සිව්වැනි ගුරුත්වාකර්ෂණ තරංගයත් සොයා ගනී

ලේසර් නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණාගාරය (Laser Interferometer Gravitational-wave Observatory = LIGO) හෙවත් ලිගෝ තුන්වැනි වරටත් ගුරුත්වාකර්ෂණ තරංගයක් අනාවරණය කර ගැනීමට සමත් වෙයි. එය කළුකුහර ගැන අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයන්ට තවත් රුකුලක් වනු ඇත. මුල්ම ගුරුත්වාකර්ෂණ තරංගය අනාවරණය කරනු ලැබුවේ 2016 වසරේදීය. (2016 පෙබරවාරී 16 තතු බලන්න). සියලූම වස්තු අවකාශ කාල ඇතිරිල්ල යම් ප්‍රමාණයකින් විකෘති කරයි. වඩාත් දැවැන්ත වස්තුවල අන්තර් කි‍්‍රයාකාරිත්වයෙන් එහි හෙළිකර ගැනීමට හැකි රැළිති(ripples) ද හටගනී. යම් ආකාරයකට විලක ඇතිවන රැළිති සේය. එහෙත් වෙනසකට ඇත්තේ මෙම රැළිති ආළෝකයේ වේගයෙන් ගමන් කිරීමයි. එසේ වුව ද, මේ රැළිති කුඩා බවක් ද ගනී. මන්ද විශ්වයේ මූලික බලයන් අතුරින් දුර්වලම බලය ගුරුත්වය නිසයි. එහෙයින්, නිදසුනක් ලෙස අති දැවැන්ත විද්‍යුත් චුම්භක සිද්ධියක් සොයා ගන්නවාට වඩා ගුරුත්වයේ රැළිති සොයා ගැනීම අසීරුයි.

ලිගෝ නිරික්ෂනාගාරයක්
ලිගෝ නිරීක්ෂණාගාරය කළු කුහර දෙකක් එකට එක්වීම වැනි සුවිශේෂී වශයෙන් ප්රචණ්ඩ සිද්ධි නිරීක්ෂණයට ස්ථාන දෙකක්(දෙපොළක්) යොදාගන්නේ එහෙයිනි(ඉතා ළඟදීම මෙය තුන් පොළක් වීමට නියමිතයි). කළු කුහර එකට එක් වෙද්දී ඒවයේ ගුරුත්වාකර්ෂණ තරංගවල විශාලත්වය අභ්‍යාවකාශය නමැති විලට බොරලූ කැටයක් වැටීමේ ප්‍රතිඵලයක්, යෝධ ගලක් ඊට පෙරලූ විට ඇති වන ප්‍රතිඵලය බවට පෙරළෙයි. එමගින් සෑම දිශාවකටම වඩාත් විශාල ගුරුත්වාකරණ තරංග පිටත්කර යැවේ. තුන්වැනි වතාවට ලිගෝ සොයා ගන්නේ ආලෝක වසර බිලියන 3කට කලින් සිදුවී, මේ වසරේ ජනවාරි 4 දා පෘථිවිය වෙත ළඟා වූ ගුරුත්වාකරණ තරංගය. ඒවා හට ගෙන ඇත්තේ කළුකුහර දෙකක් එකතුවීමෙනි. මේ එකතුවෙන් බිහිවූ නව කළු කුහරය අපේ සූර්යයා මෙන් 49 ගුණයකි. මේ හා සමාන විවිධ ස්කන්ධවල කළු කුහර, ආවලියක්, ඒ කියන්නේ කළු කුහර ආවලියක්(spectrum of black holes) පිරවීමට ආධාර වෙයි. මන්ද, මෙයට කලින් ලිගෝ මගින් සොයා ගනු ලැබූ, සූර්ය ස්කන්ධ 62 ක් සහ 21 ගුණයකින් සමන්විත කළු කුහර ඒකාබද්ධවීම් දෙක අතරට මේ තුන්වැන්න වැටෙන හෙයිනි.

කලුකුහර ස්කන්ධ ආවලියක්?
ලියෝ නිරීක්ෂණාගාරයට පෙර තාරකා විද්‍යාඥයන් විසින් මැන බලා තිබුණේ, එක්කෝ සූර්ය ස්කන්ධ මෙන් සුළු ගුණයක ඒවා හෝ නැතිනම් සූර්යා ස්කන්ධ මිලියන ගණන් වන ගුණයකින් යුතු කළු කුහර ය. එහෙත් ඒ දෙකොන අතරතුර කළු කුහර කිසිවක් නොවීය. එහෙයින් ලිගෝ සොයාගැනීම් කළු කුහර ආවලියක තැබිය හැකිවේ.
මේ වසරේ ජූනි 1 දා Physical Review Letters සඟරාවෙහි පළ කෙරනු ලිගෝ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ මෙය ලියෝ කණ්ඩායමේ බලාපොරොත්තු සපුරාලන ඉලක්ක දෙසට යන නැඹුරුවක් හැටියටයි: එනම් ගුරුත්වාකර්ෂන තරංග සෙවීම සාමාන්‍ය සුලබ සිද්ධියක් බවට පත් විය හැකි බවයි. යුරෝපීය ගුරුත්වාකර්ෂණීය නිරීක්ෂණාගාරයේ වර්ගෝ වැඩිදියුණු කළ අනාවරකය(advanced detector) එක් කිරීමත්, තුන්වැනි ලිගෝ නිරීක්ෂණාගාරයක් ඉන්දියාවේ ගොඩනැඟීම ළඟදි අනුමත වීමක් සලකන විට අනාගතයේ දී මෙම ව්‍යාපෘතියේ (ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීමේ) සංවේදීතාව ඉහළ දැමීමට හේතු වනු ඇත.

වර්ගෝ නිරීක්ෂනාගාරය
මේ අතර ලියෝ විද්‍යාත්මක සහයෝගිතාවය(LIGO Scientific Collaboration) සහ වර්ගෝ සහයෝගීතාව(Virgo Collaboration) ප්‍රථමවරට ඒකාබද්ධව, ගුරුත්වාකර්ෂන තරංග සොයනු ලැබ ඇතැයි වාර්තා වී ඇත. මෙය (සනාථ කළ) සිව්වැනි ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම මෙන්ම නිරෝධනමාන (interferometers) තුනක ජාලයක් යොදා ගෙන සිදුකෙරුණු මුල්ම සොයාගැනීමයි.
පසුගිය අගෝස්තු 14 දා නිරීක්ෂණ කරුණු මෙම තරංග හටගෙන ඇත්තේ සූර්ය ස්කන්ධ 31 සහ 25 කළු කුහර දෙකක ඒකාබද්ධවීමෙනි. ඉන් අලූතෙන් බිහිවූ කළු කුහරය සූර්ය ස්කන්ධ 53 කි. වර්ගෝ නිරීක්ෂණාගාරයේ නිරීක්ෂිත සංඥාව සහ ලියෝ නිරීක්ෂණාගාර සංඥා දෙක එකට එකතුවීමෙන් නිරීක්ෂණ කාර්යය 10 ක සාධකයකින් වැඩි දියුණු වූ බව විද්‍යාඥයෝ වාර්තා කරති.
Astronomy – October 2017 USA හි LIGO detects third gravitational wave යන ලිපිය සහ LIGO News (LIGO Scientific Collaboration) වෙබ් අඩවියේ LIGO and Virgo make the first joint detection of merging black holes (27 Sep, 2017) යන ලිපි ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න