සංකල්ප සාර සංග්‍රහය 48: විඥානවාදය හෙවත් පරමාදර්ශවාදය(Idealism)

මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහී තවත් ලිපියක්
දර්ශනවා දී සන්දර්භයකින් සලකන විට විඥානවාදය(පරමාදර්ශවාදය) යන පදය, චින්නයෙන්(mind) ස්වාධින වූ යථාර්ථයක් නොපවතින්නේය හෝ යථාර්ථය දැන ගත හැක්කේ අපගේම මානසික ප්‍රවර්ග සහ ගොඩනැගීම් හරහා පමණක්ය යන්න පිළිගන්නා ඕනෑම න්‍යායක් අරභයා යෙදිය හැකිය. මෙය ‘අද්වෛතවාදී’(monistic) ආස්ථානයකි. ඉන් කියැවෙන්නේ යථාර්ථය එක් ආකාරයක මුල ද්‍රව්‍යයකින් පමණක්, එනම් චින්තයෙන් පමණක් සැදුම්ලන බවයි. මෙය, මනස හෙවත් චින්තය සහ ද්‍රව්‍ය යනු වෙනස් ආකාර දෙකක් යයි කියැවෙන ‘ද්වෛතවාදී’(dualist)ආස්ථානයට ප්රතිවිරුද්ධය. විඥානවාදය, භෞතිකවාදය(materialism) හා පරස්පරව සසඳනු ලැබේ. තවත් අද්වෛතවාදී ආස්ථානයක් වන භෞතිකවාදය කියාසිටින්නේ එකම යථාර්ථය ද්‍රව්‍යය පමණක් බවත්, චින්තය, හැඟීම් යනාදිය හුදෙක් ද්‍රව්‍යයෙහි ශ්‍රිතයන්(කාර්යයන්) යන්නය.
ප්‍රථම විඥානවාදී දර්ශනවාදියා ලෙස පොදුවේ සැලකෙන්නේ අයර්ලන්ත ජාතික බිෂොප්වරයෙකු වූ ජෝර්ජ් බර්ක්ලේ ය(1685–1753). ඔහු ඉදිරිපත් කළ ‘ආත්මීය විඥානවාදය’ කියාපාන්නේ, භෞතික වස්තු පවතින්නේ හුදෙක් මනසින් සංජානනය කරනු ලබන අයුරින් පමණක් බවයි. Esse est percipi (පැවැත්ම යනු එසේ සංජානනය කරනු ලැබීමයි) යන සිද්ධාන්තය තුල ගැබ්ව ඇත්තේ මේ ධර්මයයි. හුදෙක් යථාර්ථය ලෙස සංජානනය කරනු ලබන දේ සහ කල්පන හෙවත් අදහස් හැටියට සංජානනය කරනු ලබන දේ පවතින්නේ හුදෙක් මනසේ පමණකි.
ජර්මානු ජාතික ඉමෑනුවෙල් කාන්ට්(1724–1804) ඉදිරි පත් කල අනුභූති-උත්තර විඥානවාදය(transcendental idealism) දෘෂ්‍යමානය සහ යථාර්ථය අතර වෙන්කොට හැඳින්වීමක් සිදුකරයි. කාන්ට් දක්වන අන්දමට දෘෂ්යමානයන් යනු හුදෙක් නියෝජනයන් පමණක් මිස ‘පවතින දේ’ නොවේ. තවද, කාලය හා අවකාශය මිනිසුන්ගේ මනස මගින් ගොඩනගා ගන්නා දේ මිස ‘ස්ව-පැවැත්මකින් නිර්ණයවන දේ හෝ ස්වයංව පවතින දේ ලෙස දකින වස්තුවල ස්වභාවයන් නොවන බව’ ඔහු වැඩි දුරටත් දක්වයි.
මෙහි තුන්වැනි ස්වරුපයක් ලෙස තවත් ජර්මානු දර්ශනවාදියෙකු වන G.W.F. හේගල්(1770–1831) ගේ ‘පරම විඥානවාදය’(absolute idealism) දැක්විය හැකිය. මෙහිදී, විඥානය සහ එහි අරමුණ අතර ප්‍රභේදනය බිඳ වැටෙන්නේ, යම් ආකාරයක විශ්ව මනසක් වූ පරමය(the Absolute) කියන මිය මතු කරමිනි. මේ මතිය අනුව යථාව පරිපුර්ණය, සියල්ලය සහ අංගසම්පුර්ණය. එවන් කැපිපෙනෙන පාරභෞතික ප්‍රකාශන බොහෝ සැකසංකා මතු කිරීමට තුඩු දී ඇත. එසේවුවත් විඥානවාදී ප්රවනතාව ප්රපංචවේදය(phenomenology) නම් දර්ශනවාදී ප්‍රවේශය තුල රැඳී පවතී.
Big ideas in brief (Quercus, 2013) නම් ග්‍රන්ථයේ Idealism යන කොටස ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න