මෙයට වර්ෂ මිලියන 60 කට පෙර සිදු වූ උල්කාෂ්ම ඝට්ටනයක සළකණු ස්කොට්ලන්තයේ දුර ඈත දූපතක දී හමුවේ. ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක් හි භූ විද්‍යාඥයන් කණ්ඩායමක් ස්කොට්ලන්තයේ දුර බැහැර ප්‍රදේශයක පිහිටි ස්කයි දුපතෙහි යමහල් පාෂාණ සෙවීමෙහි නිරතව සිටිය දී මින් පෙර කිසිදා පෘථිවියේ හමු වී නැති ඉතා දුර්ලභ ඛනිජ වගයක් සොයා ගැනීමට හැකි වී ඇතැයි GeoScienceWorld නම් සඟරාවේ දෙසැම්බර් 12 දා පළ වූ අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.
අධ්‍යයනයේ යෙදී සිටිය දී පර්යේෂක කණ්ඩායම පූර්ණ අවධානය යොමු කළේ වසර මිලියන 60 කට පෙර තැන්පත් වූ ලාවා දෝරයක(lava flow) පාමුල මීටරයක් (අඩි 3.3 ක) ඝනකම ස්තරයක් වෙතය. ඉලෙක්ට්‍රෝන ක්ෂුද්‍ර සෙවුම් උපකරණයක්(electron microprobe) යොදා ගනිමින් සිදු කළ ගවේෂණයක දී පර්යේෂකයන්ට අභ්‍යවකාශයෙන් ආ දුර්ලබ ඛනිජ, ප්‍රදේශයේ පාෂාණවල අඩංගුව පවතින බව සොයා ගැනීමට සමත් වී ඇත. ඉලෙක්ට්‍රෝන ක්ෂුද්‍ර සෙවුම් උපකරණය සාම්පල වෙත ඉලෙක්ට්‍රෝන එල්ල කරන අතර ඊට ප්‍රතිචාර වශයෙන් සාම්පල විමෝචනය කරන X කිරණ විශ්ලේෂණය කරයි. වැනේඩියම්(vanadium) බහුල එමෙන්ම නියෝබියම්(niobium) බහුල ඔස්බෝනයිට්(osbornite) නම් මෙම දුර්ලභ ඛනිජය මීට පෙර හමු වී ඇත්තේ එකම එක අවස්ථාවක දීය. ඒ අභ්‍යවකාශයෙනි. ඒවා සොයා ගනු ලැබුවේ නාසා ආයතනයේ තරු දූවිලි ධූමකේතු සාම්පල ආපසු ලබා ගැනීමේ මෙහෙයුම(Stardust Comet Sample Return Mission) මගින් comet 81P/Wild 2 නම් ධූම කේතුවෙන් එක්කාසු කර ගත් දූවිලි සාම්පල අතරෙහිදීය. ‘‘අපි ඒක සොයා ගත්තාහම අපි හරියට පුදුමයට පත් වුණා. තරමක තිගැස්මකුත් ඇති වුණා. මොකද අපි ඒක බලාපොරොත්තු දෙයක් නොවෙයිනේ’’ අධ්‍යයනයේ සම කතෘ ඇන්ඩි බියර්ඞ් ප්‍රකාශ කරයි. හෙතෙම ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බර්ක්බෙක්හි පෘථිවි සහ ග්රහවිද්යා දෙපාර්තමේන්තුවේ කතිකාචාර්යවරයෙකි.
ඔස්බෝනයිට් හමු වී ඇත්තේ ද්‍රව වී ගිය(උණු වී ගිය) ස්වරූපයෙන් නොවේ. ඉන් හැඟවෙන්නේ එය උල්කාෂ්මයේ මුල් කොටසක් යන්නය. උල්කාෂ්ම ඝට්ටනයක් හා සම්බන්ධ අනෙකුත් ඛනිජ ද මෙහිදී සොයා ගත් බව පර්යේෂකයෝ කියා සිටිති. ඇත්තටම එම ස්ථානයෙන් කිලෝමීටර 7 ක් පමණ දුර පිහිටි දෙවැනි ස්ථානයකින් මෙම ඛනිජ ස්වරූපම සොයා ගැනීමට හැකිව ඇත. පර්යේෂකයන් නිකුත් කළ ප්රකාශනයට අනුව මෙම හිටිබිම යමහල් මුවින් විමෝචනය වූ ද්‍රව්‍යවලින් සැදුම් ලත් මීටර 2 ක් ඝනකම ස්තරයකි.
මෙම සොයා ගැනීම අදාල කලාපය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. ආදිකාලීන උල්කාෂ්මය කඩා වැටුණු මෙම කලාපය බි්රතාන්ය පුරා ආග්නේය පාෂාණ පළාත(British Paleogene Igneous Province) ලෙස ද දැක්වේ. බාගවිට උල්කාෂ්මය කඩා වැටීමත් සමග යමහල් ලාවා ගලා යාමට මග පෑදෙන්නට ඇතැයි ද සිතිය හැකි යයි පර්යේෂකයෝ කියා සිටිති. මේ සිද්ධි දෙකම එකම කාලයක සිදුවිණැයි සැලකේ. මෙකී අසාමාන්‍ය ඛනිජ සොයා ගනු ලැබූ ප්‍රදේශය තද බෑවුම් හා රළු පරළු සහිත, හැල ගතියෙන් යුක්තය. එම ප්‍රදේශයෙන් සාම්පල එක්කාසු කිරීමෙන් මීට පෙර පර්යේෂකයන් වළක්වනු ලැබුවේ මේ දුෂ්කරතා විය හැකිය. ‘‘අපව කලවා දක්වා එරෙනවා. මට පැහැදිලිවම මතක තියෙනවා මම ඇන්ඩි බියර්ඞ්ට කියනවා ‘මහන්සියේ ප්‍රතිඵල ලැබුණොත් තමා හොඳ’ කියලා’’ අධ්‍යයනයේ ප්‍රධාන කතෘ සයිමන් ඩ්‍රේක් කියා සිටියි. හෙතෙම, භූ විද්‍යා සහායක කතිකාචාර්යවරයෙකි. ‘‘ඇත්තටම ඒ මහන්සිය අපතේ ගියේ නෑ’’
Live Scienceහි පල වූ 60-Million-Year-Old Meteor Strike Uncovered on Remote Isle of Skye නම් මුල් ලිපිය ඇසුරෙනි.