විදු නැන නුවණ – Science Literacy for All

නව වැනි ග‍්‍රහයා සෙවීම

සෙරස්

අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ සැඟවුණු ග‍්‍රහයන් වෙනත් විධියකට කීවොත් සැඟවුණු අභ්‍යාවකාශ වස්තු සෙවීම ආරම්භ වූයේ අද ඊයේ නොවේ. ඒත් මේ වෑයම් සාර්ථකවූ අවස්ථා මෙන්ම  මෙන්ම අසාර්ථක බවක් දක්වන අවස්ථා ද අතැති නව අපි දනිමු. නව වැනි ග‍්‍රහයා සොයා ගැනීමට නොහැකිවීම, එවැනි අසාර්ථක වීමක් හැටියට දැක්වීය හැකියි. ඒත් අඟහරු හා බ‍්‍රහස්පති අතර  තවත් ග‍්‍රහයෙකු ඇතැයි උපකල්පනය කර එම ග්‍රහ ලොව සෙවීමට ගොස් සෙරස්(Ceres) ග්‍රහ අංශුව(දැන් ග්‍රහක තත්වයෙන් වාමන ග්‍රහ තත්ත්වයට පත්ව ඇත)  සහ ග‍්‍රහක පථය(asteroid belt) සොයා ගැනීමට හැකිවීම සාර්ථකත්වයකි. යුරේනස්වල චලනයන් ගැන සොයා බැලීම නෙප්චූන් ග‍්‍රහයා ඇති බවට අනාවැකි පළ  කිරීමට මෙන්ම පසුව එහි සොයා ගැනීමට ද  මග පෑදීය. නෙප්චූන් ග‍්‍රහයාට ඔබ්බෙන් ග‍්‍රහයන් සෙවීමේ ප‍්‍රයත්නයේදී ප්ලූටෝ සොයා ගැනීම තාවකාලික ජයග‍්‍රහණයක් පමණක් විය. මන්ද ප්ලූටෝ ග‍්‍රහ තත්ත්වයට පත්ව අද වන විට වාමන ග‍්‍රහ තත්ත්වයට පහළ වැටී ඇති හෙයිනි.

එහෙත් ප්ලූටෝගෙන් ඔබ්බට, අපේ ග‍්‍රහ මණ්ඩලයේ ඈතම පිහිටි කුයිපර් තීරය(Kuiper belt) සොයාගැනීමෙන් නව වැනි ග‍්‍රහයා පිළිබඳ අදහස යළි කරළියට ආවේය. කුයිපර් තීරයේ වස්තු ගැන සොයා බලද්දී  තාරකා විද්‍යාඥයන්ට පෙනීගියේ ඒවයේ කක්ෂයන් අහම්බෙන්  සිදුවීමට නොහැකි ආකාරගතව පෙළ ගැස්වෙන බවයි. ඒ අනුව විවිධ ශක්‍යතාවන් ආකෘතිගත කිරීම සඳහා පරිගණක විඩම්බන යොදා ගනිමින් තාරකා විද්‍යාඥයන් තීරණය කළේ ඉතා දීර්ඝ එමෙන්ම ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරන විශාල ග‍්‍රහලෝකයක් කුයිපර් පථයේ කුඩා වස්තූන් මත බලපෑම් ඇති කරන බවයි.

විද්‍යාඥයන් ස්වභාවයෙන්ම සැක සංකා සහිත උදවියයි. ඇත්තටම එවැනි විශාල එමෙන්ම මෙතෙක් සොයාගෙන නොහැකි ග‍්‍රහලෝකයක් තිබිය හැකිද? තවදුරටත් සංශයවාදී වූ ඔවුන් පුරෝකතනයන් සඳහා සිය පර්යේෂණ ප‍්‍රතිඵල යොදා ගනිමින් අනාවැකි පළ කළේ මෙකී ගුප්ත අභිරහස් ග‍්‍රහලෝකයේ බලපෑමට හසුවන වෙනත් වස්තු කණ්ඩායමක් ඇති බවටය. එමෙන්ම ඔවුහු ඒවා සොයා ගැනීමට ද සමත් වූහ.

සෞර ග‍්‍රහ මණ්ඩලයේ කෙළවරට වෙන්නට සැඟවී තිබෙන්නාවූ නවවැනි ග‍්‍රහයෙකු පිළිබඳව බලගතු සාක්ෂි සොයා ගත් බව කොන්ස්ටන්ටික් බැටිජින් සහ මයික් බ‍්‍රවුන් යන තාරකා විද්‍යාඥයන් දෙදෙනා 2015 දී ප‍්‍රකාශකර සිටියහ. නව වැනි ග‍්‍රහයා ගැන ඇත්තේ, එවැන්නක් තිබිමේ හැකියාව ගැන අදහසක්  පමණක් හෙයින් එය කෙබදු දැයි දැන ගැනීමට අසීරුය. එහෙත් තාරකා විද්‍යාඥයන්ට කදිම අනුමාන කිරීම් කිහිපයක්ම ඇත. අනෙකුත් වස්තූන් මත එහි බලපෑම පාදක කරගනිමින් එවැනි ග‍්‍රහයා සමහරවිට විශාල ග‍්‍රහලෝකයක්– එනම් පෘථිවියේ ස්කන්ධය මෙන් 10 ගුණයක් 20  ගුණයක් තරමේ වන විශාල ග‍්‍රහයෙකු විය හැකි යයි ඔවුහු කියති.

කෙසේ වෙතත් වඩාත් විශාල ග‍්‍රහලෝකයක් පෘථිවිය මෙන් පාෂාණාමය ලෝකයට වඩා යුරේනස්,  නෙප්චූන් වැනි අයිස්මය යෝධයන්ට සමාන වන්නක් විය හැකිය. මෙකී දුර ඈත ග‍්‍රහ ලෝකය, අපට ආසන්නයේදීම පවා සූර්යයාගේ සිට නෙප්චූන්ට ඇති දුර මෙන් හත් ගුණයක් තරම් වන අතර එය සූර්යයාගෙන් ඈතටම ගිය විට(එය ඉතා දිග ඉලිප්සාකාරය කක්ෂයක ගමන් කරන බව කලින් සඳහන් කළා මතකනේ?),  සූර්යාගේ සිට නක්ෂත‍්‍ර ඒකක (astronomical unit = AU) 1,000කට වඩා වැඩිදුරකින් පවතී.

ඒත් ඉතින් මේ 9 වැනි ග‍්‍රහයා පැමිණෙන්නට ඇත්තේ කොයි සිටද? ග‍්‍රහලෝක ගැන හදාරණ විශේෂඥයන් කියා සිටින්නේ සූර්ය නිහාරිකාවේ(solar nebula) ඔය තරම් ඈතක විශාල ග‍්‍රහලෝක වර්ධනය වීම අසීරු බවයි. ඒ වෙනුවට 9 වැනි ග‍්‍රහයා බිහිවන්නට ඇත්තේ සූර්යයාගේ වඩාත් ළඟින්මය. ඒත් වෙනත් ග‍්‍රහයෙකුගේ ගුරුත්වාකර්ෂණ බලපෑමට වඩාත් ආසන්න වූ විට විසිවී යන්නට ඇත යන්න එක් මතයකි.

තවත් මතයකින් කියැවෙන්නේ මෙයයි: මෙයට වසර බිලියන 4.6 කට පෙර අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ සියලූම ග‍්‍රහලෝක බිහිවූ අතර නවවැනි ග‍්‍රහයාට වෙනත් සම්භවයක් තිබිය හැකියි. මෙයට වසර මිලියන ගණනකට හෝ බිලියන ගණනකට හෝ පෙර ගමන් කරමින් සිටි (සෞර) තාරකා මණ්ඩලය පද්ධතියක්, අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ ගමන් මග හරහා යද්දී මේ ග‍්‍රහලෝකය හසුකර ගැනුනා විය හැකිය.

අපේ සෞර ග‍්‍රහමණ්ඩලය අද්දර ග‍්‍රහ ලොවක් ඇත් නම් ඇයි අපට එය තවම දක්නට නොලැබුණේ? ඊට සරලම උත්තරය තමයි,  හොඳම උපකරණ යොදාවා ගෙන පවා එතරම් දුර ඈත හා සීතල වස්තුක් සෙවීම අතිශය දුෂ්කරය යන්න. අනික ඒ ග‍්‍රහයා ඇත්තේ සූර්යා සිට ඈතම දුරක හෝ ඒ ආසන්නයේ නම් එය කොපමණ සෙමින් ගමන් කරන්නේද කීවොත් පිටත සෞර ග‍්‍රහ මණ්ඩලයේ අන්ධකාරය තුළ එය සෙවීම කිසිසේත් නොහැකි තරම්ය. ඔව්, සෙවිය යුත්තේකොයිබද යන්න නොදනී නම් සෙවීම අතිශය දුෂ්කරය.

නිහාරීකාව

එහි ගමන් මග යයි සිතිය හැකි මඟ දැන ගැනීමෙන් ග‍්‍රහයා තිබිය හැකි යයි කල්පනා කරන තැන පටුකර ගැනීමට තාරකා විද්‍යාඥයෝ සමත්ව සිටිති.  ඔවුන් යොදා ගන්නේ ලොව ඇති විශාලතම එමෙන්ම වඩාත් සංවේදී ටෙලස්කෝප සමහරක්ය. මේ ග‍්‍රහලෝකය ඇත්තටම පවතින බවට සියලූම සාක්ෂි යොමු වන හෙයින් එහි පැවැත්ම පිළිබඳ ප‍්‍රථම ඍජු තහවුරුව නුදුරු අනාගතයේදීම බලාපොරොත්තු විය හැකිය.

පැහැදිලි කිරීම්:

නිහාරිකාව(nebula) යනු ජලකර වායු සහ ධුලි අංශුවලින් සමන්විත යෝධ පටලය. අදුරු නිහාරිකා, පරාවර්තන නිහාරිකා, දීප්ත නිහාරිකා සහ ග‍්‍රහලෝක නිහාරිකා යනුවෙන් වර්ග සතරකි.

නක්ෂත‍්‍ර ඒකකය: (astronomical unit = AU) විශ්වයේ ගණන් මිණුම් සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නේ ආලෝක වර්ෂයයි. ඒ අතරේ  සෞරග‍්‍රහ මණ්ඩලයේ දුර මනින ඒකකයක් ලෙස නක්ෂත‍්‍ර ඒකකය දක්වන්න පුළුවන්. AU කියන්නේ සූර්යයාගේ සිට පෘථිවිය දක්වා දුරයි. එනම් කිලෝමීටර මිලියන 150 කි. (දළ වශයෙන් සැතපුම් මිලියන 93ක්)

 

Planetary Science (2017) නම් ග්‍රන්ථයේ THE HUNT FOR PLANET 9 කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: