විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලන් කම්පාවට පත්කරන භූමි කම්පා

ඉරාන ඉරාක භූ කම්පාවේ විපාක

2017 වසරේ මෙතෙක් සිදුවූ මාරක තම භුමි කම්පාව නොවැම්බර් 12 වැනි ඉරිදා – ඉරාන ඉරාක දේශ සීමාවේදී  ඇතිවිය. එහි විනාශය ගැන වාර්තා මේ දිනවල ජනමාධ්‍යයන් හි නිතර පළවේ.  මේ මහා ඛෙදවාචකය සිදුවුයේ  ඒ ආකාරයේ තවත් ව්‍යසනයක් මැක්සිකොවේ  සිදුවී වැඩි කලකට පෙර නොවේ. අප රටෙහි භුමිකමපා ප්‍රචලිත නැත ද ඒ ගැන දැන සිටීම වැදගත්ය.

සෑම වසරකම සිය ගණන් භූමි කම්පා ඇතිවේ. මෙයින් බොහොමයකින් සිදුවන හානිය සුළුය. එහෙත්, භුමි කම්පා ස්වල්පයක් බොහෝ ජනතාවට අතිශය දරුණු ව්‍යසන ගෙන එයි. මිනිස් ජීවිත වල ට සිදුවන හානිය මින් ප‍්‍රධානයි. ඊට අමතරව, නිවාස, යාන වාහන, බව බෝග, ආදි වශයෙන් ඇතිවන දේපළ හානිය ද සුළු පටු නොවේ. භූ කම්පන ගැන හදාරන විද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ භූ කම්පන වේදීන් නැතහොත් භූ කම්පන විද්‍යාඥයන් හැටියටය (seismologists). භූ කම්පන ගැන මොවුන් විසින් මෑත කාලයේ බොහෝ දේ සොයා ගනු ලැබ ඇත. භූ කම්පන නිරීක්ෂණාගාර වල (seismic observatories) සිට සැතපුම් දහස් ගණන් ඈතින් සිදුවන භූ කම්පනයක් වාර්තා කර ගැනීමට භූ කම්පන වේදියෙකුට හැකිවේ.

පෘථිවිය ඇතුළත එහි කබොල්ල නැමීමට සමත් බලයක් ඇත. මේ බලයන් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට විද්‍යාඥයන්ට තවමත් නොහැකි වී ඇතත්, බිඳීයන තුරුම  කබොල්ල නැවෙන බව විද්‍යාඥයෝ දනිති. බිඳීයාමෙන් පසු කබොල්ලේ ඇතැම් තැන් යළි ප්‍රකෘතිමත්වේ(තිබුණු තත්ත්වයට පැමිණේ). එවිට එය පැල්මක හෝ විභේදනයක සාක්ෂි ඉතිරි කරයි. කබොල්ලේ මෙම කොටස වසර බොහෝ ගණනක්, ඇතැම් විට ශත වර්ෂ ගණනක් වුව ඔහේ තිබෙන්නට පුළුවන. පෙර කී බලයන්ම කබොල්ල තවදුරටත් නවන්නේ නැවතත් බිඳෙන තුරුය. එම බිඳීම් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ එම විභේද රේඛාව ඔස්සේය(fault line)

පෘථිවියේ කබොල්ල බිඳෙන හෝ නැමෙන විට එය හඳුන්වනු ලබන්නේ භූ කම්පනයක් ලෙසටය. මන්ද එය මුළු පෘථිවියම සෙලවීමට හෙවත් කම්පා කිරීමට හේතුවන හෙයිනි. ඔබ කවදා හෝ වතුර වලකට හෝ පොකුණකට බොරළු කැටයක් දමා තිබේද ? එසේ ජලය මතට ගල් කැටය වැටෙන විට (වැටෙන තැන සිට) එන්ට එන්ටම පුළුල් වන රවුම් ආකාරයට පිටතට විහිදෙන කුඩා රැළිති නැතිනම් තරංග දැක ගත හැකිවේ. ජලය, (ජල) එකම කඳක් සේ පෙනී ගියද එය ඇත්තටම සෑදී ඇත්තේ තනි තනි අංශු මගිනි. ජලයට වැටෙන විට ගල් කැටය, එය ආසන්නයේ ම ඇති ජලය තල්ලූ කරයි. එම ජලය, අසල් වැසි ජල අංශු සෑම  තැනකටම තල්ලූ කරයි (හෝ අදියි). එම තල්ලූව තමයි අප තරංගය ලෙස දක්වන්නේ. සැම දිශාවකටම පැතිර යන්නේ ජලය නොව එකී තල්ලූවයි. තරංගයක් යනු තල්ලූවයි. භූ කම්පනයක් ක‍්‍රියා කරන්නේ බොහෝ දුරට ඒ ආකාරයටය. භූ කම්පනයක් ද සෑම දිශාවකටම තරංග පතුරයි. මේවා හඳුන්වනු ලබන්නේ, භූ කම්පන තරංග ලෙසටය (seismic waves).

භූ කම්පන තරංග

ඔබේ දෑතේ අත්ල දෙක එකක් මත එකක් තබා එක අත්ලක් සීඝ‍්‍රයෙන් අනෙක දිගේ රූටා යන සේ තල්ලූ කරන්න. මේ චලනය පාෂාණ පෘෂ්ඨ දෙකක් එකිනෙක මත තල්ලූවීම නියෝජනය කරනනේ යයි අපි සිතමු.  ඉදිරියට ඇදෙන අත්ලෙහි ඇඟිලිතුඩු, ඊට ඉදිරියෙන් ඇති වායු අංශු තල්ලූ කරයි. ඒ ආකාරයටම  පාෂාණ පෘෂ්ටය  ඒවාට ඉදිරියෙන් ඇති පාෂාණ අංශු තල්ලූ කරයි. මේ තල්ලූව පෘථිවිය පුරාවටම දැනේ. මෙය හඳුන්වන්නේ තෙරපන තරංගයක් (a push wave)  හෝ සම්පීඩන තරංගයක් (a compression wave)   ලෙසටය. තරංගය තත්පරයකට කි.මි. 8 ක සාමාන්‍ය වේගයෙන් ගමන් කරයි. එහෙත්, ගැඹුරත් සමග වේගය වැඩිවේ. තරංගය, භූ කම්පන මාපකය(seismograph) නම් සංවේදී උපකරණය මගින් පෘථිවියේ මතුපිට  ඕනෑම තැනකින්  සොයා ගත හැකිවේ.

භූ කම්පන දෙවැනි මාදිලියක තරංග ද පිට කරයි. කලින් ද කී පරිදි ඔබේ අත්ල පාෂාණ මතුපිට හෙවත් පෘෂ්ඨ දෙකක් යයි සිතන්න. දැන් ලිස්සා යන පාෂාණ පෘෂ්ඨය නියෝජනය කරමින් එක අතක් තල්ලූ කරන්න. මෙවර අත්ල දෙක අතර පැන්සලයක් තබන්න. අත්ල චලනය කරන විට පැන්සල කැරකෙයි. නැතහොත් දඟර කැවෙයි. (ඇඹරෙයි).  මේ ආකාරයටම තල්ලූ වී යන පෘෂ්ඨ දෙකක් අතර පාෂාණ අංශු ද ඇඹරෙයි. එසේ දඟර ගැසෙන අංශු පෘථිවිය පුරා ව්‍යාවර්තන තරංගයක් (torsion wave) හෝ දඟර තරංගයක්(a twist wave) පිට කරයි.

දඟර හෙවත් ඇඹරුම් තරංග ගමන් කරන්නේ තෙරපුම් තරංග වලට වඩා සෙමිනි. එනම් තත්පරයකට කි.මි.5 ක වේගයකිනි. එහෙත් තෙරපුම් තරංග ඉක්මණින් ගමන් කරන හෙයින් එය පළමුවෙන් පැමිණේ.  අපි එය මූලික තරංගය (primary wave)  හෙවත් Pතරංගය ලෙස හඳුන්වන්නෙමු. ව්‍යාවර්තන තරංගය ද්වීතීයික තරංගය(secondary wave) හෙවත් S තරගංය ලෙස දැක්වේ.

 

භූ කම්පන පථ හෙවත් තීරූ

භූ කම්පන, ලෝකයේ ඇතැම් ප‍්‍රදේශවලට සීමා වේ. මෙම පථ අතුරෙන් වඩාත්ම වැදගත් වන්නේ ශාන්තිකර සාගර වළල්ලයි. තවත් පථයක්, චීනයේ සිට අග්නිදිග ආසියාවටද අප‍්‍රිකාවේ මධ්‍යධරණි ප‍්‍රදේශ සිට යුරෝපය ද දක්වා විහිදේ. භූ කම්පන තුන්වැනි පථයක් වන්නේ අත්ලන්තික් සාගර පත්ලේ ඇති දීර්ඝ වැටියයි (long ridge). ඇතැම් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, පෘථිවි ප‍්‍රවාරණයේ රත් වූ ලාවා සාගර පත්ල ඔස්සේ මෙම වැටිය හරහා සහ වෙනත් සාගර යට මේ ආකාර වැටි දිගට උඩට පුපුරා එන බවයි. මෙයින් වැඩි කොටසක් පිටතට ගලා යන්නේ  සාගර පත්ල ක‍්‍රමිකව පැතිරීමට හේතු වෙමිනි.

සාගර පත්ලේ මේ පැතිරුම් චලනය හෙවත් පැතිරයාමේ ක‍්‍රියාවලිය භූ කම්පන පැහැදිලි කිරීමේ නව සිද්ධාන්තයක් යෝජනා කිරීමට විද්‍යාඥයන්ට මග පාදා තිබේ. මෙම සිද්ධාන්තයට අනුව පෘථිවියේ කබොළ සෑදී ඇත්තේප්‍රාවරණය(mantle)  මත රැඳී ඇති බොහෝ වූ මහා පැතලි තැටි වලිනි.  ප්‍රාවරණයේ ද්‍රව්‍ය වල මන්දගාමී ගලාම මගින්  ගෙන යනු ලැබීමෙන්, තැටි චලනය වේ. මේ තැටිවල අග‍්‍ර එකිනෙක  පසුකර රූටා යන ස්ථාන තමයි  භූ කම්පන පථ බවට පත්වන්නේ. තැටි දෙකක් එකිනෙක හරස් කරයි නම් රූටා යාමේ චලනය තාවකාලිකව නවතී. තැටි දෙක තෙරපී අවහිර වෙද්දී මහා පීඩනයක් ගොඩ නැගේ. මේ පීඩනය හේතුවෙන් හදිසි ලිස්සා යාමක් හටගෙන තැටි මුදා හැරේ. මේ හදිසි චලනය  තමයි භූ කම්පනය.

බොහෝ භූ කම්පන පෘථිවි මතුපිටින් කි.මි. 25 ක් ඇතුළත සිදුවේ. වසර කිහිපයකට සැරයක් කි. මි. 750 ක් තරම් ගැඹුරින් ද භූ කම්පනයක් ඇතිවිය හැකිය. කි.මි. 650 ක් ගැඹුරින් මාසයකට කම්පන 5 ක් හෝ 6 ක් සිදුවීමට පුළුවන. කි.මි. 150 ක් ඇතුළත මාසයකට භූ කම්පන 30 ක් තරම් ඇතිවිය හැකිය. පෘථිවි මතුපිට කම්පන මසකට 100 ක් තරම් ඉහළ සංඛ්‍යාවක් විය හැකිය. මාසයෙන් මසයට ගතහොත් භූ කම්පන සංඛ්‍යාව විශාල වශයෙන් විචල්‍ය වේ. එසේ වතුදු වාර්ෂික සාමාන්‍යය එතරම් වෙනස් වන්නේ නැත.

 

වර්ෂයකට කොපමණ සිදු වී දැයි සළකා බලන විට මහා ව්‍යාසනයක් ඇති කරන භූ කම්පන සංඛ්‍යාව සුළුය. භූමි කම්පාවක දී සිදුවන විනාශයෙහි ප‍්‍රමාණය සාධක ගණනාවක් මත රඳා පවතී. ගොඩනැගිලි මනාව තනා තිබුණේ නම් සහ ඒවා ඝන පොළොවෙහි ඉදිකර තිබුණේ නම් භූ කම්පනයකින් ඊට බේරී ගැනීමට ඇති ඉඩ වැඩිය. කම්පනයක දී බොහෝ තුවාල සිදුවීම් හා මරණ වල බලපාන්නේ අයහපත් ඉදිකිරීම් හා දෝෂ සහිත ස්ථානය. තවත් වැදගත් කාරණයක් වන්නේ භූ කම්පාවකට ප‍්‍රතිචාර දැක්වෙන්නේ කෙසේ ද යන්න ගැන අවබෝධයක් නොමැති කමයි. ජනතාව කලබලයට පත්වීමට විශාල අනතුරකි. පෑගීම්, තෙරපීම්, හුස්ම හිරවීම් මේ අනතුරු අතර වේ.

බලගතු පරිඝණක සහ විද්‍යා උපකරණ ආධාර කරගෙන භූ කම්පන ගණනාවක් සාර්ථකව පුරෝකතනය කිරීමට විද්‍යාඥයන්ට හැකිවිය. භූ කම්පා පුරෝකතනයේ දී වැදගත් ඉඟියක් වන්නේ, ප‍්‍රාථමික හා ද්විතීයික තරංගවල සාමාන්‍ය හැසිරීමයි. මේ තරංග දෙවර්ගය නිරන්තරයෙන් ම වාගේ භූ කම්පරේඛයක හෙවත් මාපකයක වාර්තා කර ගැනේ. මෙම තරංග, ඉතා සුළු භූ කම්පන ගණනාවකින් ද, පතල් වල සිදු කෙරෙන පිපිරවීම් මෙන්ම භූ ගත න්‍යෂ්ටික පිපිරීම් වලින් ද හටගනී.

මේ සම්බන්ධයෙන් රුසියානු විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයක් ඇත. සාමාන්‍යයට වඩා අඩු වේගයෙන් ගමන් කර වේලාවක් ගත වීමෙන් පසු නැවත සාමාන්‍ය වේගයට පත්වෙයි. ඒ එක්කම වාගේ භූ කම්පනය සිදුවේ. මේ සම්බන්ධ තවත් සිද්ධාගත විද්‍යාඥයෝ කිහිප පොළක්ම ඉදිරිපත් කරති. තවද, භූ කම්පන පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ද  විද්‍යාඥයෝ සොයා බලති. ඉතා ගැඹුරු ළිංවලට ඉතා අධික පීඩනයක් යටතේ ජලය පොම්ප කිරීමෙන්  හානියකින් තොර සුළු කම්පන වලට මුල පිරිය හැකි බව අත්හදා බැලීම් වලින් පෙන්නුම් කර ඇත. අවසානයේ අන්තරායාකාරී භූ කම්පනයකට හේතු වන්නාවූ  පීඩනය සමනය කිරීමට මේ සුළු භූ කම්පනවලට හැකිවේ.

Actforlibraries.org හි පළවූ   Earthquake & Tsunami Science  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: