිය සලකුණු පමණකැයි හැන්කොක් කල්පනා කරයි. මේ සියල්ල මනරම් අධ්‍යයනයක් ලෙස ඔහුගේ ග‍්‍රන්ථයට ඇතුළත් කර ඇත. හැන්කොක්, ගුවන් විදුලි මාධ්‍යය ඔස්සේ සිය ග‍්‍රන්ථයෙන් කොටස් කියවන විට එය අඛණ්ඩව අසා සිටීමට කෙනෙකු පොළඹවන සුළුය. එහෙත් මේවා ඇත්ත ද? Scientific American හි මේ ලිපියෙන් මයිකල් ෂර්මර් ඒ ගැන විමසා බලයි.

ප‍්‍රථමයෙන්ම, පාර භෞම ඝට්ටනයක්(පෘථිවියෙන් බැහැරින් එන) කොපමණ නම් ව්‍යසනකාරී වුවද සියවස් ගණනක් යහතින් වැජඹුණු ඉතා දියුණු ශිෂ්ඨාචාරයක එකම එක ආයුධයක් හෝ මෙවලමක්, වළං කැබිලිති, ඇඳුමක හෝ ලේඛනයක කොටසක් ලෝහ විද්‍යාත්මක හා වෙනත් තාක්ෂණ අවශේෂ තබා අඩුම තරමින් සුන්බුන් කිසිවක්වත් ඉතිරි වූයේ නැතැයි අප සිතිය යුතු ද? ඇදහිය නොහැකිසේය.

දෙවනුව, හැන්කොක්ගේ මේ ඝට්ටන  උපකල්පනයට මුල පිරෙන්නේ ඔය කියන කාල සීමාවේම වගේ උතුරු ඇමරිකාවේ මහා නෂ්ඨප‍්‍රාප්තියක් ඇති කළ සිද්ධිය පැහැදිලි කිරීම වස් 2007 වර්ෂයේ දී විද්‍යාඥයන්ම ප‍්‍රථමයෙන් ඉදිරිපත් කළ මතයකිනි. මතය, විද්‍යාර්ථීන් අතරේ ජවසම්පන්න විවාදයකට තුඩු දී තිබේ. එහෙත් ඉන් යහපත් තීරණවලට එළඹීමට හැකි වී නැත. ඔය කියනා කාලය ආසන්නයේ සිදු වූයේ යැයි නිගමනය වූ ඝට්ටන ආවාට ලොව කිසිම තැනක නොමැතිකමට අමතරව, මෙකී මහා විපත්තිදායක සිද්ධියෙහි ප‍්‍රතිඵලයක් ලෙස හටගත් බව කියන කාබන්, දුඹුල්, අඟුරු, නැනෝදියමන්ති, ක්ෂුද්‍ර කුඩා ගෝල(microspherules), ඉරිඩියම් තට්ටු නැතිනම් ස්තරවල වකවානු, වසර 10,000 ටත් 14,000 ටත් අතර  ඕනෑම කාලයක සිදු වූ මහා සත්ව සන්නැහි නෂ්ටප‍්‍රාප්තියට පෙර සහ පසුව (ඓන්ද්‍රිය වස්තුවක වයස කාබන් – 14 මගින් නිශ්චය කරගැනීමේ ක‍්‍රමය අනුව-radiocarbon dating)  බොහෝ පුළුල් ලෙස වෙනස් වේ.

තවද, (වෙනත් විශේෂ නොනැසි යහතින් පැවතුනා වූ) උතුරු ඇමරිකාවේ දී ක්ෂීරපායි ගණ(mammal genera) 37 ක් නෂ්ටප‍්‍රාප්ත වූ නමුත් ඒ හා සමගම දකුණු ඇමරිකාවේ ක්ෂීරපායි ගණ 52 ක් නෂ්ටප‍්‍රාප්ත වූයේ ඝට්ටනයේ ප‍්‍රතිඵලයක් ලෙස නෙවේ යයි සැලකේ. මෙකී නෂ්ටප‍්‍රාප්තවීම් මානවයන්ගේ සම්ප‍්‍රාප්තිය සිදුවූ කාලය හා  බැඳෙන අතර එය වඩාත් ප‍්‍රචලිත උපකල්පනයක් ලෙස සැලකෙන අධි-දඩයමඋපකල්පනයට (overhunting hypothesis) ආධාරකයක්, රුකුළක් වේ.

තුන්වෙනුව  හැන්කොක් සිය ප‍්‍රාණක කාරණාවට පාදක කර ගන්නේ අඥාන මූල තර්කයයි (argument from ignorance =  එනම් උදාහරණයකට විද්‍යාඥයන්ට X යන න්‍යාය පැහැදිලි කිරීමට නොහැකි හෙයින් Y යන න්‍යාය වලංගු න්‍යාය ලෙස සැලකිය යුතුය යන තර්කය) හෝ පෞද්ගලික අවිශ්වාස තර්කයයි(argument from personal incredulity = එනම් X න්‍යාය පැහැදිලි කිරීමට මට නොහැකිය. එහෙනම් මගේ Y න්‍යාය වලංගුය යන තර්කයයි). මෙය මැවුම්වාදීන් ඉදිරිපත් කරන ‘හිඩැසෙහි දෙවියන්’ තර්කයට සමාන යයි ෂර්මර් පවසයි. (මෙම තර්කයෙන් කියැවෙන්නේ විද්‍යාත්මක දැනුමෙහි හිඩැසවල් තිබීම දෙවියෙකුගේ පැවැත්ම ඔප්පු කෙරෙන සාක්ෂියක් යනුවෙනි). ඒ අනුව එම හිඩැසවල් පුරවන්නේ මානව වර්ගයාට ශිෂ්ඨාචාරය ගෙන ආ ‘මායා කරුවන්’ යයි හැන්කොක් ප‍්‍රකාශ කරන බව හෙතෙම තව දුරටත් දක්වයි.

මෙතැන ගැටළුව දෙයාකාරය. (1) විද්‍යාඥයන් අතර යම් යම් කාරණා ගැන එකඟත්වයක් නැතත් ඔවුනට හැන්කොක් X  ලෙස දක්වන දේවල්(උදාහරණ මිසර පිරමිඩ, ගීසාවල ඇති යෝධ ස්පින්ක්සය) ගැන මනා පැහැදිලි කිරීම ඇත. (2) අනෙක කෙනෙකුගේ න්‍යාය අවසානයේ පදනම් විය යුත්තේ එය සනාථ කිරීමට ඇති ධනාත්මක සාධක මත මිස පිළිගත් න්‍යායට එරෙහිව ඇති සෘණාත්මක සාක්ෂි මතම නොවේ. හැන්කොක් හුවා දක්වන තුර්කියේ Göbekli Tepe  පුරවිදු බිම, ටොන් 7 සිට 10 ක් බර යෝධ T-හැඩැති ශිලාමය කුළුණු වලින් සමන්විතය. මේවා ගල්වලවලින් කපා ගෙන ඒමට හැකි වී ඇත්තේ ඒවා නිපදවීමට අවශ්‍ය දැනුම, කුසලතා හා ශ‍්‍රම ශක්තිය නොමැති යයි සිතිය හැකි, මානවයා දඩයමින්-අහර රැස්කරමින් ගත කළ(hunter-gatherer) යුගයේ සිටි කාලවකවාණුවකදී ය. එබැවින් මෙයින් අඩුම තරමින් තේරුම් යන්නේ වසර දොළොස් දහසකට වැඩි කාලයකට පෙර අවසන් වූ, ‘අයිස් සමය’ උච්ච අවස්ථාවකට පත්ව තිබියදී ලෝකයේ සිටි මෙතෙක් නොදන්නා සහ හඳුනා නොගත් පිරිසක් උසස්ම ශිෂ්ඨාචාරයක සියළු ගුණාංග ප‍්‍රගුණ කර සිට ඇති අතර  ඔවුන්ගේ දැනුමෙහි ඵල ප‍්‍රයෝජන ලොව පුරා පතුරුවාලීම සඳහා දූතයන් යැව් බව යයි හැන්කොක් කියා සිටියි. මෙම අදහස බැලු බැල්මට  චමත්කාරජනක බව පෙනී යා හැකි නමුත් ඇත්තටම එය ආධානග්‍රාහීවීමේ (යම් මතයක තදින්ම එල් බී සිටීමේ) ප‍්‍රතිඵලයක් පමණක් බව ෂර්මර් කියයි. දඩයමින්-අහර රැස්කරමින් ගත කළ යුගයේ මානවයන්ට කුමක් කළ හැකිව හෝ කළ නොහැකිව තිබුණේ දැයි කාට කිව හැකිද ?අනික Göbekli Tepe  යනු ආගමික ස්ථානයක් මිස පුරවරයක් නොවේ. එහි කිසිවකු ජීවත් වූ බවට සාක්ෂි කිසිවක් නොමැත. එමෙන්ම, හීලෑ කළ සතුන්ගේ ඇට, ලෝහ මෙවලම්, අභිලේඛන හෝ වෙනත් ලේඛන, වෙනකක් තබා වළං භාණ්ඩ අවශේෂ වත් නොවීය(මේ සියල්ල පසුකාලීන උසස් ශිෂ්ටාචාර වල දැකිය හැකි ඒවා විය).

හතරවැන්න. මානව වංශයේ අප හට ශිෂ්ඨාචාරය ගෙන ආ ඉසිවරයා සොයමින් හැන්කොක් දශක ගණනාවක් ගත කර ඇත. එහෙත් මානව ඉතිහාසයේ සම්මත කාලරේඛාව(standard timeline of human history) වෙනස් කරන්නැයි පුරාවිද්‍යාඥයන්ව ඒත්තු ගැන්වීමට තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට මේ සෙවිල්ල පොහොසත් වී නැත. මෙයට පිළිතුරු බඳිමින් හැන්කොක් කියා සිටින්නේ ප‍්‍රධාන ධාරාවේ විද්‍යාඥයන්, සෙමින්, ක‍්‍රම ක‍්‍රමයෙන් වෙනසකම් සිදුවන ඒකරුපතා ආකෘතිය(uniformitarian model) තුළ හිර වී ඇති බැවින් විපර්යාස්තමක වෙනස්කම් පිළිකෙව් කරන බවයි. අසත්‍යයකි. විශ්වයේ සම්භවයේ සිට (මහා පිපුරුම), චන්ද්‍රයා බිහිවීම (මහා ඝට්ටනය) සඳ මත මහා ආවාට සෑදීම (උල්කා ඝට්ටන) ඩයිනසෝර නෂ්ටප‍්‍රාප්තිය (ග‍්‍රහක ඝට්ටන) දක්වා විපර්යාසාත්මක සංසිද්ධි ගැන ප‍්‍රධාන ධාරා විද්‍යාවේ අපමණ දැක්වේ. ඇත්තටම සැබෑ ඉසිවරු වනාහි, විද්‍යාඥයන්ය.

Scientific American හි No, There Wasn’t an Advanced Civilization 12,000 Years Ago යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: