විදු නැන නුවණ – Science Literacy for All

ජීවයේ ගුණාංග

 

ගින්දර සජීව ද? (පණ ඇති දෙයක්ද?)

ගින්දර වර්ධනය විය හැකිය. ගින්දරට ඉන්ධන මෙන්ම ඔක්සිජන් ද අවශ්‍ය ය. එහෙත්, ගින්දර ජීව ස්වරූපයක් නොවේ. ජීවත් වන ඇතැම් දේවල් වල ගුණාංග කිහිපයක් ගින්දර සතු වුවද එය සැබැවින්ම පණ ඇති දෙයක් නොවේ. අප මේ ගින්දර නිදසුන ගැන සලකා බැලුවේ යම් යම් දේවල එකම ගුණාංග තිබුණේ වී නමුත් ඒවා එක සමාන විය යුතු යැයි නියමයක් නැති බව දැක්වීමටය. ඒත් ඉතින් අපි කොහොමද සජීවී සහ අජීවී දේවල් සුවිශේෂීව හඳුනා ගන්නේ?

ජීවයේ ගුණාංග මොනවාද?

පණ ඇති දෙයක් හෙවත් සජීවී දෙයක් යන්න අප අර්ථ දක්වන්නේ කෙසේද? බිම් මල්, ඩේසිමල්, පුසන් සහ බැක්ටීරියා අතර පොදු වශයෙන් දැකිය හැක්කේ කුමක්ද? ඒ සියල්ලම පණ ඇති දේවල්ය. වෙනත් විදිහකට කිව්වොත් සජීවී දේවල්ය. මේසා (එකිනෙකට) වෙනස් දේවල් අතර සමානතා ඇතැයි සිතීම ඇතැම් විට අසීරු කාරණයක් විය හැකියි.  එසේ වුවද ඒවා අතර ඇත්තටම පොදු ගුණ ගණනාවක්ම ඇත. සජීවීන් (Living organisms) එකිනෙකාට මෙලෙස සමානකම් දක්වන්නේ මෙයට අවුරුදු බිලියන  ගණනකට පෙර ජීවත් වූ එකම පොදු ආදිතමයෙකුගෙන් සියලුම ජීවීන් පරිණාමය වූ හෙයිනි.

සියලුම ජීවීන්ට (ප්‍රාණීන්ට):

  1. ජීවන ක්‍රියාදාමයන් කරගෙන යාම සඳහා ශක්තිය අවශ්‍ය වේ.
  2. සියලු ප්‍රාණීන් එකක් හෝ ඊට වැඩි සෛලගණනාවකින් සමන්විත වේ.
  3. ප්‍රාණීහු සිය පරිසරයට ප්‍රතිචාර දක්වති.
  4. වැඩී, ප්‍රජනනය කරති.
  5. ස්ථාවර අභ්‍යන්තර පරිසරයක් (වාතාවරණයක්) පවත්වා ගෙන යති.

ජීවත් වන දේවල් වලට සම්පත් හා ශක්තිය අවශ්‍ය වේ.

මෙහෙම ප්‍රශ්නයක් අසමු. අපි දිනපතා ආහාර ගන්නේ ඇයි? ශක්තිය ලබාගැනීමට යන්න පැහැදිලිව ලැබෙන පිළිතුරකි.  ශක්තිය යනු කාර්ය කිරීමට ඇති හැකියාවයි. ශක්තිය නැතුව ගියොත් අපට කිසිවක් කරගත නොහැකි වේ. වැඩක් පලක් කර ගත නොහැකි වෙයි. ‘වැඩ’ නොකර සිටීමට ලැබෙන්නේ නම් එය  සතුටට කාරණයක් මෙන් පෙනී ගියත් ශක්තියෙන් අවුලවන ‘වැඩ’ අතර ඇවිදීම, ලිවීම හෝ කියවීම, කෑම ගැනීම මෙන්ම සිතීම ආදී එදිනෙදා ක්‍රියාකාරකම් ඇතුලත් වේ. එහෙත් ශක්තිය අවශ්‍ය වන්නේ අපට පමණක් නොවේ. වර්ධනය වීමට ප්‍රජනනයට හා අනෙකුත් ජීවන ක්‍රියාදාමයන් කරගෙන යාම පිණිස පණ ඇති සෑම ජීවියකුටම ශක්තිය අවශ්‍ය වේ. ඒත් ඉතින් මේ ශක්තිය එන්නේ හෙවත් ලැබෙන්නේ කොයින්ද?

ශක්ති මූලය ඒ ඒ ප්‍රාණියාගේ වර්ගය අනුව වෙනස් වේ. අපේ සිරුර ගතහොත් ශක්ති මූලය වන්නේ, ඔබ කෑමට ගන්නා ආහාරයි. දැන් අපි බලමු සතුන්,  ශාක  සහ දිලීර ඒවායේ ශක්තිය සපයා ගන්නේ කෙලෙසද කියා.

  • සියලුම සත්වයින් ශක්තිය ලබාගැනීම පිණිස ආහාර ගතයුතු වේ. සත්තු තැනුම් ද්‍රව්‍ය ලබාගැනීම පිණිසද ආහාර ගනිති. සත්වයෝ,  ශාක සහ අනෙකුත් සතුන් ආහාරයට ගනිති.
  • ශාක කෑම කන්නේ නැත. ඒ වෙනුවට ශාක සූර්යයා ගෙන් ලැබෙන ශක්තිය ප්‍රභාසංශ්ලේෂණය(photosynthesis) නම් ක්‍රියාදාමය මගින් තමන්ගේ ආහාර නිපදවා ගනී.
  • බිම් මල් සහ අනෙකුත් දිලීර ශක්තිය ලබා ගන්නේ අනෙකුත් ජීවීන්ගෙන් ය. බිම ඇදවැටී ඇති ගසක දිලිර වැඩෙමින් තිබුණු බොහෝ විට ඔබට දැකගත හැකි වන්නේ එහෙයිනි. ඒවායේ ශක්ති මූලය එකී දිරාපත්වෙමින් පවතින ගසයි.

ශාක ශක්තිය නෙළාගන්නේ සූර්යයාගෙන් නිසාත්, අනෙකුත් ජීවීන් සිය ශක්තිය අවශ්‍යතා ශාක වලින් සපුරා ගන්නා නිසාත් පණ ඇති සියළුම ජීවින්ගේ මුළු ශක්තියම පාහේ ලබාගැනීමේ සූර්යයාගෙනි.

ජීවත්වන දේවල් සෑදී ඇත්තේ සෛල වලිනි.

අපට ශාකයක පත්‍රයකට  හෝ අපේ අත්ලෙහි සම හෝ ලේ බිංදුවකට ඉතාමත් සූක්ෂමව ළවී බැලිය හැකි නම් අපට සෛල(cells) දැකබලා බලා ගත හැකිය. පණ ඇති සියළුම ජීවින්ගේ කුඩාම ව්‍යුහය හා කාර්යයම ඒකකය සෛලයයි. බොහෝ සෛල කොපමන නම් කුඩා ද කිවහොත් ඒවා දැක බලාගත හැක්කේ අන්වික්ෂයක් හෙවත් මයික්‍රස්කෝපයක් මගින් පමණකි. බැක්ටීරියා මෙන්ම  මුහුදේ ජීවත්වන ප්ලැන්ක්ටන් හෙවත් ප්ලවාන්ගි(plankton) හෝ (පහත චිත්‍රයේ දැක්වෙන, ඒක සෛලික කරදිය ජීවියෙකු වන) පැරමිසියම(Paramecium) වැනි ඇතැම් ජීවින් ඒක සෛලික ය.  අනෙකුත් ජීවීන්ට සෛල මිලියන, බිලියන හෝ ට්‍රිලියන ගණනක් ඇත.

සියලුම සෛලවලට අඩු තරමින්, රිබෝසෝම වැනි ඇතැම් පොදු ව්‍යුහයන් ඇත.

රිබෝසෝමතමයි, ප්‍රෝටීන  නිපදවෙන ස්ථාන. ඒ වගේම සියළුම සෛලවල DNA සහ ප්‍රෝටීන ද ඇත. සෛලයක න්‍යෂ්ටිය,  එහි තොරතුරු මධ්‍යස්ථානය ලෙස දැක්විය හැකිය. සෛලයක සියළුම ප්‍රෝටීන තැනීම සහ එසේම එක් එක් ප්‍රෝටීනය කොපමණ  තනන්නේද යන්න සඳහා උපදෙස් ද(DNA)  එහි අඩංගුය.සෛලවල පොදු ප්‍රවර්ග දෙක අතර ප්‍රධාන කැපී පෙනෙන ලක්ෂණය වන්නේ න්‍යෂ්ටියයි. ප්‍රාග්න්‍යෂ්ටික(prokaryotic)  යනුවෙන් දැක්වෙන සෛලවලට  න්‍යෂ්ටියක් නොමැත.

එකිනෙකාට වෙනස් ජීවීන්ගේ සෛල සෑදී ඇත්තේ වෙනස් ආකාරවලට වුවද ඒ සියල්ලටම පොදු වූ කාර්යභාරයක් ඇත. සෑම සෛලයක්ම ආහාර වලින් ශක්තිය ලබා ගත යුතුය. වර්ධනය වෙමින් විභේදනය (බෙදීම) වීමට සහ පරිසරයට ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබිය යුතුය

පණ ඇති දේවල් පරිසරයට ප්‍රතිචාර දක්වයි

සියලු  ප්‍රාණීන්ටම,  සිය බාහිර පරිසරයේ වැදගත් හෝ උනන්දුව දනවන සුළු දෙයකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ඇත. නිදසුනකට ඔවුහු ආලෝකයේ, තාපයේ, ශබ්දයේ මෙන්ම රසායනික හා යාන්ත්‍රික වෙනස්කම්වලට ප්‍රතිචාර දක්වති. එලෙසම, ඒවාට තොරතුරු ලබාගැනීමේ මාර්ග ද ඇත. ඇස්, කන් හෝ අනෙකුත් ව්‍යුහයන් නිදසුන්ය.

පණ ඇති දේවල් වර්ධනය වනවා පමණක් නොව ප්‍රජනනයද කරයි

ඊළඟ පරම්පරාව තැනීම සඳහා සියලුම ප්‍රාණීහු ප්‍රජනනය කරති. ප්‍රජනනය නොකරන ජීවිහු නෂ්ටප්‍රාප්ත වෙති. සමහර ජීවින්, විශේෂයෙන්ම ඒකසෛලික  ජීවින් ප්‍රජනනය කරන්නේ අලින්ගිකවය(asexual reproduction)). අනෙකුත් ජීවින් ප්‍රජනනය කරන්නේ ලිංගිකවය(sexual reproduction). ඒ මාපියන්ගේ ජානමය තොරතුරු එක් කරමින් ජානමය වශයෙන් සුවිශේෂී ජනිතයෙක් සැදිමටය.

ප්‍රාණීහු ස්ථාවර අභ්‍යන්තර තත්ත්වයන් පවත්වාගෙන යති

ඔබට සීතලක් දැනෙන විට ඔබට උණුසුම්ව තබා ගැනීම පිණිස ඔබේ සිරුර කරන්නේ කුමක්ද? ඇඟ ගැහෙන්නේ ඔබව උණුසුම් කිරීමටයි. රස්නය අධික දිනවල, රස්නය පිට කිරීමට සඳහා සිරුරින් දහදිය හෙළයි. කිසියම් සජීවියෙකුගේ සමබරතාව ගිලිහී ගිය විට යළි ප්‍රකෘතිමත් වීම සඳහා එම ජීවියාගේ සිරුර හෝ සෛල උපකාරී වේ. වෙනත් වචනවලින් කිවහොත්  පණ ඇති ‍ජීවීන්ට ස්ථාවර අභ්‍යන්තර පරිසරය පවත්වාගෙන යාමේ හැකියාව ඇත. ප්‍රාණින්යෙන් ගේ සිරුර හෝ සෛල ඇතුළත සමබරතාව පවත්වාගෙන යාම හඳුන්වනු ලබන්නේ සමස්ථිතිය (homeostasis) යනුවෙනි. මනුෂ්‍යයන් වන අප මෙන්ම බොහෝ සත්තු ද සිය අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කිරීමට හැකිවන  චර්යාවන් පරිණාමය කරගෙන ඇත. හොඳින් හිරු පායා ඇති දවසක උරගයෙකු ගල් තලාවක් මත දිගෑදෙන්නේ සිය අභ්‍යන්තර උෂ්ණත්වයවැඩිකර ගැනීමටය. උණුසුම්ව සිටීමේ අරමුණින්  පක්ෂියෙකු  සිය පිහාටු පිරීමට පුළුවන.

සාරාංශය

ජීවන ක්‍රියාදාමයන් කරගෙන යාම සඳහා සමස්ත සජීවීන්ට  ශක්තිය අවශ්‍යය. සජීවීහු එක් සෛලයකින් හෝ කිහිපයකින් සමන්විත වන්නාහ.  සියලුම සජීවීහු තම පරිසරයට ප්‍රතිචාර දක්වමින්, වැඩෙමින්, ප්‍රජනනය කරමින් මෙන්ම ස්ථාවර අභ්‍යන්තර වාතාවරණයක් පවත්වා ගෙනද  යති.

 

CK-12 Foundation 2017 හි පළවූ Characteristics of Life ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: