විදු නැන නුවණ – Science Literacy for All

ඔරං උටං නව විශේෂයක් සොයා ගැනේ

සොයා ගන්නා විටත් නව විශේෂය දැඩි සේ ආපදාපන්න යයි විශ්වාස කෙරේ.

ක‍්‍රි: ව: 2000 ගණන් වල මුලදී විද්‍යාඥයෝ ඔරං උටං එකිනෙකට වෙනස් විශේෂ දෙකක් හඳුනාගත්හ : එනම්, බොර්නියානු(Bornean) සහ සුමත‍්‍රානු(Sumatran) යනුවෙනි. මේ විශේෂ දෙක පිළිවෙලින් මලයාසියාවේ සහ ඉන්දුනීසියාවේ නිවර්තන වනාන්තර අතර ජීවත් වෙති. එසේ වුවද, Current Biology නම් සඟරාවේ පළ කෙරුණු කැපී පෙනෙන නව අධ්‍යයනයක් මාර්ගයෙන් පර්යේෂකයන් කියා සිටින්නේ සෙයා ගැනීමට අපහසු තුන්වැනි ඔරං උටං විශේෂයක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් ව ඇති බවයි. මේ අනුව (මිනිස් නොවන)  මහා වානර වර්ග සංඛ්‍යාව හත දක්වා ඉහළ නගී.

Image result for tapanuli orangutan

නව ඔරං උටං විශේෂය හැඳින්වෙන්නේ Pongo tapanuliensis නැතහොත් තපනූලි  ඔරං උටං යනුවෙනි.   හුදකලා වී වාසය කරන මේ විශේෂය දැකිය හැක්කේ ටෝබා විලට  දකුණින් පිහිටි, බටං ටෝරු නමින් දැක්වෙන සුමාත‍්‍රාවේ උස්බිම් වනාන්තරයෙහි ය. දශක ගණනාවක් තිස්සේ මේ ඔරං උටං විශේෂය ගැන පර්යේෂකයෝ නිල නොවන වශයෙන් දැන සිටියහ. සුමාත‍්‍රාහී උස්බිම්වල ජීවත්වන ඔරං උටං ගහණයක් ගැන 1930 ගණන් වලදී ලන්දේසී සංචාරකයන  විස්තර කර තිබිණ. තවද,  ඕස්ටේ‍්‍රලියාවේ,  ජාතික විශ්ව විද්‍යාලයේ සංරක්ෂණ විද්‍යාඥයෙකු වන එරික් මෙයිජාඞ්,  තපනූලි ගහණය නිරීක්ෂණය කළේ 1997 වර්ෂයේ දීය. ‘‘මෙම විශේෂය කෙතරම් කැපී පෙනෙන වෙනස්කම් සහිත එකක් ද කියලා පෙන්නුම් කරන ජානමය හා රූප විද්‍යාත්මක දත්තයන් එකට එකලස් කරගන්න අපට වසර 20 ක්ම ගතවුණා’’ යයි මෙයිජාඞ් පවසයි. මෙම නව අධ්‍යයනයේ කතෘත්වය සපයන අන්තර්ජාතික විද්‍යාඥයන්ගේ කණ්ඩායමට ඔහු ද එක්වී සිටියි.

මොවුන්ගේ නව සොයා ගැනීමට මග පෑදුනේ 2013 වසරේ දීය. ඒ බටං ටෝරු වලදී ස්වදේශීකයන් විසින් මරා දමන ලද පිරිමි ඔරං උටං සතෙකුට අයිති ඇටසැකිල්ලක කොටස් පර්යේෂකයන් විසින් සොයා ගනු ලැබීමත් සමගය. මෙකී නිදර්ශකයේ සහ අනෙකුත් සුමාත‍්‍රානු ඔරං උටං සතුන් අතර සැලකිය යුතු ශාරීරික වෙනස්කම් ඇති බව  ඔවුනට නිරීක්ෂණය විය. අනතුරුව ඔවුහු, (ඔවුන්ගේම වචන වලින් කීවොත්) ‘වනගතව වසන ඔරං උටං සතුන් පිළිබඳව මේ දක්වා සිදුකර ඇති විශාලතම ජානමය අධ්‍යයනය’ සිදු කිරීමට පියවර ගත්හ.

සුමාත‍්‍රා හා  බෝනියෝ පුරා ජීවත්වන ඔරං උටං 37 දෙනෙකුගේ ජිනෝම අනුක‍්‍රම නිර්ණයෙන් (sequencing the genomes) පසුව පර්යේෂකයන් කණ්ඩායමට පෙනී ගියේ සුමාත‍්‍රානු, බෝර්නියානු සහ තපනුලි කණ්ඩායම් නිශ්චිත පරිණාමීය පෙළපත් තුනකට අයත් බව යයි National Geographic සඟරාවකට ලිපියක් ලියන ජේසන් ගෝල්ඩ්මන් කියයි. පුදුමය දනවන කාරණය වූයේ තපනුලි කණ්ඩායම මේ විශේෂ තුන අතරින් පැරණිතම පෙළපතට අයත්වීමයි.සුමත‍්‍රාවේ සමීප ප‍්‍රදේශවල ජීවත්වන අනෙකුත් ඔරං උටං සතුන්ට වඩා නව විශේෂය බෝනියෝ ඔරං උටංලාට වඩා සමීප සබඳතාවක් දක්වන බවක් පෙනී යාමද විශේෂත්වයකි.

බොර්නියානු ඔරං උටං

සුමත‍්‍රානු ඔරං උටං

අධ්‍යයනයේ ප‍්‍රතිඵල පෙන්නුම් කරන අන්දමට මෙයට වසර මිලියන ගණනාවකට පෙර ඔරං උටං දකුණු ආසියාවේ සිට අද ටෝබා විල නමින් දැක්වෙන ප‍්‍රදේශය ආසන්නයට සංක්‍රමණය වන්නට ඇත. දළ වශයෙන් වසර මිලියන 3.3 කට පෙර ඔරං උටං ගහණය දෙකට බෙදී එක් කණ්ඩායමක් ටෝබා විලෙන් උතුරට සංක‍්‍රමණය වෙද්දී ඉතිරි පිරිස දකුණෙහිම නැවතුණහ.

දෙවෙනි බෙදීමක් සිදු වූයේ වසර 600,000 කට පමණ පෙරය. මෙහි දී මෙවර බෙදීම ඇති වූයේ ටෝබා වලට දකුණින් ප‍්‍රදේශයේ නතර වූ මුල් කණ්ඩායම සහ බෝනියෝ හි පදිංචියට ගිය පිරිස අතරයි. තපනුලි විශේෂය බෝනියෝ විශේෂයට වඩාත් සමීප වූයේ මන්ද යන්න මෙමගින් පැහැදිලි කර හැකි බව ගෝල්ඞ් මෑන් පවසයි. තපනුලි ඔරං උටං සුමාත‍්‍රාවේ ඥාතීන්ගෙන් හුදකලා වන්නට ඇත්තේ වසර 20,000 කට පමණ පෙරය. ඔවුන් අතර තව දුරටත් ජාන හුවමාරුවක් නොවීය. අඩුම තරමින් වසර 15,000 ක පමණ කාලයක් තිස්සේ ඔවුන් ස්වාධීනව පරිණාමය වූයේ යයි ස්විට්සර්ලන්තයේ සූරිච් විශ්ව විද්‍යාලයේ පරිණාමීය ප‍්‍රවේණි විද්‍යාඥ මයිකල් කෲට්සන් කියයි.

එක් තපනුලි ඇටසැකිල්ලක් පමණක් පදනම් කරගෙන නිගමනයට එළඹීම ඔවුන්ගේ අධ්‍යයනයේ ප‍්‍රබල සීමා වීමක් බව ඔවුහු ද පිළිගනිති. ඒත් ඒ අතරම එක් සතෙකුගේ  සැකිලි යොදාගෙන වෙනත් විශේෂ හඳුනාගත් අවස්ථා ඇති බවද ඔවුහු පෙන්වා දෙති. මහා වානර පවුලේ දුර්ලභම විශේෂය තපනුලි ය.(එම පවුලට දැනටමත් බොර්නියානු සහ සුමත‍්‍රානු ඔරං උටං, නැගෙනහිර සහ බටහිර අප්‍රිකානු ගොරිල්ලන්, චිම්පන්සින් හා බොනබෝ ද ඇතුලත්වේ).  කෲට්සන්ට අනුව අද ජීවත්වන තපනුලි ඔරං උටං සංඛ්‍යාව 800 ක් පමණ වේ. වර්ගීකරණය තහවුරු වුවහොත් දැඩිසේ ආපදාපන්න විශේෂයක් ලෙස ඉතා ඉක්මණින් තපනුලි විශේෂය වර්ගීකරණය කිරීමට ඔහු බලාපොරොත්තු වේ.

smithsonian.com (November 3, 2017) හි පළවූ  Found: A New Species of Orangutan යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: