විදු නැන නුවණ – Science Literacy for All

ඉන්ෆුලවැන්සාවට ප‍්‍රතිකාර සඳහා නව කෘතිම ප්‍රෝටීනයක්

පරිණාමය හරහා අහිමිව ගිය ප්‍රෝටීනයක් යළි හඳුන්වාදීම, වෛරස ආසාදනයන්ගේ බලපෑම අඩුකිරීමෙහිලා යම් අපේක්ෂා ඇති කිරීමට සමත් වෙයි.

ඉන්ෆුලවැන්සාවේ රෝග ලක්ෂණ, ඇතැම් විට එහි මාරක බව අඩුකිරීමෙහිලා සමත් යයි පෙනී යන  සංශ්ලේෂණය කළ ප්‍රෝටීනයක් විද්‍යාඥයන්මෙන්ම ජනතාව යම් අපේක්ෂා දල්වන බව ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඞ් සරසවි වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණයන් පෙන්නුම් කරයි. Journal of Leukocyte Biology නම් සඟරාවේ පළ කළ ලිපියක් මගින් විද්‍යාඥයන් කියා සිටින්නේ රෙට්රොසයික්ලින් 101(retrocyclin-101 – RC-101) යනුවෙන් නම් කර ඇති මෙම ප්‍රෝටීනය, සජීව මීයන්ගේ සහ මානව සෛල පෙළ මත පරීක්ෂා කිරීමේ දී සෙම්ප‍්‍රතිශ්‍යාවේ වෛරස භාරය හා ඒ හා සම්බන්ධ ප‍්‍රදාහය අඩු කිරීමට සමත් වූ බවයි. ‘‘ඉන්ෆුලවැන්සා රෝගයට මෙන්ම පොදුවේ ප‍්‍රදාහයන්ට එරෙහි සටනේ දී වැදගත් අවියක් විය හැකි ඖෂධ නිර්මාණයට මේ ප්‍රෝටීනය මග පාදනු ඇතැයි අප විශ්වාස කරනවා’’ යයි අධ්‍යනයේ ප‍්‍රාථමික කර්තෘ ඩැනියෙල් ප‍්‍රැන්ට්නර් පවසයි.

RC-101  යනු නව වර්ගයේ  ‘‘ඩිෆෙන්සින්’’(defensin) ප්‍රෝටීනයකි. මෙම ප්‍රෝටීන ස්වරූපය බොහෝ සත්වයන්ගේ හා ඇතැම් ශාකවල දැකිය හැකිය. ඩිෆෙන්සින් බැක්ටීරියා, දිලීර සහ වෛරස වලට එරෙහිව ක‍්‍රියා කරයි. එය ප‍්‍රති-වෛරස කාරකයක් ලෙස 2004 දී සූත‍්‍ර ගත කෙරිණ. ඒ,  ස්වභාවිකව හට ගන්නා ඩිෆෙන්සින් වර්ගයක් ලෙස රිසස් මකා වඳුරන් අතරේ තිබී ව්‍යුත්පන්න කරගත් පසුවය.  එය HIV ආසාදනයට එරෙහිව බලාපොරොත්තු රැඳවිය හැකි ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාර ඉස්මතු කරන බවක් පෙනී ගොස් ඇත. මනුෂ්‍යයන්ට තාක්ෂණිකව සලකතොත්, රෙට්රොසයික්ලින් ගණයේ ඩිෆෙන්සින් ප්‍රෝටීන ප‍්‍රකාශන හැකියාව ඇති ජාන  තිබෙන නමුත් ඒවා කිසිදා හෝ පරිණත වීම අනුක‍්‍රමණ විකෘතියක් හේතුවෙන් වැළකේ. මානව ව්‍යාජ ජානයන් (pseudogenes) මගින් නිපදවනු ලැබූ පූර්වගාමි රෙට්රොසයික්ලින් ප්‍රෝටීනයක්, ඇතැම් HIV මාදිලි මගින් සුදු රුධිරාණු ආසාදිත වීම වැළැක්වීමේදී ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරන බව හඳුනාගෙන තිබේ.

වෛරස අජීවී ලෙස සැලකෙන්නේ ඇයි?  

රෙට්රොසයික්ලීන් ප්‍රෝටීන, වරකට එක් ඇමයිනෝ අම්ලය බැගින් සැකසීමෙන්(ගැලපීමෙන්) CDC හෙවත්  රෝග පාලනය හා වැළැක්වීමේ ඇමරිකා එක්සත් ජනපද මධ්‍යස්ථාන ආයතනයේ ෂෙරි  ඕවන් ප‍්‍රමුඛ කණ්ඩායමක් RC-101 නිර්මාණය කළහ. HIV-1 වලට  ප‍්‍රහාර එල්ල කිරීමේ  අනෙකුත් ප්‍රෝටීන වල කි‍්‍රයාකාරකම් පාලනය කිරීමේ දී එය විද්‍යාඥයන්ගේ අපේක්ෂා ඉහල දමයි. AIDS Research and Human Retroviruses සඟරාවෙහි ලිපියක් පළ කරන  ඕවන් සහ සගයෝ, “RC-101 හි කාර්ය සාධනය පෙන්නුම් කරන්නේ අතිරේක ‘ඉංජිනේරූකරණයෙන්’ මානව ඩිෆෙන්සින් වල හැකියාවන් තව දුරටත් වර්ධනය කිරීමට හැකිවනු ඇතැයි යන්න බවය” යි නිගමනය කරති. වඩාත් මෑතක අධ්‍යයනයක්, එනම් 2016 සිදු කළ අධ්‍යයනයක් වාර්තා කරන්නේ, RC-101  ඇතුළු වෛරස පරාසයක ධූලක (toxins) ‘අස්ථාවර’ කිරීමට හැකි වූ බවයි. මෑතකම සිදුකළ පර්යේෂණයක දී ප‍්‍රැන්ට්නර් සහ කණ්ඩායම, ෆ්ලූ වෛරසයකට එරෙහිව RC-101   ප‍්‍රතිචාරය පරීක්ෂා කර බැලූහ.  එහිදී විද්‍යාඥයන්ට පෙනී ගියේ, මීයන්ගේ මෙන්ම  මානව සෛල පෙළෙහි දී නව පෙප්ටයිඩය, TLR-4 නම් තවත් ප්‍රෝටීනයක් කෙරෙහි බලපාන බවයි. මෙම ප්‍රෝටීනය, රෝග කාරක හෙවත් ව්‍යාධි කාරක හඳුනා ගැනීමෙහිලා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ඉන්ෆ්ලූවැන්සා වෛරස, සෛල ආක‍්‍රමණය කිරීම සැලකිය යුතු අන්දමට අවහිර කරනු ලැබූ අතර හන්දිපත් රුදාව සහ අධික උණ ආදී ෆ්ලූ රෝග ලක්ෂණ බොහොමයක් යටපත් කෙරිණ.

මීයන් යොදාගෙන සිදු කළ අධ්‍යයනයක දී කණ්ඩායම් දෙකක් ෆ්ලූ වෛරසයකින් ආසාදනය කරනු ලැබූහ. අනතුරුව එක් කණ්ඩායමකට RC-101 ලබා දෙන ලදී. මෙම කණ්ඩායමේ මරණ අනුපාතය 20% පමණක් වූ අතර (ඉතිරි මීයන් අතර රෝග ලක්ෂණ ද දක්නට ලැබුණේ අඩු වශයෙනි). එහෙත්  පාලක කණ්ඩායමේ (control group) 90% මිය ගියහ.

RC-101 ඩිෆෙන්සින් සාදෘශ්‍යයනක් හෙවත් ප‍්‍රතිසමයක්(defensin analogue) නිපදවීමට මිනිසුන්ට තිබෙන නොහැකියාව පෙන්නුම් කරන්නේ සාපේක්ෂව මෑතක පරිණාමයෙන් ඇති වූ ප‍්‍රතිඵලයක් හැටියටයි. චිම්පන්සි සහ ගෝරිල්ලන්ටත් එම හැකියාවන් මෙලෙසම තොර වුවද ඔරං උටං සත්තු තවමත් එය නිපදවති. ඉන්ෆ්ලූවැන්සාව ලොව පුරා සෑම වසරක් පාසා දහස් ගණන් මරා දමයි. ඉන්ෆ්ලූවැන්සාවට එරෙහිව RC-101, සාර්ථකත්වය මෙම රෝගයට ප‍්‍රතිකාර කිරීමේ විභවය ගැන සොයා බැලීමේ වැඩි දුර පර්යේෂණයන්ට පැහැදිලි මාර්ගයක් සපයයි. මීට අමතර, ඩෙංගු සහ සිකා ඇතුළු වෙනත් වෛරස ආසාදනවලට එරෙහිව මේ ප්‍රෝටීනයේ හැකියාව පරීක්ෂා කිරීමට පැන්ට්නර් ඇතුළු කණ්ඩායම අදහස් කරති.

COSMOS – The Science of Everything හි පළවූ Synthetic protein hints at flu treatment යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: