විදු නැන නුවණ – Science Literacy for All

නුසුදුසු ප‍්‍රති-සර්පවිෂ එන්නත් ජීවිත හානියට හේතු වෙයි

සෑම වසරකම ලොව පුරා මිලියන පහකට වැඩි පුද්ගලයන් පිරිසක්(ලක්ෂ 50 කට වැඩි) සර්පයන්ගේ දෂ්ටකිරීම් වලට ගොදුරු වෙති. මේ අතරින් මිලියන 1.8 ක (ලක්ෂ 18ක) පමණ ජනතාවගේ සිරුරට සර්ප විෂ ඇතුල් වෙයි. මේ හේතුවෙන් 94,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වෙති. මෙම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ සර්පයන් දෂ්ට කිරීම නිවර්තන කලාපීය රෝගාබාධ අතුරෙන් වඩාත්ම අමතක කර දමා ඇති තත්ත්වයක පවතින බවයි.

කෙසේ වෙතත්, සර්ප දෂ්ට කිරීම් වලට අදාල නිවැරදි සංඛ්‍යා ලේඛන එකතු කර ගැනීම  දුෂ්කර කාර්යකි. සර්ප දෂ්ට කිරීම් බොහොමයක් ම වාර්තාවත් කෙරෙන්නේ නැති අතර දෂ්ට කිරීමට ලක්වන වින්දිතයන්ගෙන් වෛද්‍යා ප‍්‍රතිකාර පතන්නේ 8.5% තරම් සුළු පිරිසකි. අප‍්‍රිකාව ගතහොත්, සර්ප විසෙන් වසරකට 30,000 කට වැඩි පිරිසක් මිය යනවා විය හැකියි. අනුපාතයක් වශයෙන් ගත් කල මෙය ලොව පුරා සෙසු ප‍්‍රදේශ බොහොමයකට වඩා වැඩිය. මෙකී මරණ වලින් විශාල ප‍්‍රතිශතයක් පැවරෙන්නේ එක් සර්ප ගණයකටයි. එනම් වයිපරිඬේ පවුලට අයත් එකිස් (Echis) පොළොං විශේෂයටයි.

සමකයට උතුරින් සහරා කාන්තාරයට දකුණින් පිහිටි උපසහරා අප‍්‍රිකාව (sub-Saharan Africa) ලෙස හඳුන්වනු ලබන කලාපය සහ ආසියාවේ සහ මැද පෙරදිග ඇතැම් කොටස් වලද පුරාවට මේ පොළොං විශේෂය දැකිය හැකිය. කුඩා වුවත් මේ පොළඟ,  සර්ප දෂ්ට කිරීම් සංඛ්‍යා ලේඛන ලැයිස්තුවේ ප‍්‍රමුඛස්ථානයක පසුවන අතර වාර්ෂිකව අනෙක්  ඕනෑම සර්පයෙකුට වඩා මිනිස් ජිවිත වනසති. නිදසුනක් ගතහොත් උතුරු නයිජීරියාවේ සර්ප දෂ්ට කිරීම් වලින් 95% ක් සඳහා වගකිව යුත්තේ Echis ocellatus පොළොං විශේෂයයි. ඔවුන්ගේ විෂෙහි ඇති  ධූලක බොහොමයක් ඉලක්ක කරන්නේ රුධිරයයි. ඒ රුධිරය කැටි ගැන්වීම් පිණිසය. මෙය මානවයන් තුළ විෂ-පේ‍්‍රරිත පරිභෝජන කැටිගැසීම (venom-induced consumption coagulopathy) නම් මාරන්තික විභවයක් සහිත තත්ත්වයට හේතු වෙයි. (මේ තත්ත්වය වඩාත් සුලබව දැක්වෙන්නේ VICC ලෙසිනි). මෙම තත්ත්වය රුධිරය ගලා යාම පාලනය කිරීමට සිරුරට ඇති හැකියාවට හානි පමුණුවන  අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස අධික අභ්‍යන්තර රුධිර වහනය ඇති වේ. VICC වලින් පසුව ඇතිවන මරණවලට සාමාන්‍යයෙන් හේතුවන සාධක අතර රක්තපාතය (Haemorrhage), ආඝාතය (stroke) සහ කම්පනය වේ. එකම කාර්යක්ෂම ප‍්‍රතිගරලය (විෂ නාශක ඖෂධය),  ප‍්‍රති-සර්ප විෂයි.

කියත් කොරපොතු පොළඟ ලෙස ද දැක්වෙන Echis ocellatus පොළොං විශේෂය

කෙසේ වෙතත් අද අප‍්‍රිකානු මහාද්වීපය ප‍්‍රති-සර්ප විෂ ඖෂධ අර්බුදයකට මුහුණ පා සිටියි. මේ අර්බුදයට හේතු වී ඇත්තේ අප‍්‍රිකාව තුළ ප‍්‍රධාන පෙළේ ප‍්‍රති-සර්ප විෂ එන්නතක භාවිතය නතර කරලීමයි. ඒ Fav-Afrique නම් ඖෂධයයි. මෙය අප‍්‍රිකාව තුළ සර්ප දෂ්ට කිරීම් වලට ප‍්‍රතිකාර කිරීමේ දී බෙහෙවින් ඵලදායී බව ඔප්පු වුවකි. මෙම ප‍්‍රති-සර්ප විෂ එන්නත භාවිතයෙන් 100% ක සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට ඇතැම් චිකිත්සාගාර සමත් වූ බව වාර්තා වේ. එහෙත්, එය නිෂ්පාදනය කළ Sanofi-Pasteur  නම් සමාගම Fav-Afrique  නිෂ්පාදනය අත්හිටු වීය. ඊට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ අඩු මිල වර්ග මගින් තම සමාගම වෙළෙඳ පොළෙන් ඉවත් කරනු ලැබූ බවයි.

අප‍්‍රිකානු මහාද්වීපයේ සර්ප විෂෙන් මිය යන සංඛ්‍යාව අතිශය ඉහළ අනුපාතයක් ගැනිම ගැන පැහැදිලි කිරීමේදී Fav-Afrique  අප‍්‍රිකානු චිකිත්සාගාරවලින් ඉවත් කිරීම බලපා ඇත්තේ අර්ධ වශයෙනි. ඒ අතර වාරයේ, ඉන්දියාවේ නිෂ්පාදිත, මිලෙන් අඩු ප‍්‍රති-සර්ප විෂ එන්නත භාවිතය ඉහළ යාමක් දක්නට ලැබුණු අතර මේවායින් බොහොමයක් ඵලදායීතාව අතින් බෙහෙවින් හීනය.

 

මේ ප‍්‍රශ්නය ගැන තව දුරටත් සොයා බලනු වස් පර්යේෂක කණ්ඩායම අප‍්‍රිකානු මහාද්වීපයේ Echis  පොළොං  දෂ්ට කිරීම් වලදී ප‍්‍රතිකාර සඳහා බහුලව භාවිතා වන ප‍්‍රති-සර්ප විෂ හතරක් සංසන්දනාත්මකව විමර්ෂනය කළහ. ඉන් දෙකක් ඉන්දියානු Echis  පොළඟාගේ විෂ යොදා ගනිමින් සාදා තිබුණි. අනෙක් දෙකට යොදාගෙන ඇත්තේ අප‍්‍රිකානු Echis  පොළඟාගෙන් ලබා ගත් විෂය. අප‍්‍රිකාවේ සිට ආසියාව දක්වා පැතිර ඇති එකකට එකක්වෙනස් Echis  ගහණ දහයක විෂ සාම්පල වලට එරෙහිව මෙකී ප‍්‍රති විෂ වර්ග  හතර පර්යේෂකයෝ යොදා ගත්හ.

පර්යේෂකයන්ගේ ප‍්‍රථම පියවර වූයේ රුධිර ප්ලාස්මයට සර්ප විෂ එක් කර එක එක විෂ මගින්  රුධිර කැටි ගැසීමක් ඇති කරනු ලබන  අනුපාතිකය හෙවත් සීඝ‍්‍රතාව මැන බැලීමයි. අනතුරුව සිදු කෙරුණු සම් පරීක්ෂණයක දී තවත් පියවරක් තබමින් ප්ලාස්මයට සර්ප විෂ එකතු කිරීමට පළමුව පර්යේෂකයෝ සර්පයාගේ විෂ, ප‍්‍රති සර්ප විෂ හා මිශ‍්‍ර කළහ. පරික්ෂණ දෙක සංසන්දනය කිරීමෙන් ප‍්‍රති සර්ප විෂෙහි ඵලදායීතාව ඇගයීමට ලක් කළේ සර්ප විෂ හේතුවෙන් ලේ කැටි ගැසීම ප‍්‍රති සර්ප විෂ කරන කොට මන්දගාමී වන අන්දම සෙවීමෙනි. කුවින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ බියන්කා ඔප් ඩෙන් බ‍්‍රව් ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම පවසන්නේ පරීක්ෂණයේ ප‍්‍රතිඵල සිත් සසල කරවන සුළු බවයි. ප‍්‍රති සර්ප විෂ වෙළඳ පොළට එන්නේ විශේෂ නිර්දිෂ්ට(species-specific) ඒ කියන්නේ කිසියම් නිශ්චිත විශේෂයක සර්පයන් දෂ්ට කිරීමට ප‍්‍රතිකාර කිරිමට යොදාගන්නා  විශේෂ ප‍්‍රති-සර්ප විෂ වශයෙනි.එසේ වුවද ඒවායේ ඵලදායිතාවයෙහි අතිශය කලාප නිර්දිෂ්ට විචල්‍යයන්(කලාපයෙන් කලාපයට් වෙනස්වීමක්) පර්යේෂකයන්ට දැක ගත හැකි විය. මෙයින් පෙනී යන්නේ ප‍්‍රති සර්ප විෂ, විෂ ප‍්‍රභවය ලැබුවේ කුමන භූගෝලීය කලාපයේ ද යන්න අනුව ඵලදායීතාව වෙනස් වන බවයි. ඔව් එක් තනි සර්ප විශේෂයක් තුළ පවා එවැනි වෙනස් කම් ඇති බවයි.

ඉන්දියාවේ සාදන ප‍්‍රති සර්ප විෂ එන්නත් අප‍්‍රිකාව පුරා බහුලව යොදා ගනු ලබන්නේ ඒවායේ මිළ පහසු නිසාය. මේවා අප‍්‍රිකානු Echis පොළොං විෂ උදාසීන කිරීමක්  නොකෙරෙණු තරම්ය. ඒ තබා, සමහර ඉන්දියානු  Echis පොළොං ගණවල විෂ පවා මෙම එන්නත් වලට දැක් වූයේ සීමිත ප‍්‍රතිචාරයකි.

සායනික සිද්ධි සංඛ්‍යා ලේඛන සිය සොයා ගැනීම් තහවුරු කරන බව පර්යේෂකයෝ පෙන්වා දෙති. Fav-Afrique භාවිතය අතහැර ඉන්දියානු සර්ප විෂ එන්නත් භාවිතයට  යොමු වීමෙන් පසු ඇතැම් අප‍්‍රිකානු සායනවල (සර්ප විෂෙන් සිදුවන) මරණ සංඛ්‍යාව 7 සිට 20 දක්වා ගුණයකින් ඉහළ ගියේය.

ප‍්‍රති සර්ප විෂ එන්නත් අතර මේසා විචල්‍යයන් ඇති වන්නේ මන් ද?

ප‍්‍රති සර්ප විෂ එන්නත් සාදනු ලබන්නේ එක් සර්ප විශේෂයක හෝ සර්ප විශේෂ කිහිපයක විෂ, අශ්වයෙකු වැනි ධාරක සත්වයෙකුට ඉතා සුළු ප‍්‍රමාණයක් එන්නත් කිරීමෙනි.  එක් විශේෂයක විෂ ගෙන සාදන එන්නත ඒක ප‍්‍රතිදේහජනක (monovalent) එන්නත ලෙස ද කිහිපයකින් නම් බහු ප‍්‍රතිදේහ ජනක(polyvalent) ලෙස ද හඳුන්වනු ලැබේ. එවිට එම සතාගේ ශරීරයේ ප‍්‍රතිශක්ති පද්ධතිය ප‍්‍රතිචාර දක්වන්නේ විෂෙහි ධූලක හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් වැදීම සඳහා ප‍්‍රතිදේහ (antibodies) නිපදවමිනි. හරියට අප එන්නතක් ලබා ගත් විට අපේ ශරීරයේ සිදුවන ක‍්‍රියාවලියට සමානවය. මෙකී ප‍්‍රතිදේහ නිස්සාරණය කර පිරිපහදු කරනු ලැබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලැබෙන ප‍්‍රති සර්ප විෂ එන්නත, එය සෑදීමට උපයෝගී කරගත් සර්ප විශේෂය දෂ්ට කළ විට ප‍්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීම පිණිස අලෙවි කරනු ලැබේ.

යොදා ගන්නා විෂෙහි සංයුතිය එතරම් වෙනස් නොවන්නේ නම් මෙම ක‍්‍රියාදාමය විශ්වාසදායකය; එමෙන්ම ඵලදායීය. සමීපව සම්බන්ධයක් ඇති සර්ප විශේෂ දෂ්ට කිරීමේදී ප‍්‍රතිකාර කිරීම සඳහා ඇතැම් විට ප‍්‍රති සර්ප විෂ සාර්ථකව යොදා ගත හැකිය. අවාසනාවකට මෙන් Echis සම්බන්ධයෙන් මෙය සැබෑ නොවේ. මන්ද මෙම විශේෂයේ විවිධ ගහණයන්  අතරේ විෂ සංයුතිය වෙනස් වන බැවිනි.

මෙය එක්තරා දුරකට ආහාරයට සම්බන්ධ පරිණාමීය අනුවර්තනය වීමක් ලෙස කල්පනා කෙරේ. සර්ප විෂ ඉටු කරන ප‍්‍රධාන කාර්යයක් වන්නේ ගොදුර අල්ලා ගැනීමේ දී සහාය වීමයි. සර්ප විෂෙහි ඇති ධූලක මෙය ඉටු කරන්නේ ගොදුරෙහි රුධිරය හෝ ස්නායු වැනි විශේෂිත භෞතවේදීය කොටස් ඉලක්කකර ගනිමින් (ගොදුරෙහි) සාමාන්‍ය ශරීර ක‍්‍රියාකාරීත්වයට හානි පමුණුවා සතා අක‍්‍රිය කිරීමෙනි. විවිධ Echis ගහණ ආහාරයට ගන්නේ විවිධ සත්ව විශේෂ නිසා ඔවුන් අතරේ විවිධ  විෂ පරිණාමය වී තිබෙනවා විය හැකිය. වෛද්‍ය විද්‍යානුකූලව ගතහොත් මින් කියැවෙන්නේ ප‍්‍රති සර්ප විෂක තිබෙන ප‍්‍රතිදේහ සර්ප විෂෙහි සෑම හානිකර ධූලකයක් ම  හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමට අසමත් බවයි. විවිධ කලාප අතර මේ වෙනස පැහැදිලිය. භූගෝලීය වශයෙන් සීමිත සර්ප විෂ පරාසයක් යොදා ගැනීමේ අවදානම පෙන්වා දෙන පර්යේෂකයන් කියා සිටින්නේ ප‍්‍රති සර්ප විෂ එන්නත් වැඩි දියුණු කිරීම හා වෙළඳ පොළෙහි අලෙවි කිරීම ඉතා පරිස්සමෙන් සිදු කළ යුතු බවයි.

 

The Conversation(Global) හි Unsuitable antivenoms are being sold in Africa, costing lives යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: