විදු නැන නුවණ – Science Literacy for All

ඕසෝන් සිදුර වඩාත්ම කුඩා වූ අවස්ථාව!

අපරිවර්තීගෝලයේ (stratosphere ) උණුසුම්වීම හේතුවෙන්  ඕසෝන වනසන රසායන ඈත්කර තිබීමෙන් වාර්ෂිකව  ඕසෝන් ස්තරය තුනීවීම පසුගිය වසර දෙක තුළ අඩුකිරීමට හේතුවෙයි. වසර 30ක් ඇතුළත ඕසෝන් සිදුර වඩාත්ම කුඩා වූ අවස්ථාව මෙය යයි සැලකේ

ඇන්ටාක්ටිකාවට ඉහළින්  ඕසෝන් ස්තරයේ වාර්ෂික ‘සිදුර’ 1988 සිට මෙතෙක් මැන බලා ඇති කුඩාම සිදුර යයි නාසා ආයතනය පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය. ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනයේ(National Oceanic and Atmospheric Administration) විද්‍යාඥයන් විසින් පොළොව මත සිදු කළ හා බැලූන යොදා ගෙන සිදු කළ මිනුම් අනුව  ඕසෝන් තුනීවන කාලය ප්තැම්බරයේ,  එහි උපරිමයට සැපැමිණි අවස්ථාවේදී වර්ග සැතැපුම් මිලියන 7.6 ක්,  ඒ කියන්නේ  ඇ.එ.ජනපදය මෙන් 2.5 ගුණයක් පමණ වන බව පෙනී ගියේය. CBS News වාර්තා කරන අන්දමට එය 2016 දී මනින අවස්ථාවේ තිබුණාට වඩා වර්ග සැතපුම් මිලියන 1.3ක අඩුවීමකි. එමෙන්ම 2015  සිදුර හා සසදද්දී වර්ග සැතැපුම් මිලියන 3.3ක අඩුවකි.

එහෙත් පාරිසරික ජයග‍්‍රහණයක් ලෙස මෙය සලකා ජය පැන්බීමට අප ඉක්මන් විය යුතු නොවේ. “අතීතයේදී ඇතැම් අපරිවර්තීගෝලීය උන්නතාංශයන් හිදී  සැප්තැම්බර් අවසාන වන විට ඕසෝන් බින්දුව කරා ගමන් කරනු අපි සැම විටම දැක තිබෙනවා,” සාගරික හා වායුගෝලීය පරිපාලනයේ වායුගෝලීය රසායනඥ බ‍්‍රයන් ජොන්සන් පවසයි, “මේ වසරේ අපේ බැලූන් මිනුම්  පෙන්නුම් කළේ  ඕසෝන් හානිවන  අනුපාතය සැප්තැම්බර් මැද වන විට ඇනහිටී  බවයි. එමෙන්ම,  ඕසෝන් මට්ටම කිසිවිටක බිංදුවට නොපැමිණි බවයි”.

පොදුවේ ගත් කළ  ඕසෝන් සිදුර කුඩා වීම සුබ ආරංචියකි. එහෙත් සිදුර ප‍්‍රහීන කිරීමට හේතුව මනුෂ්‍යයන් ගත් ප්‍රයත්න නොවේ. මේ අඩුවීම සිදුවූයේ පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තුළ ඇන්ටාක්ටික් අපරිවර්තීගෝලයේ සාමාන්‍යයට වඩා උණුසුම් උෂ්ණත්ව මගින් බව නාසා ආයතනය පවසයි. එය අපවර්තී ගෝලයේ කුණාටු තත්ත්වයන්ට මග පෑදීය. ඉන් සිදු වුනේ  ඕසෝන් විනාශ කරන වායුගෝලීය ක්ලෝරීන් සහ බ්‍රෝමයින් සමහරක් අණු කරා ළඟා වීම වැළකී යාමයි.

 

කෙසේ වෙතත් මිනිසුන්ගේ මැදිහත්වීම්  ඕසෝන් ස්තරයට වාසිදායක අන්දමින් බලපෑවේ නැතැයි මින් නොකියැවේ. ඔක්සිජන් පරමාණු තුනකින් සමන්විත වන ඕසෝන්, National Geographic සඟරාව දක්වන පරිදි භූමියට සැතැපුම් 31 ක් දක්වා උඩින් ඉහළ වායුගෝලයේ අපරිවර්තීගෝලය යනුවෙන් හඳුන්වනු ලබන කලාපයේදී නිරන්තරයෙන්ම නිපදවී විනාශ වී යයි.  ඕසෝන් හිරු ආවරණයක් ලෙස කි‍්‍රයා කරමින් හිරුගේ පාරජම්බුල කිරණ විශාල වශයෙන් පෙරයි. මේ කිරණ සමෙහි පිළිකා ඇතිකිරීමට ඉඩ ඇති අතර  සාගර ආහාරදාමයේ පදනම වන ශාක ජලවාංග වනසයි.

ඇන්ටාක්ටිකාවට උඩින්  ඕසෝන් සාන්ද්‍රණයේ වාර්ෂික තුනී වීම් සටහන් කරගැනීම විද්‍යාඥයෝ 1980 ගණන්වලදී පටන් ගත්හ. ශීතකරණ, කේශ-දියර විදින, ආදියෙහි යොදා ගන්නා ක්ලෝරොෆ්ලූරෝකාබන් නම් රසායනය වර්ගයක් ධ‍්‍රැව අපරිවර්තීගෝලයෙහි එක්රැස්වෙන බව විද්‍යාඥයන්ට පෙනී ගියේය. තවද, දවසේ වැඩි කාලයක් හිරු රැුස් පතිතවන දක්ෂිණ වසන්ත හා ගිම්හාන ඍතුවලදී සංයෝගය ක්ලොරීන් බවට පෙරළී  ඕසෝන් සමග ප‍්‍රතිචාර දැක්වීමට මෙන්ම විනාශ කිරීමට හේතුවෙයි.

ඕසෝන් හානියට පත්කරන රසායන තහනම් කරුණු මොන්ටි‍්‍රයල් සම්මුතිය 1987  දී  කි‍්‍රයාත්මක විය. එසේ නොවන්නට 2050 වන විට පෘතිවියේ සම්පූර්ණම  ඕසෝන් ස්තරය විනාශවී යන්නට ඉඩ තිබුනි යයි අධ්‍යනය පෙන්වා දෙයි. එය බලගතු සෞඛය ප‍්‍රශ්නවලට මග පෑදීමට හේතුවන්නට මෙන්ම දේශගුණ විපර්යාසයන්ද තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබුණි. මොන්ටි‍්‍රයල් තහනම නොවන්නට අද දේශගුනය 25%කින් රත්වීමට ඉඩ තිබුණ බව වායුගෝලීය  පර්යේෂණ  පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ(National Center for Atmospheric Research) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රොලන්ඩෝ ගාර්ෂියා පවසයි.

සියල්ල නිසියාකාරව ඉටු වුවහොත්  ඕසෝන් ස්තරය තුනිවීම 2050 වසර වන විට සම්පූර්ණයෙන්ම සපිරිය යුතුය. ඇත්ත වශයෙන්ම, තුනීවීම 2000 වසරේ දී මුදුනට පත් වූ විට ස්තරය ක‍්‍රමයෙන් සමතයකට පත්වන බවට ප‍්‍රථම වතාවට පර්යේෂකයන්ට පැහැදිලි සාක්ෂි සොයා ගත හැකි වි යයි පසු ගිය වසරේ පළවූ වාර්තාවක දැක්වේ. එසේ වුවද  ඕසෝන් ස්තරයේ ආරක්ෂාව පිළිබඳ ඉරණම තවම සම්පූර්ණයෙන් සහතික වී නැත. BBC ආයතනයේ මැට් මැක්ග‍්‍රාත් වාර්තා කරන පරිදි වෙනත් වර්ගයක රසායන එනම්  කාර්මික ද්‍රවන සහ තීන්ත තුනීකරණවලට යොදා ගන්නා පිවිසි(PVC) රසායනය නිෂ්පාදනය ඉහළ යාම හේතුවෙන්  ඕසෝන් සිදුර සුවවීම තවත් වසර 30 කින් පමණ කල්යාමට ඉඩ තිබෙන බව මෑතක අධ්‍යයන දක්වයි. දැනට එම රසායන බොහොමයක් තැනෙන්නේ චීනයෙහිය. එරටෙහි මේ රසායන නිපදවීම පාලනයකින් තොරය.

ඉතින්  ඕසෝන් ස්තරය සම්බන්ධ සුළු ජයග‍්‍රහණය ගැන උදම්විය හැකි වුවත් එයට ගෞරවය හිමි විය යුත්තේ මනුෂ්‍යයන්ට ද යන්න නිගමනය කිරීම අසීරුය. එසේ වුවද  ඕසෝන් ස්තරයෙහි ඉරණම විසඳලනු වස් තවත් බොහෝ දෑ ඉටු කළ යුතු බව පැහැදිලිය.

Smithsonian Smart News හි පලවූ The Ozone Hole Is the Smallest It’s Been in 30 Years—But We Can’t Take Credit යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: