පෘථිවි කබොල්ලෙහි කොටස් චලනය විම ආරම්භ වූයේ කොයි කාලයේ ද යන්න පිළිබඳ විවාදය මෑතක සොයා ගැනීම් හේතුවෙන් උණුසුම් වේ.
පෘථිවියේ මුල් අවධිය බොහෝ දුරට අයිස්ලන්තය මෙන් පෙනුමක් තිබුණා විය හැකිය. ඇසට පෙනෙන තෙක් මායිමේ පැතිර ඇති ලාවා බිම්, වලාකුළු පරයා උඩට නගින තීන්ත මෙන් කලූ කඳු බෑවුම් සහ භූමියේ මායිම් සළකණු කරන තනි කලූ වළල්ලක් මෙන් වැසුණු වෙරළවල් එහි කැපී පෙනෙන ලක්ෂණයි. කෙසේ වෙතත් කාලය ගෙවී යත්ම, පෘථිවියේ වර්ණ සැකසුම ක‍්‍රම ක‍්‍රමයෙන් එකී අඳුරු ගතියෙන් ඈත් වන්නට විය. අද මෙම වර්ණ සැකසුමට වඩාත් පැහැපත් පාෂාණ ද එක් වී ඇත. යෝස්මයිට් ජාතික උද්යානයේ අළු පැහැ කළුගල් ගෝලාර්ධය(Half Dome ) නිදසුන්ය. ලෝකය තුළ මෙම සංක‍්‍රමණය නැතිනම් පරිවර්තනය හට ගන්නේ කොයි කාලයේ ද යන්න ගැන විද්‍යාඥයන්ට ස්ථිර අදහසක් නැත. එහෙත් අළුත් සොයා ගැනීම මෙම කාලරාමුව පටු කිරීමට සමත් වෙයි.
මෑතක අධ්‍යයනයකින් හැඟවෙන්නේ මේ විස්ථාපනය වසර බිලියන 3.5 වන විටත් සිදුවී තිබුණ බවයි. මේ සොයා ගැනීම දැඩි විවාදයට ලක් වූවකි. එහෙත් පෘථිවිය බිහි වූ අවධියේ භූ කාරක තැටි ආරම්භක නින්දෙන් අවධි වී එහෙ මෙහෙ යන්නට පටන් ගත්තේ කොයි කාලයේ ද යන්න අවබෝධ කර ගැනීමට විද්‍යාඥයන්ට එය උපකාරී වනු ඇත. (භූ කාරක තැටි යනු ජිග්සෝ ප්‍රහේලිකාවක එකට පෑහෙන, පෘථිවි අභ්‍යන්තරයේ ගැඹුරට වෙන්නට ඇති කබොල්ලේ අතුරගුලු අතුළු (interlocking slabs) ය).
මේ අදහසට පාදක වන්නේ (දැන්) ළා පාට පාෂාණ ඇත්තටම තද පාට පාෂාණ ‘යළි ඉපදීමක්’ ලෙස සැලකීමයි. මෙයම, වෙනත් ආකාරයකට කෙටියෙන් දක්වතොත්, ඉන් අදහස් කෙරෙන්නේ තද පැහැ පාෂාණ පෘථිවියේ ගැඹුරට තල්ලූ වී ගියවිට ළා පැහැ පාෂාණ හට ගන්නේය යන්නයි. ගැඹුරට තල්ලූවීම, (භූ චලන) නිමජ්ජනය(subduction) යනුවෙන් හඳුන්වනු ලබන ක‍්‍රියාදාමයේ දී බාගවිට එක් භූ තැටියක් තවෙකක් යටට ලිස්සා යාමේ දී සිදුවනවා විය හැකියි. මෙයට වසර බිලියන ගණනකටත් පෙර ළා පැහැ පාෂාණ බහුලව තිබුණේය යන්න සළකන විට භූ කාරක තැටි සිය චලනයන් ඒ වන විට පටන් ගෙන තිබුණේ විය හැකි යයි අධ්‍යයනයට අදාළ පර්යේෂකයෝ නිගමනය කරති.
පෙල්සික (felsic)
මැපික (mafic)
ස්වට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාලයේ දැන් සේවය කරන භූ විද්‍යාඥ නිකලස් ජී. ග්‍රෙබර් සහ ඔහුගේ සගයන් එක්ව ලෝකය පුරා අවසාදිත ස්තර 78 ක් විශ්ලේෂණය කර බැලූහ. ඒ ළා පැහැ පාෂාණ හෙවත් පෙල්සික(felsic) වලට වඩා තද පාෂාණ හෙවත් මැපික (mafic) වලට ඇති අනුපාතය නිර්ණය කිරීම පිණිසයි. එහෙත් එය ළා පැහැ පාෂාණ කොපමණ ද තද පැහැ පාෂාණ කොපමණ ද යයි ගණන් කිරීම වැනි තරම් පහසු කාර්යයක් නොවීය. ඒ මන්ද කීවොත් පාෂාණ දෙවර්ගයම දැන් කුඩා අංශු සේ ක්ෂය වී ගොස් ඇති හෙයිනි. ඒ වෙනුවට ග්‍රෙබර් සහ කණ්ඩායම සැලකිල්ලට ගන්නේ ටයිටේනියම් ය. පාෂාණ වර්ග දෙකෙහිම මේ ලෝහක මූල ද්‍රව්‍යය පැවතුනේ වී නමුත් පාෂාණය මැපික සිට පෙල්සික දක්වා වෙනස් වන විට එහි සමාස්ථානිකවල අනුපාතය (එකම ප්‍රෝටෝන සංඛ්‍යාවක් සහිත එහෙත් නියුට්‍රෝන විවිධ සංඛ්‍යාවක් ඇති රසායනිකව අනන්‍ය පරමාණු සමාස්ථානිකව ලෙස දැක්වේ) විස්ථාපනය වේ. ග්‍රෙබර් අපේක්ෂා කළේ, කාලය අනුව වසර බිලියන 3.5 ක් පමණ වන(ඔහුගේ සාම්පලයේ) මුල්ම අවසාදිත වැඩි වශයෙන් මැපික් අංශු වලින් සමන්විත වෙතැයි යනුවෙනි. ඒත් ඔහු පුදුමයට පත් කරමින් (සාම්පලයේ) අඩක්ම අඩංගු වූයේ පෙල්සික් අංශුය. මේ සොයා ගැනීම ගැන ඔහුගේ කණ්ඩායම සැප්තැම්බර්- Science සඟරාවේ සඳහන් කර ඇත.
මෙයට වසර බිලියන 3.5 කට ප‍්‍රථම වන විටත්, මුල් අවධියේ පෘථිවිය වැසී තිබුණේ තද පැහැ මැපික් පාෂාණයෙන් යන්න මෙම ක්ෂේත‍්‍රයේ ප‍්‍රචලිතව ඇති මතයයි. එහෙත් ග්‍රෙබර් කණ්ඩායමේ සොයා ගැනීම් මෙයට එරෙහිව යන්නේ යයි යේල් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ ජුන් කොරෙනගා පෙන්වා දෙයි. හෙතෙම මෙම අධ්‍යයනයට සහභාගී වූවෙක් නොවේ. ‘‘යම් (පර්යේෂක)කණ්ඩායමක් මේ දිසාවට ගමන් කරනු දැකීම ප‍්‍රබෝධජනකයි.’’ ඔහු කියා සිටියි. ‘‘ඔවුන් විද්‍යා ප‍්‍රජාව තිගැස්සීමකට ලක් කරනවා. එය බොහොම වැදගත් දායකත්වයක්.’’
පෘථිවි කබොලෙහි තැටි චලනය වන්නට ඇත්තේ කොපමණ කාලයකට පෙර ද යන්න නිර්ණය කරනු වස් විද්‍යාඥයන් වාද විවාද කරන්නේ බොහෝ කාලයකට පෙර සිටය. ඒ අනුව ඉදිරිපත් කෙරෙන කාලවකවානු වසර බිලියන එකක සිට බිලියන 4.2 ක් දක්වා වූ කාල පරාසයකට අයත් වේ. මෑතක සිදු කෙරුණු අධ්‍යයන කිහිපයකින්ම පෙන්වා දෙනු ලබන්නේ භූ කාරක තැටි චලනයන් ආරම්භ වන්නට ඇත්තේ වසර බිලියන තුනකට පමණ පෙර සිට බව යයි ජොනතන් ඕනීල් ප‍්‍රකාශ කරයි. ඔටාවා විශ්ව විද්‍යාලයේ භූ රසායනඥයෙකු වන ඔහු මෙම නව අධ්‍යයනයට සම්බන්ධ නොවූවෙකි. එහෙත් මේ සම්බන්ධයෙන් තවමත් මත එකඟත්වයක් ඇති වී නොමැති බව ඔහු සටහන් කරයි. ඉතින්, මුල් කාලීන පෘථිවියේ පරිණාමය ගැන තේරුම් ගැනීමට අවශ්‍ය විද්‍යාඥයන්ට මෙය ප‍්‍රධාන පෙළේ ප‍්‍රශ්නයකි.
විස්ථාපනය වන (භූ කාරක) තැටි අපේ මේ ග‍්‍රහලෝකය පුදුමාකාර ලෙස යළි හැඩගන්වයි. එසේ කරන්නේ සාගර ද්‍රෝණි කැටයම් කිරීමෙන් පමණක් හෝ කඳුවැටි තල්ලූ කර දැමීමෙන් පමණක් හෝ නොව, වායුගෝලයේ සහ සාගරවල සංයුතිය ද සංශෝධනය කිරීමෙන්ය. මෙය අපේ තරුණ පෘථිවි ග‍්‍රහයා මත හට ගන්නට පටන් ගෙන තිබෙන මුල් ජීව ස්වරූපයන්ට අවශ්‍ය වන පෝෂක සැපයුම කෙරෙහි බලපෑම් ඇති කරන්නට ඇත. ඇත්ත වශයෙන්ම, ඇතැම් විද්‍යාඥයන් කියා සිටින්නේ භූ කාරක තල ක‍්‍රියාකාරීත්වය ජීවයේ සම්භවයට වැදගත් වන්නට ඇතැයි යනුවෙනි.
සැලකිල්ලට ගත යුතු එවන් ගාම්භීර කරුණු කාරණා ඇති විට ස්ථීර ආරම්භක දිනයක් නිගමනය කිරීමේ දී විද්‍යාඥයන් බොහෝ විට පරික්ෂාකාරී වන්නේ මන්දැයි දැකීම පහසුය. නිදසුනක් දක්වන්නේ නම් සූරිච් හි ස්විට්සර්ලන්ත තාක්ෂණය පිළිබඳ ෆෙඩරල් ආයතනයෙහි භූ භෞතිකඥවරයෙකු වන පෝලි ටැක්ලේ, ග්‍රෙබර්ගේ නවතම අර්ථ නිරුපණ හා එකඟ නොවෙයි. මපික පාෂණා පෘථිවියේ ගැඹුරට කිඳා බසින ඕනෑම විටක පෙල්සික පාෂණ හට ගැනීමට හැකි යයි ඔහු කියා සිටියි. එය සිදුවන්නේ නිමජ්ජන කලාප ඔස්සේ පමණක් නොවන බව ඔහු පෙන්වාදෙයි. නිදසුනක් ලෙස යමහලක් විදාරණය වූ විට (පුපුරා ගිය විට) අළුතෙන් මුදා හැරෙන ලාව මගින් මපික පාෂාණ පොළොව යටට තල්ලූ කර දැමේ. ඒවා කොපමණ ගැඹුරට වැළලීයාද කියතහොත්, අධික භූ ගත පීඩනය (subterranean pressures) හා උෂ්ණත්වය හේතු කොටගෙන උණු වී භූ තැටි චලනයකින් තොරව වුවද පෙල්සික පාෂාණ බවට පරිවර්තනය වේ.
මේ අන්දමට වුව පෙල්සික පාෂාණ සෑදීමට හැකි බව ග්‍රෙබර් පිළිගත්තද ඔහු තර්ක කරන්නේ පෙල්සික වලට සාපේක්ෂ මපික් ඉතා ඉහළ අනුපාතය ටැක්ලේගේ පැහැදිලි කිරීම මගින් වටහා ගැනීමට නොහැකි බවයි. නිමජ්ජනය වඩාත් පිළිගත හැකි සාධකය බව ඕනීල් සහ කොරනගා යන දෙදෙනාම එකඟ වෙති. එහෙත් ඒ නිසාම නිමජ්ජනය – ( සහ ඒ හේතුකොටගෙන භූ තැටි චලනය) ගෝලීය මට්ටමින් සිදු වෙතැයි අවශ්‍යයෙන්ම කියැවෙන්නේ නැත. ඒ වෙනුවට, විශේෂඥයන් බොහෝ දෙනෙකු අනුමාන කරන්නේ, ප‍්‍රාදේශීය වශයෙන් ආරම්භ වෙමින් හා නැතිවෙමින් වාර ගණනාවක් ඇති වී අඛණ්ඩව ලොව පුරා සිදුවන ක‍්‍රියාදාමයක් බවට හැරීමට පෙර, මුල් කාලයේ භූ කාරක තැටි ක‍්‍රියාකාරීත්වය සිදුවීම් පෙළක් ලෙස ඇතිවිමට වඩාත් ඉඩ කඩ තිබු බවයි.
මෙය හරියාකාරව දැන ගත හැකි එකම ක‍්‍රමය තව තවත් අවසාදිත විශ්ලේෂණය කිරීමයි. ඉතින් ඇත්තටම, ග්‍රෙබර් අනාගතයේ දී කිරීමට බලාපොරොත්තු වන්නේ ද එයයි.
Scientific American(December, 17) හි පළවූ Dawn of Plate Tectonics යන ලිපිය ඇසුරෙනි