සැමට විදු නැන නුවණ – Science Literacy for All

අත්‍යවශ්‍ය සිද්ධාන්ත තුන : පරිණාමය, තැටි භූ කාරක හේතු සහ දේශගුණය

පෘථිවි විද්‍යාවේ දී (Earth Science) වැදගත් වන සිද්ධාන්ත තුනකි : පරිණාම සිද්ධාන්තය (theory of evolution), තැටි භූ කාරක හේතු සිද්ධාන්තය (theory of plate tectonics),  සහ මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස පිළිබඳ සිද්ධාන්තය(theory of climate change  ) ඒ තුනයි. මේ ලිපියෙන් සලකා බලන්නේ ඒ ගැනයි.

පෘථිවිය විශාල  ඉබ්බෙකු  මත ගොඩනැගුණු දැවැන්ත දූපතක් බඳුයයි ආදීකාලින බටහිර  ලෝකයේ මිනිස්සු විශ්වාස කළහ. එය එසේ නොවන බව විසි එක් වැනි සියවසේ ජීවත්වන අපි දනිමු. එහෙත්, මහ පොළොව ඉහත චිත‍්‍රයේ දක්වා ඇති අන්දමට නොවේ යයි අප හරියටම කියන්නේ කෙසේ ද?

අප අවට සිදුවන දේවල් හෝ අප නිරීක්ෂණය කරන දේවල් පැහැදිලි කිරීම පිණිස විද්‍යාඥයන් විසින් ගොඩ නගන ලද සිද්ධාන්ත නොවන්නට,  ස්වභාවික ලෝකය තේරුම් බේරුම්කර ගැනීම, අවබෝධ කරගැනීම පහසු වන්නේ නැත. ලෝකය දැවැන්ත ඉදිබුවෙකු මත නැගි ඇතකු මත  පිහිටියේ යයි සිතන්නට විද්‍යාව නොමැති නම් අප පෙළෙඹෙන්නට පුළුවන. (සංශයවාදී වන්නෙකු නම් ඉදිබුවා සිටින්නේ කොහේ දැයි අසනු ඇත) විද්‍යාව අපට සිද්ධාන්ත ගෙන හැර පායි. පෘථිවි විද්‍යාවට නැතිවම බැරි සිද්ධාන්ත තුනක් ගැනයි අද කතා කරන්නේ.

අත්‍යවශ්‍ය සිද්ධාන්ත ත‍්‍රිත්වය:

දත්ත මගින් (ඒවා) වැරදි බව ඔප්පු වූ විට ඇතැම් විට විද්‍යාත්මක සිද්ධාන්ත බැහැර කරනු ලැබේ. තැටි භූ කාරක හේතු න්‍යාය පිළිගැනීමට ලක්වීමට පෙර  මිනිසුන් කල්පනා කළේ පාලම් ලෙස ගොඩබිම යොදා ගනිමින් ෆොසිල ජීවීන් සතර වටේට ව්‍යාප්ත වන්නට ඇති  බවකි.  අත්ලාන්තික් සාගරය හරහා ගොඩබිම පාලමක් තිබෙතැයි යන්න ඇදහිය නොහැක්කක් වුවත්, ඊට වඩා හොඳ අදහසක් එකල ඉදිරිපත් වී තිබුණේ නැත. ඉතින් එකී සිද්ධාන්තය බැහැර කිරීමට හැකිවීම බොහෝ විද්‍යාඥයන්ගේ සැනසිල්ලට හේතු විය.

එසේ වුවද ඇතැම් සිද්ධාන්ත, සංසිද්ධි කොපමණ නම් පැහැදිලි කිරීමට සමත් වෙයි ද කොපමණ නම් සාක්ෂ්‍ය රේඛා මාර්ග  ඔස්සේ පුළුල්ව සනාථවේ ද   කියතොත් එවන් සිද්ධාන්ත කිසි දිනක සාවද්‍ය යයි ඔප්පු නොවන්නට පුළුවන. අතිරේක විද්‍යාත්මක සාක්ෂි හමුවේ සිද්ධාන්ත සංශෝධනය කිරීමට විද්‍යාඥයන්ට අවශ්‍ය විය හැකිය. එහෙත් ඒවා සනාථ කිරීමට අපමණ සාක්ෂි තිබීම සහ ඒවා නිශ්ප‍්‍රභා කිරීමට තරම්  වැදගත් යමක් නොතිබීම හේතුවෙන් එම සිද්ධාන්ත ඒවාට අදාළ විද්‍යා ක්ෂේත‍්‍රයන්ට නැතිවම බැරි වී තිබේ.

පරිණාමය පිළිබඳ සිද්ධාන්තය :

මෙය සාමාන්‍ය ජනතාව අතර ද තරමක් අසා පුරුදු විද්‍යාත්මක සිද්ධාන්තයකි. චාල්ස් ඩාවින්ගේ පරිණාමය පිලිබඳ සිද්ධාන්තය ඔහු එය ඉදිරිපත් කළ දා සිටම ප‍්‍රහාරයට ලක්වූවකි. එසේ වූවද, ජීව විද්‍යාඥයන් සියල්ලම පාහේ එම සිද්ධාන්තය පිළිගන්නා අතර පෘථිවිය මත ජීවය පිළිබඳ ඔවුන් උගෙන ගත් සියල්ලම පාහේ එම සිද්ධාන්තයට සහය සලසන බවද හඳුනා ගෙන තිබේ.  පරිණාමය, ෆොසිල වාර්ථා වල දැකගත හැකිය; එමෙන්ම ජීවීන්ගේ වර්ධන මං පෙත් වල, ජීවීන්ගේ භූගෝලීය ව්‍යාප්තියෙහි  සහ සජීවීන්ගේ ජානමය කේත වල (genetic codes) ද පරිණාමය දැකිය හැකි වේ. ස්වභාවික වරණය(natural selection) යනුවෙන් යාන්ත‍්‍රණයක් පරිණාමය සතු වේ. සාමාන්‍ය ජනතාව බොහෝ විට ස්වභාවික වරණය දක්වන්නේ ‘උචිතෝන්නතිය’ (the survival of the fittest උචිතමයාගේ ප‍්‍රවර්තනය) යනුවෙනි. ස්වභාවික වරණය අනුව, සිය වාතාවරණයට වඩාත් හොඳින් අනුවර්තනය වූ(adapted)  ජීවීහු නොනැසී පැවතීමටත්, ජනිතයන්(offspring) බිහි කරමින් ඊළඟ පරම්පරාව වෙත සිය ජාන උරුම කර දීමටත් වැඩි ඉඩකඩක් දක්වති. නූතන මානවයන්, වානර සමාන ආදිතමයන්ගෙන් පරිණාමය වූයේය යන්න පවත්වාගෙන යනු ලබන්නේ පරිණාමය පිළිබඳ සිද්ධාන්තය මගිනි.

තැටි භූ කාරක හේතු සිද්ධාන්තය.

පෘථිවි විද්‍යාව තුළ විශාල වපසරියක දී වඩාත්ම වැදගත් වන්නේ මෙම සිද්ධාන්තයයි. භූ විද්‍යාත්මක ක‍්‍රියාකාරීත්වයෙහි වැඩි කොටස ඒවා සිදුවන තැන්වල සිදුවන්නේ ඇයි, ස්වභාවික සම්පත් වැඩි කොටස ඒවා තිබෙන තැන් වලින් හමුවන්නේ ඇයි ද යන්න පැහැදිලි කිරීමට මෙන්ම පෘථිවියේ දීර්ඝ ඉතිහාසය තුළ සිදුවන්නේ කුමක් දැයි නිර්ණය කිරීම පිණිස යොදා ගැනීමට ද තැටි භූ කාරක හේතු සිද්ධාන්තය උදව් වෙයි. මෙම සිද්ධාන්තය ගැන වඩාත් විස්තරාත්මකව දැක්වීමට තතු අපේක්ෂා කරයි.

දේශගුණ විපර්යාසයන් පිළිබඳ සිද්ධාන්තය

මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් දේශගුණ විපර්යාසයන් සිදුවේය යන සිද්ධාන්තය අනෙක් සිද්ධාන්ත දෙකට වඩා අළුත්ය. ලොව පුරා සාමාන්‍ය උෂ්ණත්වයන් ඉහළ යමින් පවතින බව අපි දනිමු. ඒ ඇයි ද යන්න පවා අපි දන්නෙමු: ෆොසිල ඉන්ධන දහනය වන විට වායුගෝලයට කාබන් ඩයොක්සයිඞ්(Carbon dioxide) මුදා හැරීම ඊට හේතුවයි. කාබන්ඩයොක්සයිඞ් යනු හරිතාගාර වායුවකි (a greenhouse gas). වායුගෝලයේ දී හරිතාගාර වායු උෂ්ණය කොටුකර ගනී(අවුරා ගනී). මෙය හරියට කීවොත් පෘථිවිය මත තවත් අතිරේක බ්ලැන්කෙට්ටුවක් හෙළීම වැන්නකි. මෙලෙස වැඩි වැඩියෙන් උෂ්ණත්වය අවුරන නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතී.

‘දේශගුණික විපර්යාසයන් සිදුවන්නේ ප‍්‍රධාන කොටම මානව කි‍්‍රයාකාරකම් හේතුවෙන්ය’ යන සිදධාන්තයට පටහැණි එමෙන්ම අභියෝගයට ලක් කිරීමට තරම් තොරතුරු නැති තරම්ය.(ඇතැම් විපර්යාසයන් ස්වාභාවික ලෝකයේ වාරිකව සිදුවන්නේ යයි මතය දරන පිරිසක් ද ඇතත් එම මතය සනාථ කිරීමට ප්‍රමානවත්, පිළිගත හැකි සාක්‍ෂි නැත. කෙසේවෙතත්, ඥානය හඹා යන්නන් ඒ ගැන විචාරාත්මකව සොයා බැලීම වටී — සංස්කාරක)   වායුගෝලය ක‍්‍රියාකාරන ආකාරය පිළිබඳව යම් ප‍්‍රධාන පෙළේ විසංගතතාවක් හෙවත් නොසීහුමක් සොයා ගත්තොත් හැර මේ සිද්ධාන්තය දිගටම පැවතීමට බොහෝ ඉඩ කඩ ඇත. මේ වනතුරු එකතු කර ගනිමින් තිබෙන තොරතුරු මෙකී මතය තහවුරු කෙරෙන අතර ගෝලීය උණුසුම්වීම අනාගත සිද්ධි පුරෝකතනය සඳහා යොදා ගත හැකිවේ. මේවා දැන් සිදුවෙමින් පවතී. මේ ගැන ද ඉදිරි ලිපි වලදී තවත් සාකච්ඡා කිරීමට අපේක්ෂිතයි. දිගටම thathu ලිපි කියවන්න.

 

CK-12 Earth Science හි පළ වූ Evolution, Plate Tectonics, and Climate Change ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: