විදු නැන නුවණ – Science Literacy for All

මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය ලිගෝ කළු කුහර පර්යේෂකයන්ට

ගුරූත්වාකර්ෂණ තරංග  ලෙස දෑක්වෙන අවකාශ-කාල රැළිති සොයාගනිම වෙනුවෙන් මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ  මහාචාර්යවරයෙක් වන රෙයිනර් වඉස් සහ කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ  කීප් තෝන් සහ බැරි බැරිෂ් යන දෙදෙනාට ප්‍රදානය කර ඇත. මිට ශත වර්ෂයකට පෙර මේ රැළිති ගැන ඇල්බට් අයින්ස්ටයින් පුරෝකතනය කල ද,  ඒවා සෘජුවම දැක ගතනොහැකි විය. කළු කුහරවල  හෝ මිය ගිය තාරකාවන්හි වෙනත් ඝන අවශේෂ වැනි දැවැන්ත වස්තුවල චලනය හේතුවෙන් ගුරුත්වාකර්ෂණ තරංග අවකාශ කාලයේ රැළිති නංවනු ඇතැයි ඔහු කියා සිටියේය.

පසුගිය 3 දා ත්‍යාගය ප්‍රදානය ප්‍රකාශයට පත් කරමින් රාජකීය ස්වීඩන ඇකඩමිය කියා සිටියේ මේ සොයා ගැනීම  ‘ලොව කැලඹු’  බවයි. ඇත්තටම මෙම කැලම්බිම සිදුවුයේ 2016 පෙබරවාරි මාසයේ, අන්තර්ජාතික භෞතික විද්‍යාඥයන්ගේ සහ තාරකා විද්‍යාඥයන්ගේ එකතුවක් ආලෝක වර්ෂ බිලියනයකට පෙර දැවැන්ත කලුකුහර දෙකක ඝට්ටනයකින් විමෝචනය වූ  ගුරූත්වාකර්ෂණ තරංග වාර්තා කර ගැනීමට සමත් වූ බව ප්‍රකාශ කිරීමත් සමගය. එම සොයාගැනීම ලොව විශ්මයට පත් කළේය.

Image result for nobel prize for ligo scientists

ආචාර්ය වඉස්(85),  ආචාර්ය තෝන්(77) සහ ආචාර්ය බැරිෂ්(81) යන තිදෙනා ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගත් උපකරණය වන ලේසර් නිරෝධනමාන ගුරුත්වාකර්ෂණ නිරීක්ෂණාගාරය(Laser Interferometer Gravitational-wave Observatory =  LIGO = ලිගෝ) සහ සහෝදර සංවිධානයක් වන ලිගෝ විද්‍යා එකතුවේ නිර්මාපකයන් සහ ප්‍රධානින් වෙති. ස්වීඩන ක්රෝනා මිලියන නවයක ත්‍යාග මුදලින් අඩක් ම හිමිවන්නේ ආචාර්ය වඉස් ටය. අනික් දෙදෙනා අතරේ ඉතිරි මුදල බෙදී යයි.

ප්‍රදාණය ගැන සැකසුනු වීඩියෝවක් මෙතනින් නරඹන්න

ගුරුත්වාකර්ණීය තරංග සොයාගැනීම ගැන සහ ඒවාෙය් වැදගත් කම ගැන thathu හි අපි අවදියෙන් සිටියෙමු. ප්‍රථම වරට මෙම තරංග සොයාගැනීමත් සමගම 2016 පෙබරවාරී 17 දා thathu ගෙන ආ වාර්තාවෙන් කොටසක් දැන් දක්වමු:

ගුරුත්වාකර්ණීය තරංග සොයාගැනීම තහවුරු කිරීම විද්‍යාව ලත් විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. එය මෙයට ශත වර්ෂයකට පෙර ඇලබට් අයින්සටයින් ගෙන් පටන් ගෙන විද්‍යා මතනිර්මාතෘවරුන්ගේ අචල විශ්වාසය සහ අප්‍රතිහත ධෛර්ය තුළින් උපයාගත් විශ්ව දායාදයක්.

“මෙයට හරියටම වසර 100 කට පෙර අයින්ස්ටයින් උපකල්පනය කළ අන්දමටම අභ්‍යවකාශ වස්තුන් අතර ඇතිවන ගුරුත්වාකර්ෂණය නිසා ගුරුත්වාකර්ෂණීය තරංග ඇති වන බව විද්‍යාඥයන් විසින් පසුගිය සතියේ නිශ්චය වශයෙන්ම සොයා දැනගත්තා. මෙතෙක් කළක් හුරු පුරුදු ආලෝක, අධෝරක්ත, පාරජම්බුල, රේඩියෝ ආදී වර්ණාවලී තරංගවල  සීමාවන් තුළ සිට විශ්වය නිරීක්ෂණය කළ විද්‍යාඥයන්ට මින් පසු ගුරුත්වාකර්ෂණීය තරංග උපයෝගීකරගෙන මෙතෙක් කල් අපට නිරීක්ෂණය කළ නොහැකිවූ විශ්වයද නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති. ගුරුත්වාකර්ෂණීය තරංග වලින් ක්‍රියාකරන මෙවලම් යොදාගැනීමෙන් විශ්වයේ ආරම්භක අවදිය දක්වාම වුවද නිරීක්ෂණය කරන්නත් පුළුවන් වේවි. ඒ අනුව ගුරුත්වාකර්ෂණීය තරංග වල පැවැත්ම සැබැවින්ම සොයා ගැනීම අභ්‍යවකාශ විද්‍යාවේ දැවැන්ත පිම්මක්”ගිය සතියේ වොෂින්ටනයේ පැවැති පුවත් සාකච්ඡාවකදී මේ සොයාගැනීම අනාවරණය කළ ලිගෝ ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය ඩේවිඩ් රීට්ස්හ් තව දුරටත්  පැවසුවා.”අපි ගුරුත්වාකර්ෂණිය තරංග ඇති බව සොයාගත්තා. මුල්ම වරට විශ්වය ගුරුත්වාකර්ෂණීය තරංග ඔස්සේ අපට කතා කළා. එතෙක් අප හිටියේ බිහිරිවයි.″

ගුරුත්වාකර්ෂණීය තරංග යනු අවකාශකාල (space-time) ඇතිරිල්ලේ ඇතිවන කැළඹීම් වශයෙන් හැඳින්විය හැකියි. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ පොදු නියාමයට අනුව අවකාශකාලය යනු ශුන්‍ය දෙයක් නොව සිව්මානයකින් යුත් අදෘෂ්‍යමාන ඇතිරිල්ලක් වැනි දෙයක්.  එතුළ ඇති වස්තුන් එහාමෙහා වනවිට මේ ඇතිරිල්ල වැනි දෙයද ඇදීමට හැකිලීමට ලක්විය හැකියි. ගුරුත්වාකර්ෂණීය තරංග ඇතිවන්නේ මෙකී කැළඹීම් නිසායි. මෙය තේරුම් ගැනීමට මෘදු රබර් ඇතිරිල්ලක් මත ඇති ක්‍රිකට් බෝලයක් තරම් යකඩ බෝලයක් ගැන සිතන්න. යකඩ බෝලයේ බර නිසා රබර් ඇතිරිල්ල බොකු ගැසී යකඩ බෝලය අවට ඇතිරිල්ල වලයාකාර ස්වරූපයක් ගනී. මේ යකඩ බෝලයට නුදුරුව දෙහිගෙඩියක් තරම් කුඩා තවත් යකඩ ගෝලයක් තැබූ විට සිදුවන්නේ එය ලොකු යකඩ බෝලය වටා ඇති වලයාකාරය දෙසට ඇදී යාමයි. තාරකා ඇතුළු ආකාශවස්තුන් අතර ගුරුත්වාකර්ෂණයද ක්‍රියාකරන්නේ මේ අන්දමටමයි.  මේ උදාහරණය අවකාශකාලය සම්බන්ධයෙන් හරියටම හරි නොවූවත් එමගින් බොහෝවිට අප ශුන්‍යයැයි සිතන අවකාශය ක්‍රියාකරන ආකාරය ගැන අදහසක් ඇතිකරගත හැකියි. ඒ අනුව ශුන්‍යයැයි අප අදහස් කරන දෙය හෙවත් අවකාශකාලය තරලයක්වැනි ද්‍රව්‍යක් වශයෙන් අපට පරිකල්පනය කළ හැකියි. එනිසා මේ අවකාශකාලයේ දී එකිනෙක කරා ත්වරණය වන ඕනෑම වස්තුවක් නිසා තරලයේ රැළිති ඇතිවිය යුතුයි. මෙසේ ඇතිවන කුඩා රැළිති ඇතිවූ සැනින්ම වියැකී යන නමුත් නියුට්‍රෝන්තාරකා හා කළු කුහර වැනි අතිශයින් දැවැන්ත අභ්‍යවකාශ වස්තු නිසා ඇතිවන රැළි හෙවත් ගුරුත්වාකර්ෂණීය තරංග පෘථිවිය දක්වාම පැතිර යාමට තරම්ම ප්‍රබලයි.

මි ළඟට අප ගෙන එන්නේ 2016 ජුනි 20 දා thathu ගෙන වාර්තාවක කොටසකටයි:

ලිගෝ [LIGO])  යන කෙටි නමින් හඳුන්වනු ලබන ලේසර් ඉන්ට ෆෙරෝමීටර් (Laser Interferometer Gravitational-Wave Observatory) ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්ෂණාගාරය අවකාශ කාලය(spacetime) දෙවැනි රැළිති සමූහයත් සොයා ගනී. මෙවර ගුරුත්වාකර්ෂණ තරංග පැමිණ ඇත්තේ අපේ සූර්යයා මෙන් 14 ගුණයක් සහ අට ගුණයක් තරම් ස්කන්ධ සහිත කළු කුහර දෙකක ඝට්ටනයක ප‍්‍රතිඵලයක් ලෙසයි. පසුගිය බදාදා (2016 ජූනි  15දා) ලිගෝ තාරකා විද්‍යාඥයෝ මේ බව සනාථ කළහ.

අළුතෙන් සොයා ගනු ලැබ ඇති ගුරුත්වාකර්ෂණ තරංග ආරම්භ වී ඇත්තේ කළු කුහර දෙකක් එකට සංයෝග වීමේදී ය. මින් එක් කළු කුහරයක් අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 14 ගුණයක ස්කන්ධයකින් යුක්ත අතර අනෙක් කළු කුහරය සූර්යයාගේ මෙන් අට ගුණයක ස්කන්ධයකින් සමත්විතයි. මෙයට වසර බිලියන 1.4 කට පෙර දී මේ කළු කුහර සංයෝග වෙද්දී ආරම්භ වූ ගුරුත්වාකර්ෂණ තරංග තමයි ලිගෝ දෙවැනි රැළිති සමූහය ලෙස සොයා ගනු ලැබ ඇත්තේ. කළු කුහර දෙක භ‍්‍රමණය වෙමින් ක‍්‍රම ක‍්‍රමයෙන් එකිනෙකට ළංවී අවසානයේ එකිනෙක හා ගැටෙන්නට ඇතැයි විද්‍යාඥයන් ගණන් බලා ඇත. මේ ඝට්ටනයේ ප‍්‍රතිඵලයක් ලෙස අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් 21 ගුණයක  ස්කන්ධයක් ඇති නව කළු කුහරයක් බිහි වී ඇති අතර දෙමාපිය(මුල්) කළු කුහර දෙකට අයත්ව තිබී ඉතිරි වූ ස්කන්ධය ගුරුත්වාකර්ෂණ තරංග ස්වරූපයෙන් ශක්තිය බවට පරිවර්තනය වී ඇත. ලිගෝ ප‍්‍රථම ගුරුත්වාකර්ෂණ තරංග සමූහය පැමිණියේ ද මෙයටත් වඩා විශාල ස්කන්ධ (එකක් අපේ සූර්යයා මෙන් 30 ගුණයක පමණ ස්කන්ධ සහිත) ඇති කළු  කුහර දෙකක ඝට්ටනයෙනි. මෙවර සංඝට්ටනයෙන් ඉහළ සංඛ්‍යාතයක ගුරුත්වාකර්ෂණ තරංග නිර්මාණය කෙරිණ. මුලින් සොයා ගනු ලැබූ අවස්ථාවේ තරංග වලට වඩා දිගට ඒවා පෙනී ගියේය. මුල් ඝට්ටනයට පෙර විද්‍යාඥයන් එම කළු කුහර එකිනෙක වටා භ‍්‍රමණය වනු දැක ඇත්තේ වතාවක් හෝ දෙකක් පමණකි. එහෙත් මෙවර, ඝට්ටනයට පෙර ඔවුනට වස්තූන් දෙකෙහි අවසන් කක්ෂ ගත ගමන් 27 ක්ම  දැක ගත හැකි වී තිබේ.

ලිගෝ ඉදිරි ගමනේ තවත් කඩඉමක් සලකුණු කරමින්  සිව්වැනි  ගුරුත්වාකර්ෂණ තරන්ඟය සොයා ගැනීම thathu පසුගිය සැප්තැම්බර් 29 දා වාර්තා කළේ මෙසේයි:

මේ අතර ලියෝ විද්‍යාත්මක සහයෝගිතාවය(LIGO Scientific Collaboration) සහ වර්ගෝ සහයෝගීතාව(Virgo Collaboration) ප‍්‍රථමවරට ඒකාබද්ධව,  ගුරුත්වාකර්ෂන තරංග සොයනු ලැබ ඇතැයි වාර්තා වී ඇත. මෙය (සනාථ කළ) සිව්වැනි ගුරුත්වාකර්ෂණ තරංග සොයා ගැනීම මෙන්ම  නිරෝධනමාන (interferometers) තුනක ජාලයක් යොදා ගෙන සිදුකෙරුණු මුල්ම සොයාගැනීමයි. පසුගිය අගෝස්තු 14 දා නිරීක්ෂණ කරුණු මෙම තරංග හටගෙන ඇත්තේ සූර්ය ස්කන්ධ 31 සහ 25 කළු කුහර දෙකක ඒකාබද්ධවීමෙනි. ඉන් අලූතෙන් බිහිවූ කළු කුහරය සූර්ය ස්කන්ධ 53 කි. වර්ගෝ නිරීක්ෂණාගාරයේ නිරීක්ෂිත සංඥාව සහ ලියෝ නිරීක්ෂණාගාර සංඥා දෙක එකට එකතුවීමෙන් නිරීක්ෂණ කාර්යය  10 ක සාධකයකින් වැඩි දියුණු වූ  බව විද්‍යාඥයෝ වාර්තා කරති.

The New York Times (Oct 03) – Science වෙබ් පිටුවේ ලිපිය  සහ thathu පැරණි පොස්ටු ඇසුරෙන් සැකසිණ.

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: