විදු නැන නුවණ – Science Literacy for All

සමස්ථිතිය – ස්ථායී සමතුලිතතාවක් පවත්වාගෙන යාම

ස්ථායිතාව බිඳ වැටුනොත් කුමක් වෙයිද? ( ඉහත චිත්‍රයෙන් දැක්වෙන)  ආරුක්කුවේ එක ගලක් ඉවත් කලොත් ආරුක්කුවම කඩා හැලෙයි. අපි මිනිස් සිරුර ගතහොත් එයටත් මෙය සාධාරණයි. ශරීරයේ සියලුම පද්ධතීන්, ස්ථාවරභාවය හෙවත් සමස්ථිතිය රැක ගැනීම පිණිස ක්‍රියා කරයි. සිරුරේ එක් පද්ධතියක් හෝ අවුල් වුවහොත් සිරුරට එහි බලපෑම් ඇති විය හැකිය. ඉතින් සමස්ථිතිය කියන්නේ මොකක්ද?

Image result for Homeostasis

සමස්ථිතිය(Homeostasis)

මනාව ක්‍රියාත්මකව පවතින යන්ත්‍රයක් සේ මිනිස් සිරුරේ අවයව සියල්ලම සහ අවයව පද්ධති එකට එක්ව ක්‍රියා කරයි. මෙයට හේතුව වන්නේ ඒවා (සිරුරේ) ස්නායු පද්ධතිය සහ අන්තෝසර්ග හෙවත් ග්‍රන්ථි(endocrine systems) පද්ධතිය මගින් සූක්ෂමව පාලනය වීමයි.  ස්නායු පද්ධතිය ගත්කල එය සිරුරේ සෑම ක්‍රියාකාරීත්වයක් ම පාහේ පාලනය කරන අතර මේ ක්‍රියාකාරකම් නියාමනය කරන හෝමෝන අන්තෝසර්ග පද්ධතිය මගින් ස්‍රාවය කෙරේ.  එකට එක්ව ක්‍රියා කිරීමෙන් අවයව පද්ධති, සිරුරේ සෛලවලට ඕනෑ කරන සියල්ල සපයන අතර  අපද්‍රව්‍ය ඉවත් කිරීමද සිදු කරයි. එමෙන්ම ඒවා ජීවන ක්‍රියාදාමයන්ට සහය වනු වස් උෂ්ණත්වය, අම්ලතාව (pH) සහ  අනෙකුත් තත්ත්වයන් හරියාකාර මට්ටම්වලින් පවත්වාගෙන යයි. සමස්ථිතිය පවත්වාගෙන යාම ස්ථායි අභ්‍යන්තර පද්ධතියක් පවත්වාගෙන සඳහා අවයව පද්ධති ක්‍රියාකරන ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ සමස්ථිතිය ලෙසිනි.ස්ථායි  අභ්‍යන්තර පරිසරයක් පවත්වාගෙන යාම පිණිස නිරතුරු සීරුමාරු කිරීම්, සැකසුම් ඕනෑ වේ. සමස්ථිතිය පවත්වා ගෙන යාම පිණිස මානව අවයව පද්ධතිවලට උපකාරී වන බොහෝ ක්‍රම අතුරින් 3ක් පමණක් මතු දැක්වේ.

ශ්වසන පද්ධතිය :

රුධිරයෙහි කාබන් ඩයොක්සයිඩ් (CO2)  ඉහළ සාන්ද්‍රනයක් තිබීම, වේගයෙන් හුස්ම ගැනීමට මුල පුරයි. පෙනහලු වඩාත් බහුලව වාතය පිට කරන්නේ ශරීරයෙන් වඩාත් ඉක්මණින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කිරීමට මග පාදමිනි.

බහිස්‍රාවව පද්ධතිය:

රුධිරයෙහි අඩු මට්ටමක ජලය පැවතීම වකුගඩු මඟින් ජලය රඳවාගැනීමට මුල පුරයි. එවිට වකුගඩු මගින් නිපද වන්නේ වඩාත් සාන්ද්‍රිත මුත්‍රා ය. එම හේතුවෙන් සිරුරෙහි ජලය ඉවත් වන්නේ අඩු වශයෙනි.

අන්තෝසර්ග පද්ධතිය:

රුධිරයෙහි අධික සීනි සාන්ද්‍රණයක් පැවතීම අග්න්‍යාශය(pancreas) හෙවත් ඇලදිව  යනුවෙන් හඳුන්වනු ලබන අන්තෝසර්ග ග්‍රන්ථියක් මගින් ඉන්සියුලින් ස්‍රාවය වීමට මුල පුරයි. ඉන්සියුලින් යනු රුධිරයේ සෛල වලට සීනි අවශෝෂණය කරගැනීමට උපකාරී වන හෝමෝනයකි.

Image result for Homeostasis

අපේ ශරීරය සමස්ථිතිය පවත්වා ගෙන යන්නේ කෙසේද?

අපගේ (ශරීරයේ)අභ්‍යන්තර පරිසරය නියාමනය කිරීම මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ ඍණ ප්‍රතිපෝෂණය(negative feedback) මගිනි. ඍණ ප්‍රතිපෝෂණය  යනු  විහිත (කලින් සැකසූ) වටිනාකමක් ආසන්නයේ විචල්‍යයන් තබන උත්තේජනයකට (stimulus) දක්වන ප්‍රතිචාරයකි. එහි දී අවශ්‍යයෙන්ම පද්ධතියක් විහිත වටිනාකමකින්  වෙනස් වන විට ‘වසා දැමීම’ හෝ ‘ආරම්භ කිරීම’ සිදු කෙරේ. නිදසුනක් ලෙස අපේ ශරීර අභ්‍යන්තරයෙහි උෂ්ණත්ව පාලකයක් හෙවත් තාප ස්ථිතිකයක් ඇත.

ශීතාධික රටවල ශීත ඍතුවේ දී කාමරය තුළ උෂ්ණත්වයට සංවේදී වෙමින් තාපකය ක්‍රියා කරවමින් හෝ වසා දැමීමෙන් උෂ්ණත්ව පාලකය(thermostat) ප්‍රතිචාර දක්වයි. අපේ සිරුර ද ක්‍රියා කරන්නේ මේ ආකාරයට ය. ශරීරයේ උෂ්ණත්වය ඉහළ නගිනවිට සමෙහි හා මොළයෙහි සංවේදක, උෂ්ණත්ව විපර්යාස සංජානනය කර ගනියි. එම උෂ්ණත්ව විපර්යාසය මොලයෙන් ලැබෙන විධානයකට මුල පුරයි. මේ විධානය හේතුවෙන් ප්‍රතිචාර ගණනාවක් හටගත හැකිය. ඔබට දැනෙන උෂ්ණත්වය උවමනාවට වඩා අධික නම් දහදිය වගුරුවන අතර සම මතුපිටට ආසන්න  රුධිර නාල විස්තාරණය වේ.  මේ ප්‍රතිචාරය ශරීර උෂ්ණත්වය අඩු කිරීමට උපකාරී වේ.

මේ ආකාරයට, රුධිරයේ ග්ලුකෝස් මට්ටම් සම්බන්ධ  කරමින්ද නිදසුනක් දැක්විය හැකිය. රුධිරයෙහි ග්ලූකෝස් (සීනි) මට්ටම උවමනාවට වඩා වැඩි වූ විට අග්න්‍යාශයේ ඉන්සියුලින් ශ්‍රාවය කරයි. එසේ කරන්නේ ග්ලෝකෝස් අවශෝෂණය උත්තේජනය කිරීම සහ ග්ලුකෝස් ග්ලයිකොජෙන්(glycogen)  බවට හරවන්නයි. ග්ලයිකොජන් තැන්පත් වෙන්නේ අක්මාවෙහි ය. රුධිර ග්ලූකෝස් මට්ටම අඩු වෙද්දී ඉන්සියුලින් නිපදවෙන්නේ අඩුවෙනි. ග්ලූකෝස් මට්ටම අතිශය පහළ ගිය විය ග්ලුකගොන් (glucagon) නමින් තවත් හෝමෝනයක්  නිපදවෙන අතර එය ග්ලයිකොජෙන් යළි ග්ලූකෝස් බවට පරිවර්තනය කිරීමට අක්මාවට මග පාදයි.

ප්‍රතිපෝෂණ නියාමනය

ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාමක් (උත්තේජනය) ඇති බව දැනගත් විට (ප්‍රතිග්‍රාහකය) මොළයෙහි සමස්ථිතිකය (ප්‍රතිචාරය) පවත්වාගෙන යාමට සංඥාවක් මුල්වෙයි. නැවත ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට ප්‍රතිචාරයක් අවසන් කිරීම පිණිස ඍණ ප්‍රතිපෝෂණය හේතුවෙයි.  මෙකී උත්තේජක-ප්‍රතිග්‍රාහක සංඥා ප්‍රතිචාරය ශරීරය පුරා සමස්ථිතිය පවත්වා ගෙන යාමට උපයෝගී කර ගැනේ.

ධන ප්‍රතිපෝෂණය

ශරීරයේ ඇතැම් ක්‍රියා දාමයන් නියාමනය වන්නේ ධන ප්‍රතිපෝෂණයෙනි. ධන ප්‍රතිපෝෂණය යනු යම් සිද්ධියකට දක්වන ප්‍රතිචාරය, එම සිද්ධිය තවදුරටත් පැවතීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි කරන අවස්ථාවයි. මෙයට උදාහරණයක් වශයෙන් දැක්විය හැක්කේ කිරිදෙන මව්වරුන්ගේ කිරි නිපදවීමයි. ළදරුවා මවගේ කිරි උරා බොන විට ප්‍රොලැක්ටින් හෝමෝනය(hormone prolactin) නම් වූ රසායනික සංඥාව මුදාහැරේ. දරුවා වැඩි  වැඩියෙන් කිරි උරන විට වැඩි වැඩියෙන් ප්‍රොලැක්ටිකන් මුදාහැරෙන අතර,  එය කිරි තවතවත්  නිපදවීමට හේතුවේ. ධනාත්මක ප්‍රතිපෝෂණයට තවත් උදාහරණයක් ලෙස දරු ප්‍රසූතියේ දී සිදුවන සංකෝචන දැක්විය හැකිය. ගර්භාෂය සංකෝචනය හෙවත් හැකිළීම් මගින් දරුවා ප්‍රසූත මාර්ගයට තල්ලු කරන විට තවත් අතිරේක සංකෝචන ඇතිවේ.

සමස්ථිතිය ඇනහිටීම

මනුෂ්‍යයන්ගේ ශරීරය තුළ ස්ථාවර තත්ත්වයන් පවත්වාගෙන යාම පිණිස ඉහත කී අන්දමේ සමස්ථිතික යාන්ත්‍රණ ගණනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් ඇතැම් විට සමහර අවස්ථාවල මේ යාන්ත්‍රණ ඇන හිටී. එසේ ඇණ හිටි විට සෛලවලට අවැසි සියල්ල ඒවාට නොලැබී යාමට හැකිය. නැතහොත් ශරීරය තුළ විෂ අපද්‍රව්‍ය ඒකරාශී විය හැකිය. ඉතින් සමස්ථිතිය යළි ප්‍රකෘතිමත් නොකළහොත් ඉන් ඇතිවන අසමතුලිතතාව රෝගාබාධ වලට හෝ මරණයට පවා තුඩු දිය හැකි ය.

සාරාංශ වශයෙන් ගතහොත්

  • ප්‍රතිපෝෂණ පුඩු හෙවත් ලූප ස්වරූපයෙන් ගත් විට සමස්ථිතිය යනු මනුෂ්‍ය ශරීරයේ උෂ්ණත්වය, ශරීරයේ රසායනික මට්ටම් ආදියෙහි සංස්ථිතිය (consistency) පවත්වාගෙන යන ආකාරයයි. එය වෙනස්වන සුළු, නොඇණහිටින සුළු ක්‍රියාදාමයකි.
  • ජීවියකුගේ සමස්ථිතිය පවත්වා ගෙන යාම සඳහා ශරීරයේ සියලුම අවයව පද්ධති එක්ව ක්‍රියා කරයි.
  • ධනාත්මක ප්‍රතිපෝෂණ පුඩු දුර්ලභය. ඒවා විපර්යාසයන් අඛණ්ඩව වර්ධනය කරන අතර ඍණ ප්‍රතිපෝෂණණ පුඩු විපර්යාසයන් ආපසු හරවයි.
  • සමස්ථිතිය ඇණහිටියොත් රෝගාබාධ හෝ මරණය පවා ඇතිවිය හැකිය.

 

CK-12 Foundation 2017(Biology) හි පළවූ Homeostasis  නම් කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: