සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද්ධිමත් ජීවිතය : 3 ගෞණ කල්ප බලපෑම්

   ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද? එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම් සම්භාරයක් ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

https://thathudotcom.files.wordpress.com/2017/11/what-is-knowledge-590x240.jpg?w=400&h=163                                       

ගෞණ කල්ප බලපෑම්(placebo effects)

Jessica Hamzelou විසිනි

ධනාත්මක චින්තනයේ බලය උපයෝගී කර ගැනීම

මගේ මවට වේදනා ගෙන දුන් උරහිස් අමාරුව විකල්ප වෛද්‍ය ක‍්‍රමයක් වන රෙයිකි(reiki = ස්පර්ශය හා ඇඟිලි තුඩු මගින් ශක්තිය ලබා දීමෙන් රෝග සුව කරන ක‍්‍රමයක්)  ශිල්ප ක‍්‍රමය තුළින් නිට්ටාවට සුව වූයේ යයි ඇය කියා සිටියි. එමෙන්ම, මගේ සොයුරිය අවවාද කරන්නේ මට නිතර වදදෙන,  නිතර පවතින මගේ බඬේ අමාරුවට එක්තරා හෝමියෝපති ප‍්‍රතිකර්මයක් මගින් සුවයක් ලබා ගත හැකි බවයි.

Image result for placebo effect

මෙවන් ප‍්‍රකාශන, තාර්කික චින්තනය (rational thinking) වෙනුවෙන් පෙනී සිටින්නන් අතර අනතුරු ඇඟවීමේ සංඥා දැල්වීමට සමත් වේ. මෙකී ප‍්‍රතිකර්ම මෙන්ම තවත් එවැනි විකල්ප චිකිත්සාවන් නැතිනම් පිළියම් ඵලදායිවීම සඳහා බොහෝ විට කායික විද්‍යාත්මක යාන්ත‍්‍රණයක් නොමැත. එමෙන්ම වෛද්‍ය විද්‍යාත්මක ගුණය හෙවත් සඵලත්වය මනින සම්මත පරික්ෂණවලින්  සමත්වීමට  ඒවා  අපොහොසත් වේ.  එහෙත් තමන් තෝරාගත් ප‍්‍රතිකර්මය මගින් කෙනෙකුට සහනයක් අත්පත් වේ නම් ඒවා සඵල වූයේ නැතැයි කීමට තරම් අපට ඇති හැකියාව කුමක් ද?

ගෞණ කල්ප (placebos) යනු ඖෂධයක් ලෙස හඟවන එහෙත් ඖෂධීය ගුණයක නොමැති ප‍්‍රතිකාරයක් දක්වන්නකි.  ‘ගෞණ කල්ප’ යනු ඇත්තට අප‍්‍රධාන ප‍්‍රතිකර්මය යන්නයි. බොහෝ විට රෝගියා ඇස්වැසිමට මෙන්ම අළුත් ඖෂධ ගැන පර්යේෂණ පවත්වද්දී, පාලන හිස් සාම්පලයක් ලෙස යොදා ගන්නකි. ගෞණ කල්ප ක‍්‍රියාව යනු එවැනි ‘රැවටිලි’ ඖෂධයක් ගැනීමෙන් ඇතිවන සුවය හෝ සහනයයි.

මෙවන් ප‍්‍රශ්නවල හරය වශයෙන් තමයි ගෞණ කල්ප ක‍්‍රියාව(the placebo effect) පවතින්නේ:  ප‍්‍රතිකර්මය ව්‍යාජයක් නැතිනම්  ඕනෑකමින් සිදු කරන එක්තරා අන්දමක ‘රැවටීමක්’ වුවද (ඒ බව නොදැන) යම් වෛද්‍යමය ප‍්‍රතිකාරයක් සඵල වේ යයි අප විශ්වාස කරන නිසාවෙන්ම අපට සුවයක් දැනෙන්නේ යයි සිතීමට අප පොළොඹවන අන්දම ‘ගෞණ කල්ප ක‍්‍රියාව’  යන්නෙන් දැක්වේ. ගෞණ කල්පයක බලය නොයෙකුත් පරිස්ථිතියන් හීදී හෙවත් වටපිටාවන් හීදී ඔප්පු වී තිබේ. ක‍්‍රි:ව: 2002 වර්ෂයේ දී සිදුකළ අධ්‍යයනයක දී පුද්ගලයන් 60 දෙනෙකුට ව්‍යාජ ශල්‍යකර්ම පවා (සාමාන්‍යයෙන් ගෞණ කල්ප වශයෙන් සැලකෙන්නේ  මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්ය) සිදු කෙරිණ. ආතරයිටිස් රෝගය නිසා දණහිස් වල ඇති වී තිබෙන රෝගාබාධයන්ට ප‍්‍රතිකාර පිණිස මෙම ’ව්‍යාජ’ ශල්‍යකර්මයේ දී ඇත්ත වශයෙන්ම සිදු කෙරුණේ රෝගියාගේ දණහිසෙහි සමෙහි සුළු කැපීමක් සිදු කිරීම පමණකි. එහෙත් ප‍්‍රබල උපායක් යොදමින් රෝගියාට විස්තරාත්මක වීඩියෝ දර්ශන නැරඹීමට සලස්වන ලද්දේ එහි දැක්වෙන බරපතල සැත්කම එම රෝගියාට ද  සිදු කළ බව ඒත්තු ගැන්වීමටය. එය ‘බොරු සැත්කමක්’ වුවද,  එම රෝගීන්ගේ රෝග ලක්ෂණ ක‍්‍රමයෙන් පහව ගිය අතර ඇත්තටම ශල්‍යකර්මයන්ට භාජනය කළ රෝගීන් මෙන්ම මෙම රෝගීහු ද සිය රෝග තත්ත්වයෙන් මිදී සුවය ලැබූහ. මෙම ‘වර්ධනය’ අඩු තරමින් වසරක් වත් පැවතිණ. එහෙත්, “රැවටිලිකාර ශල්‍යකර්ම තුළින් දිගු කාලයක් පවතින බලපෑමක් සිදුකළ හැකිය යන්න විශ්වාස කිරිමට පවා නොහැකි තරම්ය” යයි පවසන්නේ ලූවනා කොලොකාය. කොලොකා බැල්ටිමෝරයේ මේරිලන්ඞ් විශ්ව විද්‍යාලයේ දී ගෞණ කල්ප ක‍්‍රියාව ගැන අධ්‍යයනයක යෙදී සිටියි. කොලොකා පුදුමයට  පත් වුවත්, ඇත්තටම එවැන්නක් සිදුවිය හැකිය. ගෞණ කල්ප  මගින් සුවය ලබන බව පෙනී යන සුලබම තත්ත්වයක් වන්නේ වේදනාවන්ය. එහෙත්, ගෞණ කල්ප මගින් අනෙකුත් රෝග තත්ත්වයන් — ඇදුම රෝගය හා පාකින්සන්ගේ රෝගය පවා — සමනය කිරීමෙහිලා හැකියාවක් දක්වයි. විෂාදය හා කංසාව වැනි බලගතු මානසික සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි ද ගෞණ කල්ප බලපෑම අතිසෙයින් බලගතුය යි බොස්ටන්හි බෙත් ඊශ‍්‍රායල් පූජක සහායිකා වෛද්‍යා මධ්‍යස්ථානයේ (Beth Israel Deaconess Medical Center) අර්වින් කිර්ෂ් පෙන්වා දෙයි.

2008  වර්ෂයේ  සිදුකළ අධ්‍යයනයක දී කිර්ෂ් ඇතුළු පිරිසට පෙනී ගියේ ප්‍රොසැක්(Prozac) ප‍්‍රතිවිෂාද ඖෂධය මෙන්ම හුදු ගෞණ කල්පයන් යන දෙකම එක හා සමානව සඵලත්වයක් දක්වන බවයි.

Related image

මෙම ප‍්‍රතිඵලය රෝගියා ඒ බව(ගෞණ කල්පයක් බව) දන්නේ වී නමුත් පවා සඵලවන්නකි. 2010 සිදු කළ පර්යේෂණයක දී කිර්ෂ් සහ සගයෝ –  irritable bowel syndrome  නම් උදර රෝගයෙන් පෙළෙන රෝගීන්ට අක‍්‍රීය (බෙහෙත්) පෙත්තක් දුන්හ. ‘‘අපි ඔවුන්ට කිව්වා මේ දෙන්නේ ගෞණ කල්පයක් කියලා හැබැයි ඒ වුණත් ඒකෙන් ඒ අයට සුවයක් දැනේවී කියලා’’ කිර්ෂ් කියයි. එසේ වුවද, පර්යේෂණයට සහභාගී වූවන්ට සිය රෝග ලක්ෂණවල සමනය වීමක් දක්නට ලැබිණ.

Related image

රෙයිකි හෝ හෝමියෝපති වැනි විකල්ප ප‍්‍රතිකාර ක‍්‍රම යහපත් යයි මෙයින් කියැවෙන්නේ නැත. (ඒවායින් ද ඇතිවන) ගෞණ කල්ප ක‍්‍රියාව හෙවත් බලපෑම නිසා එම ප‍්‍රතිකාර ලබා ගන්නා අයටද සුවයක් ලද බවක් හැඟී යයි. එහෙත් එම රෝග ලක්ෂණ වලට බලපාන හේතු සාධකය පහව ගොස් ඇති බවක් ඉන් කියැවෙන්නේ නැත. (රෝග ලක්ෂණ වල අඩුවක් ඇතිවූ නිසාවෙන්) සම්මත එනම් සඵලතාව ඔප්පු වූ ප‍්‍රතිකාර නොගෙන සිටියොත් රෝග තත්ත්වය උත්සන්න වී හානි පැමිණිය හැක. තවද එපමණක් නොව  ඕනෑම චිකිත්සාවක්  සඳහා මුදල් වැය කළ යුතු වේ. (හෝමියෝපති වැනි විකල්ප චිකිත්සාවන් වෙනුවෙන් මහජන මුදල් යෙදවීම ගැන ප‍්‍රබල විවාදයක් බි‍්‍රතානඥයේ වර්තමානයේ දක්නට ඇත්තේ එහෙයිනි).

මේ කාරණාවට සම්බන්ධ ධනාත්මක පණිවුඩයක් ද ඇත. ගෞණ කල්ප ක‍්‍රියාව අවබෝධ කර ගැනීමෙන් සෞඛ්‍ය භව්‍යතාවන් නැතිනම් අපෙහ්ශාවන්  වර්ධනය කර ගැනීම පිණිස අපට අපේ මනස උපයෝගී කරගත හැකිවේ. වෙනත් විදිහට කියතහොත් රෝගයකට ප‍්‍රතිකාර ලබා ගන්නා අවස්ථාවේ හුදෙක් සුබවාදීව සිටීමෙන් ම යහපතක් සලසා ගත හැකි බවයි. ශුභවාදීව සිතිම ඇතැම් විටක අපහසු බව ඇත්තකි. එසේම,  යහපක් අත්පත් වීම හා  සම්බන්ධවම තවත් වැදගත් කාරණා වන්නේ ඔබේ වෛද්‍යවරයා සමග යහපත්  සබඳතාවන් පවත්වාගෙන යාම හෝ ඔබට ගැලපුමක් ඇති යයි ඔබ සිතන   අයවලූන් පිරිවරා සිටීම ආදියයි : විශ්වාසයට සම්බන්ධ යයි සැලකෙන වැසෝප්‍රෙසින් (vasopressin) වැනි හෝමෝන ගෞණ කල්ප ක‍්‍රියාව නංවන බව අධ්‍යයන වලින් පෙන්නුම් කරයි. ඔබේ ඇසට හසුවන ප‍්‍රසන්න දර්ශනයන් ද ඔබට සුවයක් දැනවීමට සමත් ය: ඔබ රෝගයකින් සුවය ලබමින් සිටින්නේ නම්  ගඩොල් බිත්තියක් දර්ශනය වීම  හා සංසන්දනයේ දී උද්‍යානයක දර්ශනයක්  දැකීම රෝග තත්ත්වය පහව යාමට බලපාන බව දැනගන්නට ඇත. ශාරීරික විද්‍යාත්මකව මෙන්ම මනෝ විද්‍යාත්මක වශයෙන් සඵලත්වයක් සහිත වෛද්‍ය ප‍්‍රතිකාර සහ චිකිත්සක වටපිටාවන් සැලසුම් කිරීමේ දී ගෞණ කල්ප ගැන අප උගෙන ගන්නා දේ උපයෝගී කරගැනීමට අපට හැකියාව ඇත්නම්, අප සැමදෙනාටම මනා සුවයක් දැනෙන්නට පුළුවන.

 

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි NEED TO KNOW: PLACEBO EFFECTS  යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: