සාගරයෙහි නැගෙන රැලි යට අපේ පරිකල්පනය අභිභවා යන සත්තු ජීවත් වෙති. එහෙත් ඔවුන් අප බොහෝවිට දැකගන්නට ලැබෙන්නේ පණ පිටීන් නොව වාර්තා චිත්‍රපටවලය. එහෙත්, ඇත්ත වශයෙන්ම සාගරයෙහි කොපමණ නම් ජීව විශේෂ ජීවත් වන්නේ දැ යි අපි නො දනිමු. සිටිතැයි අනුමාන කෙරෙන එම සතුන් ගැන ඇස්තමේන්තු ඉදිරිපත් කෙරුනේ විද්‍යාත්මක වශයෙන් ඔවුන් නම් කළ ඉන්වෙන්ටරියක්(නාමාවලියක්) අප අතට පත්වන්නටත් පෙරය. ඇස්තමේන්තු පරාසය මිලියන 0.3 සිට අප පුදුමයට පත්කරවන මිලියන සීයක් දක්වා වේ.
සෑම වසරකම විවිධ නව සමුද්‍රීය සත්ව විශේෂ සොයා ගනු ලැබේ. එසේ වුවද සම්පූර්ණ වශයෙන් සාගරයෙහි කොපමණ විශේෂ ඇත් දැයි නිර්ණය කිරීම වඩාත් අසීරු ක්රියාදාමයකි. එහෙත්, දශකයක කාලයක් මුළුල්ලේ විද්‍යාඥයන් සිය ගණනකගේ සහයෝගීතාවයෙන් දැරූ ප්රයත්නයන්ට ස්තුතිවන්ත වන්නට කොපමණ සාගර විශේෂ නම් කර ඇද්දැයි දැන ගැනීම පිණිස අවශ්‍ය වන පදනම අඩු තරමීන් අපට දැන් ලැබී ඇත.
සාමුද්‍රික සත්ව විශේෂ ගැන ගෝලීය වශයෙන් ඇස්තමේන්තු කිරීම පිණිස විද්‍යාඥයන් විසින් විවිධ වූ ක්‍රම ගණනාවක්ම යොදාගනු ලැබ ඇත. එහෙත් ඒ සෑම ක්‍රමයකටම සීමාවන් ඇත. දත්ත හැමවිටමත් විශ්වාස තැබිය හැකි ඒවා නොවන අතර එක් එක් ක්‍රමය තුළ ඇති උපකල්පන ද පලුදු සහිත විය හැකිය. වඩාත් සුලභ ක්‍රමය වන්නේ, සුවිශේෂී සාම්පලයක හෝ කලාපයක ඇති, නොදන්නා විශේෂයන් අතරින් ඇස්තමේන්තු කළ කොටස අනුපාතිකව ඉහළ දැමීමයි. අනෙකුත් ක්‍රම විශ්වාසය තබා ඇත්තේ අපේ නාමාවලියේ වර්ගීකරණය මතය.
ඇතැම් ක්‍රම යොදාගෙන ඇත්තේ, විශේෂඥයන් සම්බන්දවී ක්‍රියාකරන සුවිශේෂී කණ්ඩායමෙහි කොපමණ නම් නාදුනන විශේෂ ඇත්ද යන්න පිලිබඳ එම විශේෂඥයන්ගේ මතයන් ය. ඒ, නව විශේෂ බවට පත්විය හැකි විභවයක් සහිත යයි ඔවුන් දැන සිටි, එහෙත් තවමත් විස්තර නොකෙරුණු විශේෂ පාදක කරගෙනය. 2012 සිට සිදුකෙරෙන අධ්‍යනයකට අනුව නව විශේෂයක් සොයා ගැනීම සහ එම විශේෂයේ විස්තර ඉදිරිපත් කිරීම අතර ගතවන සාමාන්‍ය කාලය වසර 21කි.
සෑම ක්‍රමයක්ම උපකල්පන සහ විශේෂිත දත්ත කට්ටල(datasets) මත විශ්වාසය තබන නියාවෙන් ඇස්තමේන්තුවල පුළුල් වෙනස්කම් ඇතිවී තිබේ. අතිවිශාල ඇස්තමේන්තු (මිලියන දහයකට වැඩි ඕනෑම ඇස්තමේන්තු) දැන් බොහෝ දෙනා අදහස් කරන්නේ විය නොහැක්කක් ලෙසයි. එහෙත් වර්තමානයේ සුලබ ඇස්තමේන්තු තවමත් සමුද්‍රික විශේෂ සංඛ්‍යාව මිලියන 0.3 සිට මිලියන දෙක අතර වෙනස් වෙයි.
සත්ව විශේෂ වාර්තා කරගැනීමේ නව ක්‍රමය:
මෙයින් අදහස් වෙන්නේ, අපේ ග්‍රහලෝකයේ ජීවත් වන සත්ව විශේෂ විස්තර කරමින්, නම් කරමින් සහ කැටලොග් කරමින් වසර 250 ගතවීමෙන් පසුව වුවද අප තවමත් ඉන්නේ සම්පූර්ණ සංගණනයකට බොහෝ ඈතින් බවය. එහෙත් සමුද්‍රික විශේෂ 242, 500 ගැන විස්තර කර ඇත බව අපි දනිමු. ඒ, ඔවුන්ගේ නම්, ලොව පුරා සිටින විද්‍යාඥයන් 300 දෙනෙකු පමණ එකතු වි, (එම සතුන්ගේ) නම් සමුද්‍ර විශේෂ ජගත් නාම ලේඛනය(World Register of Marine Species – WoRMS) තුළ කළමනාකරණය කරන හෙයිනි.
සෑම වසරකම විද්‍යාවට අලුතෙන් එක්වන සමුද්‍ර සත්ව විශේෂ දෙදහසක් පමණ මේ නාම ලේඛනයට ඇතුළත් කරනු ලැබේ. මෙයට, මත්ස්‍යයන් වැනි සාපේක්ෂව වඩා ප්‍රචලිත සත්ව කණ්ඩායම්වල විශේෂ ඇතුළත් වේ. ඉන් 1,500ක් පමණ පසුගිය දශකය තුල විස්තර කරනු ලැබ ඇත. එමෙන්ම සොයාගැනීමට නොහැකිව ඇති සතුන් බොහොමයක්, ගැඹුරු මුහුද වැනි අඩුවෙන්ම ගවේෂණයට ලක් වන වාසභූමිවල, නිවර්තන නොගැඹුරු මුහුදු වැනි වඩාත් විවිධත්වයකින් යුත් පරිසර වල, සහ (මොලුස්කා වර්ගය) මෘද්වංගියන් (molluscs) සහ කවචයන්(crustaceans) වැනි වඩාත් විවිධත්වයෙන් යුත් කණ්ඩායම් අතරේ ජීවත් වෙනවා විය හැකියි.
මොවුන්ගෙන් බොහෝමයක් මුහුදු පත්ලේ ජීවත්වන ‘සාර්ව’(මි.මී. එකේ සිට සෙ.මී දහය දක්වා) ප්‍රමාණයේ කවචයන්, මෘද්වංගියන් සහ පණුවන්ය. පසුගිය අවුරුදු දහය තුළ අලුතෙන් කවච විශේෂ හයදාහකට වැඩියෙන් සහ මෘද්වංගියන් අටදාහක් පමණද සොයාගනු ලැබීය. අලුතෙන් අම්පිපෝඩා(amphipod) කවච විශේෂ 28ක් සොයාගැනීමත් සමගම ඇන්ටාක්ටික ජලාශ වල ඉන්නා දැන හඳුනාගත් සංඛ්‍යාව දෙගුණයක් විය.
සාම්පලයන් එකතු කරගෙන එම විශේෂ ‘විද්‍යාවට අලුත් යනුවෙන්’ පළ කිරීම දක්වා වූ ක්‍රියාදාමය අසීරු, වේලාව වැය වන්නකි. නව විශේෂයේ සියලුම ගුණාංග ඒ විශේෂයට ඉතා සමීප සෙසු විශේෂයන්ගේ ගුණාංග හා සූක්ෂමව සසඳමින් ඉතා පරිස්සමෙන් සොයා බැලිය යුතු වේ. මේ සඳහා බොහෝ විට ඩී එන් ඒ විශ්ලේෂණ අවශ්‍ය වේ. මේවා පසුකාලීන පර්යේෂකයන්ට අතිරේක දත්ත හැටියට ගත හැකිය.
නව විශේෂය පිළිබඳව දත්ත පිළිගත් විද්‍යා ප්රකාශනයක පළවීමෙන් පසුව සමුද්‍ර විශේෂ ජගත් නාම ලේඛන(WoRMS) සංස්කාරක(එම විශේෂය අයත් කණ්ඩායම ගැන වගකිවයුතු) එම තොරතුරු ඇතුළු කොට ලොව පුරා භාවිතා කරන්නන්ට ලබාගැනීමට සලස්වයි. WoRMS ආරම්භ කිරීමෙන් පසුව 2007 දී ලැයිස්තුවේ ඇති විශේෂ සංඛ්‍යාව 120,000 සිට 242, 500 දක්වා ඉහළ ගොස් ඇත.
විශේෂයන් නම් කිරීම සංරක්ෂණයට උපකාරී වෙයි
ලොව මුහුදු සත්ව විශේෂ ගැන යාවත්කාලීන කෙරුණු ලැයිස්තුවක් පවත්වාගෙන යාම හුදු උනන්දුව තකා කරන්නක්ම නොව අපේ සාගරය ආරක්ෂා කිරීමේදී බෙහෙවින් වැදගත් වන්නකි. වාස භූමිය අහිමි වීම හා දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඇතිවන නෂ්ටප්රාප්තවීම් බිය දනවන මට්ටමකින් ඉදිරියට යයි. මුහුදු විශේෂ අතුරින් සියයට විස්සක් පමණ නෂ්ටප්‍රාප්තවීමේ අවධානමට මුහුණ පා ඇති අතර එය වැලැක්විය යුත්තේ ඇයිද සහ කෙලෙසද යන්න වටහා ගැනීම පිණිස, සිදුවන්නේ කුමක්දැයි කල් නොයවා ලේඛනගත කළ යුතුය.
සොයා ගැනීමට මෙවන් අමුතුම විශේෂ කොපමණ නම් ඇත් ද?
පරිසරය තුල මනුෂ්‍යයන් වන අප විශ්වාසය තබන අංග බොහෝමයකට සහය සලසන්නේ ජෛව විවිධත්වයයි. සොයාගනු ලබන සෑම විශේෂයක්ම එක්කෝ වෛද්‍ය විද්‍යාවේ හෝ කෘෂිකර්මාන්තයේ හෝ ප්‍රගතිය වෙනුවෙන් අවස්ථා සැපයිය හැකි ඒවා වේ. පෘථිවියේ සමුද්‍රයන්හි ජෛව විවිධත්වය පිළිබදව වෙන කවරදාකටත් වඩා සම්පූර්ණ ඇගයීමකට, සමීප කරවන්නට WoRMS සමත්ව ඇත. නිරතුරුව යාවත්කාලීන කෙරෙන, පහසුවෙන් ලබාගත හැකි, මිහිතලය මත සියලුම විශේෂයන්ගේ පරිපූර්ණ දත්ත සමුදායක ට එය මග පාදනු ඇත. එහෙත් අප නොදන්නා විශේෂයන් තව කොපමණ ඇද්දැයි විමතියෙන් පසුවෙමු.
The Conversation හි පළවූ How many undiscovered creatures are there in the ocean? නම් මුල් ලිපිය ඇසුරෙන් සකස් වුවකි.