විදු නැන නුවණ – Science Literacy for All

සමාස්වාදය (සංවින්දනය) කියන්නේ කුමකට ද?

සම ආස්වාදය හෙවත් සමාස්වාදය (Synesthesia)  යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉන්ද්‍රියයන් කිහිපයකින් එකවර දත්ත සකස් කරවීමට මොළයට සලස්වන ස්නායුක තත්ත්වයකි. නිදසුනක් දක්වතොත්, සමාස්වාදයෙන් පෙලෙන්නෙකු වර්ණ සුළි දකින අතරම ශබ්ද ද ශ‍්‍රවණය කළ හැකිය. මේ තත්ත්වය සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැති අතර එය ප‍්‍රවේණික යයි අදහස් කෙරේ. පිරිමින්ට වඩා ස්ත‍්‍රීන් බොහෝ දෙනෙකුට මෙය බලපාන බව කියැවේ. සමාස්වාදය දුලබය. ඇමරිකානු මනෝ විද්‍යාත්මක සංගමය (American Psychological Association APA) දක්වන අන්දමට එය ඇති වන්නේ පුද්ගලයන් 2,000 කට එක් කෙනෙකුටය. මෙම තත්ත්වය කලාකරුවන් අතර වඩා ප‍්‍රචලිතය. සමාස්වාදය සහිත ප‍්‍රකට කලාවේදීන් කිහිප දෙනෙකු දක්වතොත්, පොප් ගායක Lorde,  වයලින් වාදක Kaitlyn Hova, චිත‍්‍ර ශිල්පීන් වන Wassily Kandinsky සහ David Hockney දැක්විය හැකිය. ලේඛක Vladimir Nabokov  සහ භෞතිකඥ Richard Feynman ද සමාස්වාදයෙන් පෙළෙන්නට ඇතැයි ඇමරිකානු මනෝ විද්‍යා සංගමය පවසයි.

සමාස්වාදයට කියන synesthesia යන වචනය බිඳි විත් ඇවිත් ඇත්තේ ‘එක්ව සංජානනය’ යන අරුත් ඇති ග‍්‍රීක යෙදුමෙනි (to perceive together).  Psychology Today සඟරාව දක්වන අන්දමට සමාස්වාද වර්ග 60 කට වැඩියෙන් වාර්තා වී තිබේ. මෙම තත්ත්වය සහිත පුද්ගලයෝ අඩු තරමින් සමාස්වාද වර්ග දෙකක් අත් විඳිති. මින් වඩාත්ම සුලබ වර්ගය වනුයේ ග‍්‍රැෆීමය-වර්ණ සමාස්වාදයයි(grapheme-color synesthesia).  මේ තත්ත්වයෙන් පෙළෙන්නා අක්ෂර හෝ සංඛ්‍යා ලිඛිත පිටුවෙහි වර්ණිතව හෝ මනසෙහි වර්ණිත ලෙස මවා ගැනේ. වෙනත් ආකාර සමාස්වාද අතර:

  • ඇතැම් ශබ්ද ශ‍්‍රවණ වෙද්දී ඇතැම් සුගන්ධයන් දැනීම
  • සංගීතය, වාතයේ ඇති වර්ණ ලෙස දැකීම (සංගීත-වර්ණ සමාස්වාදය
  • වචන රස බැලීම (ශබ්ද කෝෂීය – රසයන සමාස්වාදය)
  • ඇතැම් සංචරන හේතු කොටගෙන ඇතැම් චිත්ත වේග ඇති වෙතැයි හැඟී්යාම
  • කාලයට භෞතික ගති ලක්ෂණ ඇතැයි හැඟීයාම (කාල-අවකාශ සමාස්වාදය)
  • වේදනාව දැනෙද්දී යම් වර්ණයක් දැකිම
  • සංඥා භාෂාව වර්ණ ලෙස දැකීම

සමහරු ‘සංකල්පමය සමාස්වාදය‘ (conceptual synesthesia) යන සංසිද්ධිය ද අත් විඳිති. මෙහිදී ඔවුහු, කාලයේ ඒකක හෝ ගණිතමය ක්‍රියාකරණ වැනි වියුක්ත සංකල්ප(abstract concepts) අභ්‍යන්තරික වශයෙන් හෝ ඒවායේ අවට අවකාශය තුළට ප‍්‍රක්ෂේපිත හැඩතල ලෙස දකිති යි ඇමරිකානු මනෝ විද්‍යා සංගමය පෙන්වා දෙයි.

සමාස්වාදය පිළිබඳ අධ්‍යයන මුලින් ආරම්භ වන්නේ 19 වන සියවස අග සහ 20 වැනි සියවස මුලදීය. මෙම තත්ත්වය පිළිබඳ පර්යේෂණ 1970 ගණන් වන තුරු අතර මග ඇණ හිටි ස්වභාවයක් දක්නට ලැබිණ. එහෙත් ඉන් අනතුරුව, ස්නායු විද්‍යාඥයන් (neuroscientists) සමාස්වාදය කියන තත්ත්වය ගැන අධ්‍යයන සිදු කර ඇති අතර ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ Monitor on Psychology සඟරාවෙහි පළ කෙරුණු ලිපියකට අනුව මෙම තත්ත්වයට බලපාන හේතු කාරක ගැන  තරඟකාරී සිද්ධාන්ත ගණනාවක්ම ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති. නිදසුනක් ගනිමු. කේ‍්‍රම්බි‍්‍රජ් සරසවියේ සමාස්වාදය ගැන හදාරන, පර්යේෂක සයිමන් බැරන්-කොහෙන් ඉඟි කරන්නේ, ස්නායුක සම්බන්ධතා අධි බහුලවීමෙහි ප‍්‍රතිඵලයක් ලෙස සමාස්වාදය ඇතිවන බවය. සාමාන්‍යයෙන් සෑම ඉන්ද්‍රියයක්ම මොළයේ වෙනම ම මොඩුයලයකට පවරා තිබෙන්නේ එකී මොඩුයල අතර සන්නිවේදනය සීමා කරමිනි. එහෙත්, සමාස්වාදය සහිත ජනතාවගේ මොළයෙහි මෙම මොඩුයල අතර සීමා පවුරු බිඳ දැමෙන අතර මොඩුයල අතර සංනිවේදනය වඩාත් වැඩිවෙන බව ඔහු කියයි.

 

කෙසේ වෙතත්, කොලරාඩෝ හි නැරෝපා සරසවියේ මනෝ විද්‍යාඥ පීටර් ග්‍රොසන්බැකර් මේ ගැන වෙනස් මතයක් දරයි. මොළයේ ගෘහ නිර්මාණය යළි සැකසීම වෙනුවට මොළයේ තනි සංවේදන කොටස්වලට,  මොළයේ බහුසංවේදන කොටස් වලින් ප‍්‍රතිපෝෂණයක් ලැබෙන විට සමාස්වාදය ඇතිවන බවයි ඔහුගේ අදහස. සාමාන්‍ය අවස්ථාවල දී බහු සංවේදන කොටස් වලින් තොරතුරු ආපසු එන්නේ යෝග්‍ය තනි සංවේදන කොටසටයි. සමාස්වාදය සහිත පුද්ගලයන්ගේ තොරතුරු අවුල් වෙන බව ග්‍රොසන් බැකර් පවසයි.

ඔන්්ටාරියෝ හි මැක්මාස්ටර් සරසවියේ මනෝ විද්‍යාවරියක වන ඩැෆ්නේ මවුරර් වෙනස්ම සිද්ධාන්තයක් ගොඩ නගයි. ඉන් කියැවෙන්නේ සෑම දෙනාටම මෙම (ස්නායුක) සම්බන්ධතා තිබුණත් ඒ හැමෝම ම ඒවා භාවිතා නොකරන බවයි.  එම සම්බන්ධතා භාවිතා කරන්නේ සමාස්වාදය අත් විඳින අය පමණකැයි මවුරර් අදහස් කරයි.

2016 යුරෝපයේ ස්නායු විද්‍යා සඟරාවේ පළ කර තිබූ කුඩා අධ්‍යයනයක් අනුව පෙනී ගොස් ඇත්තේ සමාස්වාදය ඇත්තවුන්ට යම් සුවිශේෂ ශබ්ද සහ රවුම් හෝ කෝණික හැඩතල  අතර දැඩි සම්බන්ධයක් ඇති බවයි. (මේ අධ්‍යයනයට සහභාගී වූයේ 17 ක් පමණකි). “සමාස්වාදය ගැන විවාදයක් පවතිනවා” අධ්‍යයනයේ සම-කතෘ ක‍්‍රිෂ් සේදියන් ප‍්‍රකාශ කරයි. හෙතෙම ඇට්ලැන්ටාවේ එමරි විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකි. සමාස්වාදය පවතින අයගේ සංජානන ප‍්‍රභවය, ඔවුනට ශ‍්‍රවණය වන ඇතැම් ශබ්ද, ඒවා නියෝජනය කරන මානසික අනුරූප සමග සම්බන්ධයක් ඔවුන් දකින්නේ ද නැතහොත් ප‍්‍රභවය සම්පූර්ණයෙන් ම වෙනස් එකක් ද යන්න මෙතෙක් පැහැදිලි නොවී යයි හෙතෙම කියා සිටියි.

විද්‍යාලයීය සිසුන් 11,000 කගේ සහභාගීත්වයෙන් 2017 වසරේ සිදු කළ සමීක්ෂණයක දී පර්යේෂකයන්ට පෙනී ගිය කාරණයක් වූයේ, ඉතා ලාබාල වියකදී භාෂා දෙකක් ශ‍්‍රවණය හා කතා කරමින් වැඩෙන දරුවන්ට, එවැනි වියකදී භාෂා දෙකක් කතා නොකරන අයට වඩා සමාස්වාදය ඇතිවීමේ හැකියාව වැඩි බවයි. ‘‘එකිනෙකට වෙනස් භාෂාමය පසුබිමක් සහිත ජන කණ්ඩායම් අතරේ විවිධ සමාස්වාද අනුපාත පවතිනවා’’ යයි සම-කතෘ, මාකස් වොට්සන් පෙන්වා දෙයි. හෙතෙම ටොරොන්ටෝ හි යෝක් විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක මනෝ වෛද්‍යවරයෙකි.

රෝග විනිශ්චය :

සමාස්වාද තත්ත්වය නිර්ණය කිරීම සඳහා නිල ක‍්‍රමයක් නැත. කෙසේ වෙතත්, සුප‍්‍රකට සමාස්වාද පර්යේෂක රිචඞ් සයිටොවික් විසින් වැඩි දියුණු කරන ලද මාර්ගෝපදේශ නම් ඇත. සමාස්වාදය සහිත පුද්ගලයෝ සාමාන්‍යයෙන් මතු දැක්වෙන දේ කරති.

  • තම ප‍්‍රජානන නොසිතා මතා සිදු කිරීම:
  • ශබ්දයක් ඇසුණු කල වාතයේ වර්ණ පාවෙනු දැකීම වැනි මනසින් බාහිරව සංවේදන ප‍්‍රක්ෂේපණය කිරීම
  • සෑම අවස්ථාවකම එක සමානව ප‍්‍රජානනයක් තිබීම: යම් ගන්ධයකට ප‍්‍රතිචාර ලෙස හැඩයක් දැක්ක ද ඊට වඩා සංකීර්ණ යමක් නොදකිම වැනි ප‍්‍රජානනයන් තිබීම.
  • මූලික ප‍්‍රජානනයට වඩා හොඳින් ද්විතීයික සමාස්වාදී ප‍්‍රජානනය මතක තිබීම.
  • ප‍්‍රමෝදජනක හැඟීම් ඒවායේ ප‍්‍රජානනයට සම්බන්ධ කර තිබීම වැනි චිත්ත වේගී ප‍්‍රතිචාර තිබීම.

 

Live Science  හි පළවූ What Is Synesthesia? යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: