විදු නැන නුවණ – Science Literacy for All

වසර මිලියන 280ක් පැරණි ෆොසිල කැලෑවක් අන්ටාක්ටිකාවෙන් සොයාගැනේ!

අද ලොව වඩාත්ම අයිස්මය මහාද්වීපය ලෙස සැලකෙන ඇන්ටාක්ටිකාවේ මෙයට වසර මිලියන 400 සිට 14 දක්වා කාලයේ දී ශාක වැඩිණ. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පෘථිවිය උණුසුම් වෙද්දී  ඊට ශාක ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න ගැන පුරෝකථන වර්ධනය කිරිම පිණිස, ආදී  ධ්‍රැව වනාන්තර ගැන අවබෝධයක් ලබා ගැනීම පර්යේෂකයන්ට උපකාර වනු ඇත.

ඇන්ටාක්ටිකාව සැමදාමත් හිමෙන් වැසුණු භූමියක් නොවිය.  වසර මිලියන ගණනකට  පෙර මෙම මහාද්ධිවීපය, ගොන්ඩ්වානා(Gondwana) නම දැවැන්ත දකුණු අර්ධ ගෝල භුමි ස්කන්ධයක කොටසක් ලෙස පවතින අවධියේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ ගස් සරුවට වැඩිණ. දැන්, අලුතෙන්  සොයාගැනීමට හැකිව ඇති මේ ඇතැම් ශාකවල සංකීර්ණ ෆොසිල ඒ ගස් සරුවට වැඩුණේ කෙසේද යන්න ද එමෙන්ම උණුසුම් වෙමින් පවතින නුතන ලෝකයේ දී  ශාක උතුරුකරයට ගමන් කරන විට කෙබඳු ආකාරයකට පෙනේවි ද යන්න හෙළිකරයි.

“වසර මිලියන 400ක පමණ පරාසයක, ඒ කියන්නේ ශාක පරිණාමය වූ මුලු කාල පරාසය තුළ ධ්‍රැව බියෝමවල(polar biomes) පරිසර විද්‍යාත්මක ඉතිහාසයක් ඇන්ටාක්ටිකාව සංරක්ෂණය කරගෙන තියෙනවා” යයි විස්කොන්සින්-මිල්වවූකී සරසවියේ පුරාපරිසර විද්‍යාඥ(paleoecologist)  එරික් ගුල්බ්‍රන්සන් පවසයි.

ඇන්ටාක්ටිකාවේ  අයිස්වලින් වැසුණු නුතන භුමි දර්ශනය දකින්නෙකුට එවන් සරු කැලයක් සිතින් මවා ගැනීම වුව දුෂ්කරය. ඉතින් සරු කැලයක ෆොසිල සොයා ගුල්බ්‍රන්සන් ඇතුළු පර්යේෂකයන්ට ඉමහත් වෙහෙසක් දරන්නට සිදුවිය.  එහෙත්, අද මෙන්ම එදත් ශිත සෘතුවේ දී දවසේ පැය 24 පුරාම අන්ධකාරයත් ගිම්හානයේ දී හිරු එළියත් පැවතින.  එහෙත් ඒ අතීත යූගයේ දේශගුණය වඩාත් උනුසුම්විය. ෆොසිල බවට පත් Glossopteris ශාකය යමහල් අළු මගින් සීග්‍රයෙන් වැසී ගොස් ගල් බවට පත්වීමට පෙර  ඇන්ටාකටික් කඳු අතරේ මෙයට වසර මිලියන 280කත පෙර වැඩුණි. පෘථිවි උෂ්ණත්වය වඩාත් උණුසුම්ව පැවති ඒ කාලයේ එය එහි ප්‍රමුඛ ශාකය විය.

ගුල්බ්‍රන්සන් සහ සගයන් අවධානය යොමු කර ඇත්තේ වසර මිලියන 252 කට පමණ පෙර පර්මියානු-ත්‍රියාසික(Permian-Triassic) මහා නෂ්ටප්‍රාප්ති සමය කෙරෙහිය. මෙම සිද්ධියේ දී මිහිතලයේ විශේෂ අතුරෙන් සියයට 95ක් තරම් ඉහල ප්‍රමාණයක් විනාශව ගියේය.  මේ මහා නෂ්ටප්‍රාප්තියට මග පාදන්න ඇත්තේ යමහල් විමෝචන මගින් මුදාහැරුණු දැවැන්ත හරිතාගාර වායු ය. එමගින් පෘථිවි උෂ්ණත්වයන් අතිශය ඉහල ගිය අතර සාගර ආම්ලිකරණයට තුඩුදෙන්න  ඇතැයි විද්‍යාඥයෝ කියති. එදා තරම්  දරුණු නොවුවද මෙය එදා මෙන්ම හරිතාගාර වායු බලපෑමෙන් මෙහෙයවනු ලබන  අද කාලගුණික විපර්යාසයන් හා යම් සමගාමිත්වයක් දක්වන බව ගුල්බ්‍රන්සන් පෙන්වා දෙයි.

පසුගිය වසරේ, ඇන්ටාක්ටිකාවේ ෆොසිල සොයමින් සිටිය දී ගුල්බ්‍රන්සන් සහ කණ්ඩායමට මෙතෙක් වාර්තා වී ඇති පැරණිතම ධ්‍රැවිය වනාන්තරය දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශයෙන් හමුවිය. මෙහි කාලවකවානු තවමත් අකුරටම නිර්ණය කර නැතත් සෛලීය මට්ටමටම සරක්ෂණය වී ඇති මේ වනාන්තරය මෙයට වසර මිලියන 280 කට පෙර පවතින්නට ඇතැයි පර්යේෂකයෝ විශ්වාස කරති.  ගුල්බ්‍රන්සන් පවසන අන්දමට මහා නෂ්ටප්‍රාප්තියෙන් පසුව වනාන්තරය  වඳ වී නොගිය නමුත් විපර්යාසයන්ට ලක්විය. Glossopteris ශාකය වෙනුවට අද ගින්කෝ ශාකයේ එදා ඥාතින් වන විශේෂ ද ඇතුලත්  සදාහරිත සහ පතනශිල ශාක නව එකතුවක් ඇතිවිය.

 “අපි උත්සාහ කරන්නේ  මේ සංක්‍රමණයන්ට නිශ්චිත වශයෙන් බලපෑවේ කුමක් ද යන්න ගැන පර්යේෂණ කරන්ටයි” ගුල්බ්‍රන්සන් කියා සිටියි, “ඉතින් ඒක තමයි අපි හරියටම දන්නෙත් නැත්තේ”. පාෂාණ තුළ ශාක කොපමණ හොඳින් සංරක්ෂණය වී ඇත් ද කිවහොත් ගස්වල ප්‍රෝටීන සෑදීමට ඉවහල් වූ ඇමයිනෝ අම්ල තැනුම් ඒකක සමහරක් තවමත් නිස්සාරණය කර ගත හැකි බව ඔහුගේ අදහසයි. මේ රසායනික තැනුම් ඒකක ගැන හැදෑරීමෙන් දක්ෂිණ අක්ෂන්ශයේ අමුතු සුර්යාලෝක තත්ත්වයන්ට මේ ශාක මුහුණ දුන්නේ කෙසේ ද යන්න මෙන්ම Glossopteris ශාකය විනාශ මුඛයට යද්දී පසුව ආ විශේෂ යහතින් වැජඹුණේ කෙසේ ද යන්න පැහැදිලි කර ගැනීමට මග පෑදෙනු ඇතැයි ගුල්බ්‍රන්සන් ප්‍රකාශ කරයි.

 

Scientific American හි පල වූ  280-Million-Year-Old Fossil Forest Discovered in … Antarctica යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: