විදු නැන නුවණ – Science Literacy for All

ලැව්ගිනි අවදානම ඵෙතිහාසික සංදර්භයක් තුළ සලකා බැලීම

ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර ආන්තික වර්ෂණ තත්ත්වයන් කලාපයේ අතීතය හා සමීපව පෙළ ගැස්වෙන බව ගස් වලය(tree rings) අධ්‍යයනය පෙන්නුම් කරයි.

මේ මාසයේ උතුරු කැලිෆෝනියාවේ ලැව් ගිනි ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම දරුණු වඩාත්ම භයානක ඒවා බවට පත් වෙයි. මේ මස 8 දා ගින්නෙහි ප්‍රහාරය ආරම්භ වූ පසුව, (22 දා වනවිට) අඩු තරමින් 42කු වත් මිය ගොස් ඇත. විනාශ වී ගොස් ඇති ව්‍යුහයන් සංඛ්‍යාව 8,400කට අධිකයි, ගින්නෙන් දා ගිය භුමි ප්‍රමාණය අක්කර 245,000 පමණවේ. ගින්නෙහි උච්ච අවස්ථාවේ දී ලක්ෂයකට වැඩි පිරිසකට උන් හිටි තැන් අත්හැර දමා පලායාමට සිදුවිය. ගිනි නිවන්නන් 6000ක් පමණ දිගටම තම දුෂ්කර කාර්ය ඉටුකරමින් සිටිති. ඇ. එ. ජනපදයේ වද්දත්ම කුප්‍රකට සැන්ටා ඇනා සුළඟ තත්වයන් සඳුදා සහ අඟහරුවාදා දකුණුදිග කැලිෆෝනියාවේ ඇතැම් කොටස් වල විනාශකාරී ගිනි තවදුරටත් පතුරුවාලීමට තුඩු දිය හැකි යයි USA Today වාර්තා කරයි.

Image result for california wildfire damage

මේ මහා ලැව් ගිනි වලට දායක වූ තත්ත්වයන් අතරින් එකක් වූයේ වසරින් වසරට කාලගුණයෙහි හා වර්ෂාපතනයෙහි එන්ට එන්ටම වර්ධනය වන වෙනස්වීම්ය –  මෙම ප‍්‍රවණතාව අනාවැකි පළ කළ හැකි අනාගතයේ දී, වඩා විශාල එමෙන්ම තව තවත් ලැව් ගිනි ඇතිවීමේ අනතුරු හඟවයි. ‘‘මිනිස් ක‍්‍රියාකාරකම් කාලගුණ විපර්යාසයන්ට මග පාදද්දී තව තවත් ගිනි ඇතිවෙනවා’’ යනුවෙන් පුරෝකතනය කරන්නේ ලොස් ඇන්ජලිස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA)  භූගෝලය, පරිසර විද්‍යා හා පරිණාමීය ජීව විද්‍යා කීර්තිමත් මහාචාර්ය ග්ලේන් මැක්ඩොනල්ඞ්ය. මෙම විශ්ව විද්‍යාලය මෙහෙය වූ පර්යේෂණ වාර්තාවක් ඔක්තෝබර් 16 PLOS One  සඟරාවෙහි පළ විය. ඒ වාර්තාව අනුව පෙනී යන්නේ ඇමරිකාවේ නිරිත දිග ප්‍රදේශ  මින් පෙර නොවූ විරූ කාලගුණික තත්ත්වයන් අත්විඳින බවයි.

සියුම් ඉන්ධන ද්‍රව්‍යය

මෙහි ලක්ෂණයක් ලෙස දැක්වෙන්නේ උෂ්ණත්ව සහ කාලගුණ විචල්‍යයන් බෙහෙවින් විශාලනය වීමයි. “සියුම් ඉන්ධන ද්‍රව්‍ය වැඞී ඒකරාශී වන තෙත් වසරක් අපට ලැබෙනවා. ඊළඟට අපට ඇති වෙන්නේ ඉතාමත් වියළි තත්ත්වයන්ය. මෙහිදී පසෙහි මතුපිට  මෙන්ම වෘක්ෂලතාදිය වියළී යනවා” යයි අධ්‍යයනයේ කතෘවරයෙකු ද වන මැක්ඩොනල්ඞ් පෙන්වා දෙයි,  “ඉතින් තෙත් වසරේ එක්වන ඉන්ධන ද්‍රව්‍යය,  වියළි කාලයේ දී ගිනි හට ගැනීමට මග පාදනවා. මට හිතාගත හැකි නරකම තත්ත්වය මෙයයි”. (fine fuels ලෙස හැඳින්වෙන සියුම් ඉන්ධන ද්‍රව්‍යය යනු වියළිබාවයට පත්වන,  වසරක් පමණ පවතින තෘණ සහ අනෙකුත් ශාකමය ද්‍රව්‍යයි. ඒවා ලැව් ගිනි හට ගැනීමට මෙන්ම ඉක්මනින් පැතිර යාමට මග පාදයි)

Image result for el nino and la nina

ක‍්‍රි:ව: 950 සිට 1400 දක්වා  ශුෂ්ක හා උණුසුම් තත්ත්වයක් සහිතව ස්ථාවර කාලගුණයක්(දැන් මෙම තත්ත්වයන් ‘ලා නිනා’ හෙවත් La Niña  ලෙස දැක්වෙයි) පැවති ‘මධ්‍යකාලීන දේශගුණ විෂමතාව’(medieval climate anomaly)  ලෙස දැක්වෙන තත්ත්වයන් ප්‍රකාරය හෙවත්  සම්මතය වූ බව අධ්‍යනය පෙන්නුම් කරයි.  ක‍්‍රි:ව: 1400 සිට 1850 දක්වා ‘සුළු අයිස් සමය’ සලකුණු වූයේ සීතල, තෙත් කාලගුණික රටා, සහ සීතල හා උණුසුම් සමක සාගර උෂ්ණත්වයන් අතර උස් පහත්වීම් (උච්චාවචන) වලිනි.  එකී උණුසුම් අදියර දැන් හැඳින්වෙන්නේ එල්නිනෝ (El Niño) ලෙසය.

අද, ලා නිනා සහ එල් නිනා අතර උච්චාවචනයහඳුන්වනු ලබන්නේ  එල්නිනෝ දක්ෂින දෝලනය (El Niño Southern Oscillation) ලෙසය. ඉන් හටගන්නා තත්ත්වයන් කෘෂිකර්මාන්තය සහ සුළගෙහි ගුණාත්මක ස්වභාවය කෙරෙහි බලපාන අතර නිරිත දිග එක්සත් ජනපදයේ මහා වර්ෂාපතන මෙන්ම වඩාත් දැඩි නියං ද ඇති කරයි. මෙය ලැව් ගිනි අවදානම වැඩි කරමින්, මහ නගර හා කලාප සිය ජලය එකතු කිරීම මෙන්ම බෙදා හැරීම කළමණාකරණය කරගත  යුත්තේ කෙසේ ද යන්න කෙරෙහි බලපායි. “අනාගත ජල සම්පත කළමණාකරණය මෙන්ම නියං හා ගංවතුර උවදුර මඩින ක‍්‍රමෝපායන් වර්ධනය සඳහා ලා නිනා සහ එල්නිනෝ සිද්ධි විශ්ලේෂණය වැදගත්” යයි අධ්‍යයනය මෙහෙය වූ සහකාර මහාචාර්යවරියක වන ජුලි ලොයිසෙල් කියයි.

ශත වර්ෂ ගණනාවකට පෙර කාලගුණ රටා කොයි ආකාරයකට හැසිරුනේ ද යන්න අවබෝධ කර ගැනීම පිණිස  පර්යේෂකයෝ ඇතැම් පයින් වර්ග(limber pines and bristlecone pines) වැනි ගස්වල වලයන් (the rings) පරීක්ෂා කර බැලූහ. පෘථිවිය මත දැනට ඇති පැරණිතම  ජීවියන් ලෙස සැලකෙන්නේ මෙම පයින් වර්ගයි. වසර 4500 කට පෙර ඊජිප්තුවේ මහා පිරමීඩය ගොඩ නගන කාලයේ සිටම ඇතැම් bristlecones පයින් වර්ග පැවති බව වාර්තා වේ.

Image result for tree rings

පස, ජලය සහ තෙතමනය බහුලව තිබීමට, ගස්වල වලය සංවේදීය. මේ හේතුව නිසා ඒවා වර්ෂණය, වාෂ්පිකරණය සහ අනෙකුත් උෂ්ණත්ව රටාවන් පිළිබඳ දෘශ්‍යමය තොරතුරු විද්‍යාඥයන්ට සපයයි. නිදසුනක් දක්වතොත්, නියං කාලවලදී ගස් වැඞීම බාලය(අඩාලය); එහෙයින්  වළයන් සිහින්ය. තෙත් කාලවලදී වැඩි වර්ධනයක් දෘෂ්‍යමාන වේ. “ඒවා දේශගුණ ඉතිහාසයේ පුදුමාකාර සංරක්ෂණාගාරයි’’ මැක්ඩොන්ල්ඞ් පවසයි.

අද දැකිය හැකි වෙනස වන්නේ දේශගුණික විපර්යාස (ගෝලීය) උණුසුම ඉහළ දැමීමෙන් සාගර උෂ්ණත්වය, වාෂ්පිකරණය සහ කඳුවලින් හිම දිය වී යාම වැනි ක‍්‍රියාදාමයන් කෙරෙහි බලපෑම් ඇති කිරීමයි. “මෙයාකාරයෙන් විචල්‍යයන් බොහොමයක් ඇති හෙයින් ඒවා අපව නුහුරු නුපුරුදු ඉමක් දක්වා කැඳවාගෙන යනවා” මැක්ඩොනල්ඞ් පවසයි, ‘‘හරිතාගාර වායු වර්ධනයට ශාන්තිකර සාගරය සහ එල් නිනෝ දකුණු දිග දෝලන පද්ධතිය ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ගැන අවිනිශ්චිත තාවක් දේශගුණ විපර්යාසයන් මගින් ගෙන එන අතර 21 වැනි සියවසේ දී දේශගුණය අපට අනපේක්ෂිත සිදුවීම් ගෙන එනු ඇතැයි හිතන්න පුළුවනි.’’

UCLA Environment & Climate වෙබ් අඩවියෙහි   UCLA research puts wildfire risk into historic context යන ලිපිය ඇසුරෙනි

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: