මහා සංකල්ප ගැන සරලව හා කෙටියෙන් දැක්වෙන තතු ලිපි පෙළහි තවත් ලිපියක්
ස්වර්ණමය රීතිය කුමක්ද යන්න ‘ඔබට (අන් අය විසින් ) සලකනු ලබිමට කැමති ආකාරයට, ඔබ ද සලකන්න’ යන කීමෙහි සංක්ෂිප්ත කර දක්වා ඇත. (‘අපට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ’ යනුවෙන් මෙයට සමීප කියමනක් කතා ව්‍යවහාරයේ ද ඇත). යේසුස් වහන්සේ මෙය කදිමට ප්‍රකාශ කර ඇති අන්දම බයිබලයේ මෙසේ දැක්වේ: ‘අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තාහු ද ඔබත් ඔවුනට ඒ දේ ම කරන්න’(And as ye would that men should do to you, do ye also to them likewise) ලූක් 6:31.
මෙකි ‘ස්වර්ණමය රීතිය’ වෙනත් බොහෝ ආගමික සහ සදාචාරාත්මක සම්ප්රදායන්හී අචාර ධර්මි චර්යාවන් ගේ මුලික පදනම බවට ද පත්ව ඇත. නිදසුනක් දක්වන්නේ නම්, යේසුස් වහන්සේ ට ශත වර්ෂ ගණනාවක් කලින් ජිවත් වූ කන්ෆියුසිස් තුමා ජිවිත කාලය පුරාවට හැසිරිය යුතු අන්දම පිලිබඳ නියාමන පිළිවෙත ලෙස දැක්වුයේ ඉහත බයිබලයේ එන කියමනෙහිම සෘණ ආකාරයයි:’යමෙකු විසින් ඔබට යම් දෙය කරණු ලැබීමට ඔබ අකමැති ද ඒ දෙය ඔබ විසින් අනුන්ට කරනු ලැබීමෙන් වලකින්න’.
අනෙකු සිතන අන්දමට සිතීමට අපට ඇති හැකියාව — මෙය ‘තද්වේදනය’ හෙවත් ‘තදනුභුති’ (empathy) යන මානව ගුණය ලෙස දැක්වේ — සහ එම හැකියාව අනුව ක්‍රියා කිරීම සමාජ සම්බන්ධතාවලට මුලිකවේ. ස්වර්ණමය රීතිය නොමැතිව සමාජය යන දෙයක් පැවතිමට නොහැක. එමෙන්ම, සැමට යුක්තිය හා සාධාරණය යනුවෙන් එහි ආවේනික මුලධර්ම සමග ස්වර්ණමය රීතිය බොහොමයක් ම නීති පද්ධතිවල හරය වශයෙන් පවතී.
සමහරු නොමනා, විහිලු සහගත ප්‍රතිවිරුද්ධ උදාහරණ හුවා දක්වමින් ස්වර්ණමය රීතිය සරදමට ලක්කිරීමට උත්සාහැ කරති. ස්වපීඩාකාමී අයෙකු(masochist) තමන් ප්‍රිය කරන ඒ පීඩාව වෙනත් අයෙකුට ලබා දෙනු ඇතැයි අප අපේක්ෂා කරයි ද? එහෙත් මෙවන් මත ඉදිරිපත් කරන්නන් ප්‍රධාන තර්කයෙන් පිටපනී: ස්වර්ණමය රීතිය කිසියම් සුවිශේෂි සදාචාරාත්මක පිළිවෙතක් අනුදකින්නේ නැත; එමෙන්ම එය අනෙකුත් හැසිරීමේ මුලධර්මවලින් ස්වාධින වූ සදාචාරාත්මක තේරීමක් සඳහා වූ පදනමක් සපයන්නේ ද නැත. එය හුදෙක් ඉල්ලා සිටින්නේ අනුකුලතාවයි(consistency).
විශ්ව නිතියක් ලෙස සැලකීමට තරම් ප්‍රමනාවත් දැඩිගතිය ස්වර්ණමය රීතිය සතුව නැතැයි දහඅටවෙනි සියවසේ ජර්මානු දාර්ශනිකයෙකු වන ඉමානුවෙල් කාන්ට් තරයේ කියා සිටියේය. ඒ වෙනුවට, ඔහු සුත්‍ර ගත කෙළේ ‘නිරුපාධික විධිය’(categorical imperative) යන්නයි. ඔහු එය දැක්වුයේ මෙලෙසය: ‘විශ්ව නිතියක් බවට පත්කිරීමට ද ඔබට පැතිය හැකි ආප්තයක් අනුව පමණක් ක්‍රියා කරන්න’. (නිදසුනක් දක්වන්නේ නම්) මේ අනුව, මගේ ම සුබසිද්ධිය පතා මා බොරුවක් පවසන්නේ නම් හෝ මා ගෙවිය යුතු බස් ගාස්තුව නොගෙවා (වංක ලෙස) සිටියි නම් හෝ, මා මෙන් අන් සියලු දෙනාත් ක්‍රියා කලොත් කුමන ඵලවිපාක අත්වෙදෑයි මා මගෙන්ම ඇසිය යුතුය. එවිට පමණකි මා හට පටු ආත්ම ලාභය සහ සදාචාරාත්මක අවිදුර දෘෂ්ටිකත්වය(දුර නොදකිම) හෙවත් මයෝපියාව(myopia) මග හරවා ගත හැක්කේ.