සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඥාන මීමාංසාව: 4. අප සත්‍යය දැනගන්නේ කොහොම ද?

මානව ප්‍රගතිය යටිතලයෙහි ඇත්තේ දැනුම හඹා යාමයි. අප කිසිදා දැන සිටියාට වඩා වැඩි  දැනුමක් බොහෝ ආකාරවලින් අපට ඇත. එසේ වුව ද, මතය පරිසිද්ධියෙන් වෙන්කොට හඳුනාගැනීම, සත්‍යය විශ්වාසයෙන් වෙන්කොට හඳුනාගැනීම කවරදාකටත් වඩා අසීරු කටයුත්තක් ලෙස  පෙණි යා හැකිය. තතු මෙම ලිපි මාලාවෙන් ආපසු යන්නේ මුලික කරුණු කාරනාවලටයි: ඥානය යනු කුමක් ද? ඉන් අපට ඇති ඵලය කිම ? මෙන්ම  ඥාන මීමාංසාවට කේන්ද්‍රීයවන අනෙකුත් ප්‍රශ්න ගැන පමණක් නොව ඥානය පිළිබඳ විද්‍යාව ගැනම මෙහි දී සොයා බැලේ.

https://thathudotcom.files.wordpress.com/2017/11/what-is-knowledge-590x240.jpg?w=400&h=163

2016 දී , ඔක්ස්ෆර්ඞ් ශබ්ද කෝෂ දක්වන අන්දමට ‘‘වර්ෂයේ වචනය’’ බවට පත් වූයේ ‘‘පශ්චාත් සත්‍යය’’ (post-truth) යන්නයි. ව්‍යාජ ප‍්‍රවෘත්ති (fake news), කෛරාටික විශේෂඥයන් සහ මාධ්‍ය බොරු ගැන ප‍්‍රකාශ මෙන්ම ප‍්‍රතිප‍්‍රකාශ,  (යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ) බි‍්‍රතාන්‍ය බ්‍රෙක්සිටි වටා පැවති සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බවට තේරී පත්වීමට අදාලව පැවති තදබල වාදවිවාදවල පැහැදිලිව ඉදිරිපත් විණ.

සාපේක්ෂතාවාදී දාර්ශනක දැඩි මතධාරී කොටසකට නම් මේ සියල්ල දැනෙන්නේ  සුළු කාරණාවක් සම්බන්ධ මහා ගාලගෝට්ටියක්  ලෙසටයි– වාස්තවික සත්‍යය යනුවෙන් දෙයක් අපේ මනසින්  බාහිරව පවතින්නේ නැත. “විකාර” යයි ඉන්ඩියානා හි නෝර්ටේඩාම් විශ්ව විද්‍යාලයේ පීටර් වෑන් ඉන්වෝගන් පවසයි. ඔහු පෙන්වා දෙන අන්දමට ‘‘දොස්තර කෙනෙක් ඔබේ බඩවල් වල පිළිකාවක් ඇතැයි කීවොත්, එය සත්‍යයක් ද යන්න රඳා පවතින්නේ ඔබේ අන්ත‍්‍රයෙහි (බඩවැල්වල) සිදුවන ක‍්‍රියාවලිය මත මිස දොස්තරගේ මනසෙහි සිදුවන දේ මත නොවෙයි”.

එය පිළිගන්නේ නම් අභියෝගය වන්නේ, අපේ අභ්‍යන්තර ඥානය හැකිතාක් දුරට බාහිර ඥානය සමග එකට පෙළ ගැස්වීමයි. එය අසීරුය. මන්ද ඒ බව අප තේරුම් නොගෙන පවා සංකීර්ණ සමාජයක දී අප අන් අයගේ ඥානය මත රඳා පවතින හෙයිනි. අපගේ එදිනෙදා ජීවිතයේ භාවිතයට ගන්නා දෙයක් වූ බෝල් පොයින්ට් පෑනක් ගැන සඳහන් කරමින්  කෙනෙකුගෙන් ඇසුවොත් එය වැඩ කරන්නේ කෙසේදැයි ඔවුන් දන්නේ ද? ඇසුවොත්  ඔවුන් ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දෙනු ඇත. එහෙත් එය ක‍්‍රියාකරන ආකාරය පැහැදිලි කරන්ටැයි කීවොත් එය පිළිතුරු නොදී සිටිමට පුළුවන. මෙයින් පෙනී යන්නේ අපේ දැනුම පිළිබඳ අපේ විශ්වාසය බොහෝ විට ගොඩ නැගී ඇත්තේ තවත් කෙනෙක් එය දන්නේය යන නියතතාව මත බවයි.

Image result for writing with a ball pen

බොහෝ විට මෙය ප‍්‍රමාණවත්ය; බෝල් පොයින්ට් පෑන් පවතින් අතර ඒවායින් ලියන්නට පුළුවන. එපමණයි! ‘‘එක් තනි පුද්ගලයෙකු වශයෙන් ගතහොත් අප දන්නා දෙයක් නොමැති තරම් ය.’’ යයි රෝඞ් දූපත් හි ප්‍රොවිඩන්ස්වල බ‍්‍රවුන් විශ්ව විද්‍යාලයේ ස්ටීවන් ස්ලෝමන් කියයි. ‘ඥානයේ මායාව : අප කිසිවිටකත් තනිව නොසිතන්නේ ඇයි?’ (The Knowledge Illusion: Why we never think alone)  යන ග්‍රන්ථයේ  සම කතුවරයා වන්නේ ද ඔහුය. “කොහොම වුණත් තනි පුද්ගලයෙකු වශයෙන් ගත්තත් අපි බොහෝ දෙනෙකු සාර්ථකව අපේ කටයුතු කරගෙන යන අතර සමාජයක් වශයෙන් අපි අදහා ගත නොහැකි දේවල් නිර්මාණය කරන්නෙමු. අපි මිනිසෙකු සඳ මතට යැව්වෙමු. මේ සියල්ල කළ හැක්කේ කෙලෙසද? අන් අයගේ ඥානයෙහි පිහිටෙනි” යයි  ස්ලෝමන් තව දුරටත් කියයි.

ඉතින් ඇත්තටම කරුණු කාරණා ගැන දන්නා අය අප විසින් කොතරම් දුරට විශ්වාස කරනු ලැබිය යුතු ද? ‘‘ඒකෙන් කියවෙන්නේ නැහැ අප විශේෂඥයන් කියන දේ අවිචාරවත්ව පිළිගත යුතුයි කියා’’ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ තිමති විලියම්සින් කියා සිටියි. එක්තරා මට්ටමක සංශයවාදී බවක් (skepticism) වැඩදායකය.

එසේ වුවද, විශේෂඥයන් ගැන අවිශ්වාස කිරීම අපේ ආකල්පය, අපේ මූලික උපාය වශයෙන් යොදා ගැනීමට  පටන් ගතහොත්  ගැටළු මතුවිය හැකිය. දර්ශනවාදයේ දී නියම සංශයවාදියා සෑම දෙයක්ම ප‍්‍රශ්නයට ලක් කරයි. එහෙයින් ඥානය ගොඩ නැගීමට පාදක කරගත යුතු  වෙතත් කිසිම දෙයක් ඉතිරි වන්නේ නැත. සමාජයක් වශයෙන් අප යා යුත්තේ අන්න ඒ දිශාවට නොවේ. විශේෂඥ ඥානය ගුණයෙන් මෙන්ම විශ්වාසවන්තභාවයෙන්  වෙනස් වන්නේය යන්න ද අමතක කරන්නේ නැති අතරම (පහත රතු අකුරෙන් දක්වා ඇති  විචක්ෂණ අසත්‍යතාවන් කොටස බලන්න).

අප මෙන්න මේ කාරණාව පිළිගත යුතු යයි හාවඞ් විශ්ව විද්‍යාලයේ කැතරින් එල්ජින් කියයි : ‘‘අපට දතක් ගලවා ගැනීමට අවශ්‍ය වූ විට දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් තිබෙන අයෙකු වෙත යාමේ දී අපට සහතික කරගත හැක්කේ දන්ත වෛද්‍යවරයෙකුගේ සේවය අපට ලැබෙන බව පමණකි; නැතිව, අවශ්‍යයෙන්ම යහපත් දන්ත වෛද්‍යවරයෙකුගේ සේවය ලැබෙනවාය යන්න නොවේ.

ඉතින් වැඩදායී සංශයවාදය සහ විනාශකාරී නරුමවාදය අතර ඉම සලකුණු කරන සියුම් රේඛාව අප පියමං කරන්නේ කෙලෙස ද? මුලින්ම විචාරාත්මකව සිතමින් අප විශ්වාසය තබන මූලයන් හෙවත් ප‍්‍රභවයන්ගේ සුදුසුකම්, අතීත වාර්තා සහ තිබිය හැකි නැඹුරුතා (පූර්ව විනිශ්චවයන් bias)  ඇගයීමට ලක් කරන්න. ‘‘යමෙක් මට මේ දේ කියනවා නම් එය සත්‍යයක් වීමට අමතරව මා හට ඒ දෙය ඒත්තු ගැන්වීමට ඔහුට ඇති වුවමනාව මොකක් විය හැකි ද? ඉතින්  ඕවා තමයි ප‍්‍රායෝගික ප‍්‍රශ්න’’ යයි වෑන් ඉන්වැගන් කියා සිටියි.

ඔබ ගැනමත් ඔබගෙන්ම ඒ ප‍්‍රශ්න අසන්න: “ඔබ දන්නේ කොහොම ද? , ඔවුන් දන්නේ කොහොම ද? යනාදි ප‍්‍රශ්න නිරතුරුවම නගන්න”. එල්ජින් කියයි. නව දැනුම කෙරෙහි ඔබේ ප‍්‍රතිචාරය මුල් බැස ඇත්තේ විශ්වාසය තැබිය හැකි යමක්  මත ද නැතිනම් අතාර්කික  සිතුවිලි (wishful thinking හේතු සාධකවලට වඩා තම ආශාව මත ගන්නා තිරණ) වැනි වෙනත් යමක් මත දැයි විමසීමට ඔබ ස්වයංව පුහුණු වන්න.‘‘ගෝලීය උණුසුම්වීම වගේ දෙයක් ගැන හිතන්නකෝ ’’ එල්ජින් ඇයද සිටියි,  ‘‘ඒ සම්බන්ධයෙන් යමක් කිරීමට නම් එක්තරා ප‍්‍රමාණයක තරමක් අසීරු කාර්යයක් ඉටු කරන්න වෙනවා: ඒ හන්දා ඇත්තටම එය විශ්වාසයට නොගෙන ඉන්න ඔබ සිතන අතර  ඔබට සිදු කිරීමට ඇති කැප කිරීම් ඉටු කිරීමට පටන් ගන්නවා.’’

අවසාන වශයෙන් සඳහන් කළොත්, අන් අයට  ලබා ගැනීම ඕනෑ කමින් වළකා ඇති ඥානයට ඔබට විශේෂ හිමිකමක් ඇත යන්න හෝ අන් සියලූ දෙනාම බොරු වපුරද්දී ඔබ පමණක් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සොල්දාදුවෙකුය යන ආකාර්ෂණීය විශ්වාසය පිළිකෙව් කරන්න. මිනිසුන් පොදුවේ ගත්කළ, රහස් රැකීමෙහි දස්කම්පාන්නෝ නොවෙති. “ඔබ සංශයවාදී නම් ඔබව කුමන්ත‍්‍රණ න්‍යායන් මගින් ඒත්තු ගැන්විය නොහැකිය’’ වෑන් ඉන්වැගන් කියා සිටියි.  එත් ඉතින් එකී  විශේෂඥයන් එය කියා සිටිනවා නේ, නොකියා ඉන්නේ නැහැනේ?

Image result for Felicitous Falsehoods

විචක්ෂණ අසත්‍යතාවන් (Felicitous Falsehoods)

සත්‍ය දැන ගැනීම පිණිස ඇතැම් අවස්ථාවල අපට බොරුකීමට සිදුවේ — නිදසුනක් ලෙස දක්වතොත් බොහෝ විට සංකීර්ණමය ලෝකයක් සරල කර දැක්වෙන  විද්‍යාත්මක  ආකෘති හෙවත් මොඩල තැනීම දැක්විය හැකිය: වායුවක පරිමාව (volume),  පීඩනය (pressure)   සහ උෂ්ණත්වය සම්බන්ධවන්නේ  කෙසේ දැයි පරිපුර්ණ වායු නියමය(ideal gas law) අපට කියා දෙයි.  එහෙත් එහිදී උපකල්පනය කෙරෙන්නේ වායුවේ ඒ ඒ අංශු, එකිනෙක ඔස්සේ  නම්‍යතාවකින් පොළා පනින පරිපුර්ණ   ගෝලයන් ලෙස හැසිරෙන්නේ යයි යනුවෙනි. එහෙත් ඇත්තටම එය එසේ නොවේ. “වායු පරිමාවක් තුළ සැබෑ වායු අංශුවල සැබෑ හැඩයන් සැලකිල්ලට ගන්නා විට, ඔව් හැඩය පමණක් සැලකිල්ලට ගත් විට මෙම වායුව තුළ කුමක් සිදුවේ දැයි කියා සිටිමේ ගැටළු කොපමණ දැයි ගණන් බැලිය නොහැකියි” යනුවෙන්  හාවඞ් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදියෙකු වන කැතරීන් එල්ජින් කියා සිටියි. ඉතින් මේ විචක්ෂණ අසත්‍යතාවන් අපට ගැඹුරු සත්‍යයන් ගවේෂණයට උපකාරී වේ.  එසේ වන්නේ එම අසත්‍යතාවන් ඇත්තේ කොයිබද යන්න අප අමතක නොකරන තාක්ය;  අප සාදන ව්‍යුහයන් දරා සිටින කොටස බවට පත්වීමට ඉඩ නොතබන තාක්ය.

නිදසුනක් සලකා බලමු. ගැනුම්කරුවන්(මිළදී ගන්නන්) මෙන්ම අළෙවිකරන්නන් සතුව සම්පූර්ණ තොරතුරු ඇතැයි ද ඔවුන් තර්කානුකූල තේරීම් සිදුකරතැයි ද උපකල්පනය කරමින් ආර්ථික විද්‍යාඥයන් විසින් සම්ප‍්‍රදයානුකූලව ස්ථාවර වෙළෙඳපොළ පිළිබඳ ආකෘති නිර්මාණය කරනු ලබයි. එහෙත් බොහෝ විට සිදුවන්නේ ඔවුන් නිරතුරුව පුදුමයට පත් කරමින් මනුෂ්‍යයන්ගේ  අතාර්කික තීරණ ගැනීම තුළින් වඩාත් අවුල් සහගත යථාර්ථයක් නිර්මාණය වීමයි. ඉතින් හුදෙක් විද්‍යාවේ යහපත උදෙසා (එහෙත් ඥානාන්විතව ද) එල්ගින් මෙසේ කියා සිටියි. ‘‘සැබෑ ප‍්‍රශ්නය ඇත්තේ එය කිරීම සම්බන්ධව නොව කරන්නේ කුමක් ද යන්න ගැන දැනුවත්ව නොසිටීම සම්බන්ධවයි.’’  

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි HOW CAN I KNOW THE TRUTH? යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: