සැමට විදු නැන නුවණ – Science Literacy for All

පස හොඳ නම් ලොවටම ආහාර හිඟ නොවේ

නූතන මිථ්‍යා අතර දැවැන්ත මිථ්‍යාවක් වන්නේ ඓන්ද්‍රීය කෘෂිකර්මාන්තය ‘නෛසර්ගිකවම ධරණීය’ යයි යන්නය. එහි අදහස වන්නේ පාරසරික සමතුලිතතාව ආරක්ෂාකරන,  ඒ වගේම සම්පත් ක්ෂයවීම වලක්වන ආදී යහපත් අංග ඓන්ද්‍රීය කෘෂිකර්මාන්තය තුල ආවේනිකවම පිහිට ඇත යන්නය.  එය ඇත්ත වීමටත් පුළුවන්. එහෙත් අවශ්‍යයෙන්ම එසේ විය යුතුද නැත.

Image result for Healthy soil is the real key to feeding the world

ඇත්තටම බැලුවොත්, රෝම අධිරාජ්‍යය සහ වෙනත් පුරාණ සමාජ ලොව පුරා පරිහානියට පත්වීමේ කතාන්තරය යටින් ඇත්තේ රසායනිකවලින් තොර බිම් කොටා බෝග වගා කළ බිම් පාංශු ඛාදනයට හසුවීමේ සත්‍යයයි. කෘෂි රසායනික අඩුවෙන් යොදා ගෙන ලෝකයටම ආහාර සැපයීමේ අරමුණින් තත්ත්වයෙන් පහලට බැස්සා වූ පස් යළි ප්‍රකෘතිමත් කිරීමට ඇති හැකියාව හඳුනා ගැනීමේදී  නුතන සාම්ප්‍රදායානුකුල  කෘෂි කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් මිත්‍යා ද  බාධා පමුණුවයි.

ඇමරිකාව, ඝානාව, කොස්ටරිකාව ඇතුළු රටවල ගොවිතැන් කටයුතු පිරික්සුමට ලක් කළ පර්යේෂකයන් පිරිසකට පෙනී ගියේ බෙහෙවින් ඵලදායී කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යාමට ප්‍රධාන වන්නේ යහපත්, සාරවත් පසක් යළි ගොඩනැංවීමේ හැකියාව යන්න  සනාථ කිරීමට අවශ්‍ය ඕනෑතරම් සාක්ෂි සොයා ගත හැකි බවයි. ප්‍රතිජනන (regenerative) කෘෂිකාර්මික භාවිතයන් ලොව පුරා ගොවිබිම්වල පස,  යළි ප්‍රකෘතිමත් කිරීමට මග පාදයි. හානියට පත් පසෙහි සාරවත්බව ඉක්මනින්ම  ප්‍රකෘතිමත් කිරීමට සංවර්ධිත මෙන්ම සංවර්ධනය වන රටවල ගොවීහු කටයුතු යොදති. පොහොර සහ කෘමිනාශක අඩුවෙන් යොදා ගනිමින් ඉහළ අස්වැන්නක් ලැබෙන ආකාරයට සිය වගාබිම් පවත්වා ගෙනයාමට ඒවා ඔවුනට ආධාර වේ.

Image result for Healthy soil is the real key to feeding the world

තවද වර්තමානයේ කාර්මීකරණයට පත් සාම්ප්‍රදායානුකුල කෘෂිකර්මාන්තයට අදාල සම්මුතිගත ප්‍රඥාවේ කුලුනු තුන ගැනද පර්යේෂකයෝ ප්‍රශ්න නගති. 1.කෘෂි රසායන පාදක කර ගත  කෘෂිකර්මාන්තය ලොවටම  ආහාර සපයයි. 2. එය ආහාර නිෂ්පාදනය සඳහා වඩාත්ම කාර්යක්ෂම ක්‍රමයයි. 3. අනාගත ලෝක ජනතාවට ආහාර සැපයීම සඳහා ද  අත්‍යවශ්‍ය වෙයි. දැන් මේ මිත්‍යා 3 ගැන සලකා බලමු.

මිත්‍යා 1. ලොවටම  ආහාර සපයන්නේ කෘෂි රසායන පාදක කර ගත  කෘෂිකර්මාන්තය යි

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෑතක පලකළ වාර්තාවක් අනුව ලෝකයේ ආහාරවලින් හතරෙන් තුනක්ම නිපද වන්නේ ගොවි පවුල් විසිනි. එම සංවිධානය වැඩිදුරටත් දක්වන අන්දමට ලෝකයේ සියලුම ගොවිපළවලින් හතරෙන් තුනක්ම හෙක්ටයාරයකට ( අක්කර 2.5 කට) වඩා අඩුය. අද ඇමරිකානුවන්  අතර ගොවීන් සිටින්නේ සියයට එකක්(1% )  පමණි. එහෙත් ලෝකයේ බොහෝ ගොවීහු තමන්ගේ සහ තම පවුලේ කෑම සඳහා ගොවි බිම්වල වැඩ කරති.   ඉතින් සම්මුතිගත කාර්මීකෘත කෘෂිකර්මය ආහාර සපයන්නේ සංවර්ධිත රටවලට ය.  පරිසර ක්‍රියාකාරී කමිටුවේ 2016  නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ඇමරිකා එක්සත් ජනපද කෘෂිකාර්මික අපනයනයන්ගෙන් සියයට අනූවක් පමණ වාගේ සපයා තිබුණේ බඩගින්නේ පෙළෙන්නන් අතලොස්සක් පමණක් ඇති එම සංවර්ධිත රටවලට ය.

අප සැවොම අපේ ම ඉඩම් වගා කර ආහාර නිපදවා ගැනීමට නොහැකි  නම් ඇත්තටම ලෝකයට වානිජ කෘෂිකර්මාන්තය අවශ්‍ය වෙන බව සත්‍යයකි. එහෙත්, විශාල කාර්මීකෘත ගොවිපොළ,  වඩාත් යෝග්‍ය නැත්නම්, එකම ඉදිරි මගද? අප ඊළඟ මිත්‍යාව වෙත යොමු කරයි.

මිත්‍යා 2. විශාල ගොවිපළ වඩාත් කාර්‍යක්ෂමයි

කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියේදී මහ පරිමාණයෙන් කටයුතු කිරීමෙන්  වාසි සැලසෙන බව කවුරුත් දන්නා කාරණාවකි.  වැඩියෙන් නිෂ්පාදනය කරන විට ඒකක කාර්යක්ෂමතාව වැඩි වේ. එහෙත් කෘෂිකර්මාන්තයේදී මෙය වෙනස් ය. ජාතික පර්යේෂණ කවුන්සිල(National Research Council ) වාර්තාවක් නිගමනය කළේ  හොඳින් පාලනය කරනු ලබන විකල්ප ගොවිතැන පද්ධති සම්ප්‍රදායානුකූල ගොවිපොළවලට වඩා   සැමවිටම පාහේ අඩුවෙන් කෘතිම රසායනික කෘමි නාශක පොහොර සහ ප්‍රතිජීවක උපයෝගී කරගන්නා බවයි.

යාන්ත්‍රීකරණය  හේතුවෙන් විශාල ගොවිපොළවල පිරිවැය අඩුවී ශ්‍රම කාර්යක්ෂමතාව ඉහළ ගියද ඒවා අවශ්‍යයෙන්ම වැඩි වැඩියෙන් ආහාර නිපදවන්නේ නැත. 1992 කෘෂිකාර්මික සංගණන වාර්තාවෙන් දක්වන්නේ කුඩා, විවිධාංගීකරණ වූ ගොවිපළ විශාල ගොවිපොළවල ට වඩා සෑම අක්කරයකින්ම දෙගුණයක් වැඩියෙන් ආහාර නිපදවන බවයි.  සංවර්ධනය වෙන රටවල කෘෂිකාර්මික ප්‍රතිදානය  ඉහළ දැමීම සඳහා වන මඟ කුඩා ගොවිපල බව ලෝක බැංකුව පවා අනුදකියි.

මිත්‍යා 3. ලෝක වාසීන්ට කන්න දෙන්න පුළුවන් සම්ප්‍රදායානුකූල ගොවිතැනින් පමණයි

සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයට ආවඩන්නන්  පෙන්වා දෙන්නේ ඓන්ද්‍රීය ගොවිතැන ලොව පුරා හාමතයට මග පාදන බවයි. ඊට සාධක වශයෙන්  දැක්වෙන්නේ ඓන්ද්‍රිය ගොවිතැනෙහි අස්වනු අඩු වීමයි.  අධ්‍යන 115 ක ට අදාලව 2015 වසරේදී සිදුකල ඉහළ පෙළේ විශ්ලේෂණය,  මෙතෙක් සිදුකර ඇති දැවැන්තම අස්වනු සංසන්දනාත්මක අධ්‍යයනය ලෙස දැක්වීමට පුළුවන. ඓන්ද්‍රීය ගොවිතැන් නිෂ්පාදනය සාමාන්‍යය ගතහොත් සම්ප්‍රදායානුකූල ගොවිතැනට වඩා 20% ක පමණ අඩුවක් පෙන්නුම් කරන බව ඉන් දැක්විණ.යි.

එහෙත් මේ ඉහළ තලයේ අධ්‍යනය ඊටත් ඔබ්බට ගොස් ආවරණ වගා(cover crops) පවත්වාගෙන යාම, ශෂ්‍යමාරුව වැනි ක්‍රම මඟින් පසෙහි සරු බව වර්ධනය කිරීම පිණිස පියවර ගන්නා වූ ඓන්ද්‍රීය ගොවිතැනෙහි අස්වැන්න සම්ප්‍රදායානුකූල ගොවිපළේ අස්වැන්න හා සමග සංසන්දනය කරනු ලැබිය.එහිදී අස්වැන්නෙහි සාමාන්‍යය අඩුව මුලුන් දැක්වූ  20% සිට 10% ටත් අඩු මට්ටමකට පත්වන බව පෙනී ගියේය. අධි මට්ටමේ දත්ත කට්ටල(meta-datasets) සම්ප්‍රදායානුකූල ගොවිපල අස්වනු වැඩියෙන් දැක්වීමට නැඹුරුවක් දක්වන  බව පෙන්වාදෙන පර්යේෂකයෝ  ඒ අනුව අස්වනු දෙක අතර පරතරය මීටත් අඩුවිය හැකි බව පෙන්වා දෙති.

ඊටම මෙන්න මේ කාරණාවත් එක්කර ගන්න: ලොව පුරා නිපදවන ආහාර වලින් හතරෙන් එකක් පමණ කිසිදා ආහාරයට නො ගැනේ! සෑම වසරකම  ඇමරිකා එක්සත් ජනපදය පමණක් ආහාර රාත්තල් බිලියන 133ක් අහක දමයි. මෙය නිරතුරුව සාගින්නෙන් පෙළෙන මිලියන පනහක පමණ ඇමරිකානුවන්ට බුදින්නට ප්‍රමාණවත්ය.මෙය සැලකිල්ලට ගන්නා විට පැහැදිලිවන්නේ ඓන්ද්‍රීය ගොවිතැනෙහි (නුතන සාම්ප්‍රදායානුකුල කෘෂිකර්මානතයෙන් ලැබෙන අස්වැන්නට වඩා) අස්වනු අඩුවට වඩා නාස්ති වී යන ආහාර ප්‍රමාණය වැඩි බවය.

දිගු කාලයේදී මිහිතලය මත සෑම දෙනාටම අඛණ්ඩව ආහාර සැපයීම සඳහා වන ක්‍රමෝපායන්  ඇගයිමට ලක් කළ යුත්තේ අප මේ මිථ්‍යාවන්ගෙන් ඈත්ව,  යහපත් පසක් ගොඩනැගීම යන කාචයෙන් බලමිනි.  පසෙහි සෞඛ්‍ය පහත හෙලන නුතන සාම්ප්‍රදායික ගොවිතැන් භාවිතාවන්,  අනාගතයේ දී  ලොව සෑම දෙනාටම අඛණ්ඩව ආහාර සැපයීමට මිනිසුන්ට ඇති හැකියාව අනතුරට පත් කරන බව එවිට පසක් වනු ඇත.

(මේ ලිපියේ සාම්ප්‍රදායනුකුල ගොවිතැන හෝ සාම්ප්‍රදායනුකුල කෘෂිකර්මාන්තය ලෙස දක්වා ඇත්තේ රසානික භාවිත නොදැන සිට පුරාතන යුගයේ ගොවින් භාවිත කල පුරුදු නොව වර්තමානයේ සවර්ධිත මෙන්ම සංවර්ධනයවන රටවල ප්‍රචලිතව ඇති නුතන  සාම්ප්‍රදායනුකුල කෘෂිකර්මාන්තයයි. ලිපියෙන් පෙන්වා දෙන මුඛ්‍ය කාරනාවක් වන්නේ අතීත ගොවිතැනෙහි අඩුපාඩු තිබුණ බවත් එහෙත් ඊට  පිළියම නුතන  සාම්ප්‍රදායනුකුල කෘෂිකර්මාන්තය ද සතු නැති බවත්යි– පරිවර්තක )

 

The Conversation(US) හි පළවූ Healthy soil is the real key to feeding the world යන ලිපිය ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: