සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෝහාරික විද්‍යාව සැබවින්ම විද්‍යාත්මකවිය යුතුයි

විද්‍යාව බොහෝමයක් ගැටලු විසදීමට දායක වන නමුත් අයෝග්‍ය  විද්‍යාව(bad science) හේතුවෙන් ගැටලු විසදීම වෙනුවට අවුල් වීමට හැකිය.

ස්ත්‍රී දූෂණය සහ මිනීමැරුම යන චෝදනාවන්ට වැරදි කරු වූ කීත් ඇලන් හාවඩ් නමැත්තාට වසර 33 ක් සිර ගෙයි ලගින්නට සිදුවිය. ඔහු වැරදිකරු වීමට වැඩිකොට බලපෑවේය හපා කෑමේ සාක්ෂියයි. පසු කලෙක, DNA සාක්ෂි අනුව ඔහු එම චෝදනාවන්ට නිවැරදිකරු බවට ඔප්පු වූයෙන්  ඔහුව සිපිරිගෙයින් මුදා හැරිණ. හාවඩ් සිරගෙයි ලගිද්දී අපරාධය සිදුකළ අය නිදැල්ලේ පසු වූ බව පැහැදිලිය.  අධිකරණයේ මේ අසාධාරණය සිදු වූයේ අයෝග්‍ය විද්‍යාවේ(bad science)  ප්‍රතිඵලයක් හැටියටය.  හපාකෑමෙක් ඇති වන ලකුණු වලින් ලැබෙන සාක්ෂි, විද්‍යාත්මක විශ්වාසනීයත්වයෙන් තොර බව පෙනී ගිය කරුණකි. එසේ වුවද, එය තවදුරටත් උසාවි වලදී ප්‍රයෝජනයට ගැනේ.

අපරාධ විසදන ආකාරය රූපවාහිනී වැඩසටහන්වල දැක පුරුදු අයට නම් අපරාධ විසඳීම යහපත් ආකාරයට (සැකයෙන් තොරව) සිදුවන අතර සෑම විටම අපරාධකරු වැරදිකරු බවට පත්වන හෙයින්, ‘වෝහාරික  විද්‍යාව දෝෂ රහිතය’ යන නිගමනයට නිතැතින්ම එළැඹෙති. එහෙත් යථාර්ථය වන්නේ එය එසේ නොවන බවයි.  එපමණක් නොව, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති වැදගත්  පියවර ඇණහිටීමේ හෝ ආපස්සට හැරවීමේ හෝ තර්ජනයකට  අපි මුහුණපා සිටින්නෙමු.

2009 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපද ජාතික පර්යේෂණ කවුන්සිලය (US National Research Council) වෝහාරික විද්‍යාවේ පවතින තත්ත්වය ඇගයීමට ලක් කළේය. කවුන්සිලයේ නිගමනය අප කම්පාවට පත් කරවන සුළුය.  ජාතික පර්යේෂණ කවුන්සිලය  නිගමනය කළේ අධිකරණය තුළ භාවිත කරන ශිල්පීය ක්‍රම බොහෝමයකට ඇත්තටම විද්‍යාත්මක පදනමක් නොමැති බවයි. මේ නිගමනයට ප්‍රතිචාර දක්වමින් එරට අධිකරණ දෙපාර්ථමේන්තුව මගින් 2013 වර්ෂයේදී,  වෝහාරික විද්‍යාව පිළිබඳ ජාතික කොමිසම (National Commission on Forensic Science = NCFS) පිහිටුවනු ලැබීය. මෙවන් ප්‍රශ්න ගැන සොයා බලා එහි නිර්දේශ ඉදිරිපත් කිරීම කොමිසමට පැවරුණු කාර්ය භාරයයි. එරට අධිකරණ දෙපාර්තමේන්තුව,  ප්‍රමිතීන් හා තාක්ෂණය පිළිබඳ ජාතික ආයතනය(National Institute of Standards and Technology, the commission) සමග එක්ව කොමිසම පරිපාලනය කරනු ලබයි. විෂයට හා ක්ෂේත්‍රයට අදාළ ගැටළු හඳුනා ගැනීමෙහිලා වසර හතරක් තිස්සේ අනලස්ව ක්‍රියා කළ කොමිසම වෝහාරික විද්‍යාව බල ගැන්වීම පිණිස යම් වෙනස්කම් යෝජනා කර තිබේ.

Related image

කෙසේ වෙතත්,  දැන් මේ කාර්යය නිෂ්පල වේගෙන ඒමට පටන් ගෙන තිබේ. සිය කාර්යභාරය ඉටු කිරීමේ දී කොමිසම විවිධ පාර්ශවකරුවන් එක් වේදිකාවක් මතට ගෙන ඒමට ක්‍රියා කළේය. වෝහාරික විද්‍යාඥයන්, විනිශ්චයකාරවරුන්, නීතිඥයන්, වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින අධිනීතිඥයන්, නීතිය ක්‍රියාවට නංවන්නන් සහ දැනට වෘත්තියේ යෙදී සිටින ස්වාධීන විද්‍යාඥයන් ද ඒ පිරිස අතර දැකිය හැකි විය.  එහෙත් පසුගිය  වසරේ අප්‍රේල් 10 දා නව ඇටෝනි ජනරාල් ජෙෆ් සෙෂන්ස් යටතේ ඇති අධිකරණ දෙපාර්තමේන්තුව වෝහාරික විද්‍යාව පිළිබඳ ජාතික කොමිසමේ කාලය දික් කිරිම ප්‍රතික්ෂේප කළේය. සති කිහිපයකට පසුව කොමිසම නිල වශයෙන් අභාවයට පත්විය. මෙය,  ප්‍රශ්න විසඳා ගැනීමට තිබූ ඉතා කදිම අවස්ථාවක් මඟ හරවා ගැනීමට යයි කෝනෙල් විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය මෙන්ම කොමිසමේ සාමාජික සුනිතා සා කියා සිටියි. ඇය,  ආයතනික දූෂණ, ව්‍යවහාරික ආචාරධර්ම හා උපදේශ ගැන අවධානය යොමු කරමින් පර්යේෂණ පවත්වන්නියකි. මෙය වෝහාරික විද්‍යාවේ හා අපරාධ අධිකරණ විද්‍යාවේ ප්‍රගතිය වෙත එල්ල වූ බලවත් පහරක් බව ඇගේ අදහසයි.

කොමිසම ක්‍රියාත්මකව පැවති වසර හතර තුළ, විද්‍යාත්මක හා නෛතික ශික්ෂණයන් අතර හිදැස පියවීම සඳහා වෝහාරික විද්‍යාව පිළිබඳ ජාතික කොමිසම සාර්ථක පියවර ගණනාවක්ම ගනු ලැබීය.  නිදසුනකින් පැහැදිලි කිරීමක් කළහොත්, ‘විද්‍යාත්මක සාධාරණ නියතතාවකින්’ (“reasonable scientific certainty”)  යුතුව වැනි වදන් අධිකරණයේදී  භාවිතය අර්ථවිරහිත යයි කොමිසමට පෙනී ගිය අතර විද්‍යාත්මක ස්ථාවරයේ දෘඪතාව පිළිබඳ වැරැදි අවබෝධයක් ගෙන දෙන හෙයින් අධිකරණයේ දී එවැනි යෙදුම් යොදා නොගන්නා ලෙස නිර්දේශ කෙරින.

මීටත් වඩා වැදගත් නිර්දේශයන් වූයේ අපරාධ පරීක්ෂණවලට යොදා ගැනීමට පෙර අතුව සියලුම වෝහාරික ශිල්ප ක්‍රම ස්වාධීනව වලංගු කරණය (independently validated)  කළ යුතුය යන්නය. සමහරක් එවැනි වලංගුකරණයට ලක් කර ඇති නමුත් වැඩි බහුතරයක් එසේ නොවේ. ලිපිය ආරම්භයේ දැක්වූ සපා කෑමේ ලකුණු එක් උදාහරණයක් පමණකි. පසුගිය වසරේදී විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති උපදේශක කවුන්සිලය ගිනි අවි හඳුනාගැනීම සහ නිලීන ඇඟිලි සටහන් හා පාවහන් විශ්ලේෂණය, විද්‍යාත්මක නොවන බව සලකුනු කලේය.

Related image

වෛද්‍ය චිකිත්සාවන්, එමෙන්ම ගුවන් යානා සහ විදුලි උපකරණ ආදිය,  විධිමත් භාවිතයට යොදා ගැනීමට පෙර ස්වාධීන පරීක්ෂකයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබේ. එසේ කළ යුතු බවට මහජනයාගේ බලකිරීම තිබෙන අතර එය එසේ සිදු වූයේ යයි සාමාන්‍යයෙන් විශ්වාසයට ගනු ලැබේ. ඉතින්, වෝහාරික ශිල්ප ක්‍රම සම්බන්ධයෙන්ද එවන් ක්‍රියාමාර්ග ගත යුතු යයි අපේක්ෂා කිරීමට මහජනතාවට අයිතියක් ඇත. අධිකරණය හමුවට පමුණුවනු ලබන ‘සාක්ෂි’වල ඵලවිපාක ගැන සලකද්දී එමඟින් ‘සත්‍ය, සම්පූර්ණ සත්‍යය, සහ වෙන කිසිවක් නැතුව සත්‍යයම පමණක්’ (“the truth, the whole truth and nothing but the truth”) නිරූපණය විය යුතුවේ.

අධිකරණ දෙපාර්තමේන්තුව දැන් යෝජනා කර සිටින්නේ,  වෝහාරික විද්‍යාව වැඩි දියුණු කිරීම පිණිස දෙපාර්තමේන්තුව තුළ ම වෙනත් අංශයකට එහි පාලනය  හා සංවර්ධනය පැවරිය යුතු බවයි.  යුක්තිය ඉටු කිරීමෙහිලා කැපව සිටින විද්‍යාඥයන් ඇතුළු නිලධාරීන් පිරිසක් එහි සිටින බව ඇත්තකි. එහෙත් එය විද්‍යාව සඳහා කැප වූ ආයතනයක් නොවේ. එවන් පරිසරයකදී මූලික විද්‍යාවව,  සැබෑ විද්‍යාවක් බවට පත් වන්නේ කෙසේද? විද්‍යාව සශ්‍රිකව වැඩෙන්නේ එය නිදහස් හා ස්වාධීන වූ විටය. එමගින්  නිර්මාණය කරන මෙවලම් හා තාක්ෂණය සැබැවින්ම විශ්වාස දායක වන්නේ එවිට පමණකි. සාක්ෂි විද්‍යාත්මක යැයි ප්‍රකාශ කළ පමණින්ම එය එසේ නොවේ. ඒවාගේ වලංගුතාව පිළිබඳ ගැටලුවද නොවිස‍ඳේ. ඒවා නොවිසඳුන තාක්කල් සිදුවීමට ඉඩ ඇත්තේ තවත් අහිංසකයන් නිකරුනේ අපරාධකරුවන් බවට පත්වීම යයි සුනීතා සා පෙන්වා දෙයි.

 

Scientific American (October, 2017) හි පළවූ Forensic Science Must Be Scientific යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: