විදු නැන නුවණ – Science Literacy for All

ඥාන මීමාංසාව: 2. අප ඥානය හඹා යන්නේ ඇයි ?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය විශ්වාසයෙන් වෙන්කොට හඳුනාගැනීම කවරදාකටත් වඩා අසීරු කටයුත්තක් ලෙස  පෙණි යා හැකිය. තතු මෙම ලිපි මාලාවෙන් ආපසු යන්නේ මුලික කරුණු කාරනාවලටයි: ඥානය යනු කුමක් ද? ඉන් අපට ඇති ඵලය කිම ? මෙන්ම  ඥාන මීමාංසාවට කේන්ද්‍රීයවන අනෙකුත් ප්‍රශ්න ගැන පමණක් නොව ඥානය පිළිබඳ විද්‍යාව ගැන ද මෙහි දී සොයා බැලේ.

අප ඥානය හඹා යන්නේ ඇයි ?

Robert R. Wilson, 1978

චිකාගෝ නුවර ආසන්නයේ පිහිටි ෆර්මිලැබ්(Fermilab = ඇමරිකාවේ අංශු භෞතික විද්‍යා සහ අංශු ත්වරක පරික්ෂනාගාරය) හි ප‍්‍රථම අධ්‍යක්ෂවරයා වූ රොබට් විල්සන් ගෙන් ඇමරිකා එක්සත් ජනපද  කොන්ග්‍රෙස් මණ්ඩල කොමිටියකින් 1969 දී මෙලෙස ඇසිය: ‘ඔබ අරමුදල් ලබාගෙන ක‍්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන නව අංශු ත්වරකය (particle accelerator) සෝවියට් දේශයට එරෙහි සටනට ආධාරයක් වේද?’ ඔහු එයට ලබා දුන් පිළිතුර මෙසේයි : “මේ නව දැනුම මුළුමනින්ම අදාළ වන්නේ  බුහුමනට සහ රටටයි. ඒත් ඒක ආරක්ෂා කරගත යුතු තරමේ වටිනා එකක් බවට මේ රට පත් කර ගැනීමට මිස කිසිසේත් සෘජුවම අපේ රට ආරක්ෂා කිරීමට අදාළ නැහැ”.

Image result for Fermilab

රොබට්  විල්සන්ගේ මේ අනගි ප‍්‍රකාශය ඥානය පිණිසම ඥානය හඹායාම තහවුරු කිරීම පිණිස ඉදිරිපත් කළ හැකි ප‍්‍රබල එමෙන්ම මනෝඥ සාක්ෂියකි. එසේ වුවද, එය ඊටම අදාළ ප‍්‍රශ්න ද  මතු කරයි. ඥානය ‘වටිනා එකක්’ බවට පත්වන්නේ කුමන අර්ථයකින් ද? තවද ඥානය අත්පත් කර ගැනීම පිණිස අපට ඇතිවන ‘රුදාව’(උනන්දුව, ආශාව) පොළඹවනු ලබන්නේ කුමක් මගින් ද?

ඥානය යනු හුදු තොරතුරුවලට වැඩි යමකි. ඇත්තටම Caenorhabditis elegans නමැති නෙමටෝඩා පණුවන් පවා සිය පරිසරය ගැන තොරතුරු උපරිමයෙන් ලබා ගන්නා අතර ඒ මගින් ජීවිතය රැකගෙන පැවතෙමින් ප‍්‍රජනනය කිරීමේ අවස්ථාව ද වැඩිකර ගනී. ඒ කෙසේ වෙතත්, C. elegans හෝ (අපේ විශේෂය හැර) වෙනත් කිසිම විශේෂයක් අප දන්නා තරමින් විශ්වයේ සම්භවය ගැන දැන ගැනීමට වෙහෙසෙන්නේ නැත; ඔවුන් ස්ථීරවම ඒ ගැන ශාස්ත‍්‍රිය ලේඛන රචනා නොකරන අතර ඒ ගැන දැන කියා ගැනීම පිණිස අංශු ත්වරක (particle accelerator)  තනන්නේ ද නැත. (අංශු ත්වරක යනු ආරෝපිත අංශුවක චාලක ශක්තිය ත්වරණය කිරීම පිණිස යොදා ගන්නා විද්‍යාත්මක උපකරණයකි).  අප දන්නා ආකාරයෙන් ගත්තොත් එය අදාළ වන්නේ තොරතුරු උකහා ගැනීමේ ක්‍රියාවලියට සහ වෙනත් අවස්ථාවන්හීදී සහ වෙනත් සන්දර්භ තුළ භාවිත කිරීම පිණිස අර්ථ නිරුපණයටය.

Related image

“ඔබට ඥානය ඇත්නම් ඔබට බොහෝ දේ කළ හැකියි” එක්සත් රාජධානියේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ඥාන විමාංසක(epistemologist) ඩන්කන් ප‍්‍රිචාඩ් ප‍්‍රකාශ කරයි, “ඔබට මුළුමනින්ම අළුත් අවස්ථා සම්බන්ධයෙන්  නිර්මාණාත්මක ආකාර වලින් ක‍්‍රියා කළ හැකිය”.

මෙම  ලිපිය කියවීමෙන් හෝ   එහි ඇති විශ්වාසයන්, සත්‍යයන්, යුක්ති සාධනයන් සහ බාගදා වැරදි අවබෝධයන් කිරා මැන බලමින් මේ ලිපිය කියැවීමෙන් හෝ ඔබට හොඳ ආහාර වේලක් සපයා ගැනීමේ මගක් පාදා ගත  හැකි නොවන්නට පුළුවන; එහෙමත් නැතිනම්  ලිංගික හවුල්කරුවෙකුට/හවුල්කාරියකට (සමහර විට වක‍්‍ර ආකාරයකට හැර පමණක්)  ඔබව වඩාත් ආකර්ෂණීය වන්නේ නැතිවෙන්න පුළුවනි.  එහෙත්, මොළ අනුරූපන(brain-imaging) අධ්‍යයන පෙන්නුම් කරන්නේ අප ඉතා සරල ප‍්‍රශ්න වලට උත්තර බඳින විට හෝ අපේ කුතුහලය දැනවීමට නිර්මිත අපැහැදිලි අනුරූපන දකින විට ආහාර හා ලිංගික ක‍්‍රියාවන්ට ප‍්‍රතිචාර දක්වන (මොළයේ) ප‍්‍රදේශ උත්තේජනය වන බවයි. ඉන් හැඟී යන්නේ, අප ඒ ආකාරයේ ම ප‍්‍රාථමික ඉෂ්ට ඵලයක් (reward) ලෙස ද ඥානය සලකන බවයි.

අප මුලින්ම ඥානයට ඇල්ම දැක්වීමට කෙසේ යොමු වී දැයි යන්න ගැන  නිශ්චිත විස්තර අපෙන් හැමවිටමත් සැඟව යා හැකිය. පැවත්මට හා සශ‍්‍රීක වීමට අවශ්‍ය මෙවලම් සපයමින්,  තනි තනි පුද්ගලයන් හැටියට මෙන්ම සත්ව විශේෂයක් හැටියටත් අපේ සාර්ථකත්වය කරා එය අපව කෙලෙස පොළඹවාවීද යන්න දැක ගැනීම පහසුය.

ඥානය අතීතයේ දී — එමෙන්ම දැනුදු එදිනෙදා ජීවිතයේ දී සහ තාක්ෂණික ප‍්‍රගතියෙහි ඉම් වලදී ද —  අපට කොපමණ හොඳින් වැඩදායක වූයේ ද යත් එම හේතුව නිසාමත්  අප ඥානයට ඇබ්බැහි වී ඇත. නිව්ජර්සි ප‍්‍රින්ස්ටන් හි උසස් අධ්‍යයන සඳහා වන  ආයතනයෙහි(Institute for Advanced Study – IAS) නියමුවා වන එබ‍්‍රහම් ෆ්ලෙක්ස්නර් 1939 රචිත ‘නිෂ්ඵල දැනුමෙහි ඵලප‍්‍රයෝජනවත් බව’(The usefulness of useless knowledge)  නම් නිබන්ධනයකින් පෙන්වා දෙන පරිදි,  ගුවන් විදුලි සන්නිවේදනය සහ ඒ හා බැඳි සියල්ල අවසානයේ ගුග්ලි එල්මෝ මාකෝනිගේ නිර්මාණයක්ම නොවේ. ප‍්‍රායෝගික අභිලාෂයක් සිතෙහි දරා නොගෙන, විද්‍යුත් චුම්බක තරංග මූලික කරුණ හෙළිකර දුන් ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් සහ හෙයින්රිෂ් හර්ට්ස් කරා ඒ සියල්ල  දිවෙයි.

අවධානයට යොමු කිරීම

මේ අන්දමේ නිදසුන්  ඕනෑ තරම් ඇතැයි උසස් අධ්‍යයන සඳහා වන ආයතනයේ වර්තමාන අධ්‍යක්ෂ රොබට් ඩිජ්ක්ග්‍රාෆ් කියා සිටියි. ෆ්ලෙක්ස්නර් ගේ මුල් නිබන්ධනය(ඉහත සඳහන් කළ) නැවත නිකුත් කිරිමට සමගාමීව මොහු ඒ හා බැඳි නිබන්ධනයක් රචනා කර ඇත. “අපගේ ගෝලීය ස්ථාන නිර්ණායන පද්ධතිය තුළ දිනපතාම සාධාරණ සාපේක්ෂතාවාදය (theory of general relativity) යොදා ගන්නවා. ඒත් ඇල්බට් අයින්ස්ටයින් එය විසඳුවේ ඔය අරමුණ බලාගෙන නෙවෙයිනේ” ඔහු කියයි. ඕනෑම දෙයක් කිරීමේ හැකියාව විද්‍යාවට ලැබී ඇතැයි මින් අදහස් කෙරෙන්නේ නැත-ඇත්තටම රොබට් විල්සන් (මෙම ලිපියේ ආරම්භය බලන්න) සිදු කළ ප‍්‍රකාශය ඇසුවද ළමුන් බොහොමයක් අදටත් සාගින්නේ පෙළෙන ලෝකයක එවැන්නක් බලාපොරොත්තු විය ද  නොහැක.

වැඩකට නොමැති විද්‍යාත්මක පර්යේෂණ යනුවෙන් දෙයක් ද ඇති බවත්, ඒ කුමක් දැයි හරි හැටි ප‍්‍රකාශ කිරීම අසීරු දෙයක් බවත් නිව්යෝක්,  සිටි විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ දාර්ශනිකයෙකු වන මැස්සිමෝ පිග්ලූවිචි කියා සිටියි. “ඒ නිසා තමයි,  විද්‍යාඥයන් තමන් කරන කියන දේවල් මොනවාද? ඇයි ඒවා  කරන්නේ කරන්නේ? කියන එක ගැන තම සගයන්ගේ  මෙන්ම පොදු ජනතාවගේ  ද අවධානය යොමු කළ යුත්තේ” ඔහු කියයි. යමක් කරන්නේ ඇයි යන්න වෙනත් අයට වගේම විද්‍යාඥයන්ටත් වැදගත්. ඥානය හඹා යාම තමයි අපත් පණුවනුත් අතර වෙනය ඇති කරන්නේ.

ඥාන මීමාංසාව: 1. ඥානය යනු කිම? නොවැම්බර් 23 පලවිය මෙතන ක්ලික් කර කියවන්න.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි Why Do We Seek Knowledge?  යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: