විදු නැන නුවණ – Science Literacy for All

අර්බුදකාරී අවස්ථාවන්, කාන්තාවන්ට ඔරොත්තු දීමේ වාසියක් සැලසෙන්නේ ඇයි?

සාමාන්‍ය තත්ත්වයන් යටතේ ස්ත්‍රීන්ට පිරිමින්ට වඩා වැඩි ජීවන අපේක්ෂා කාලයක් ඇත. එහෙත් ඩෙන්මාර්කයේ සහ ජර්මනියේ සිදුකළ නව අධ්‍යනයක් පෙන්නුම් කරන්නේ ඉතාමත් අසීරු කාල වකවානුවල පවා ස්ත්‍රීන් පිරිමින්ට වඩා වැඩි ආයු කාලයක් භුක්ති විඳින බවයි. ආයු අපේක්ෂාවන් ගැන ඓතිහාසිකව සොයාබලන මෙම අධ්‍යයනයේ දී  පෙනී ගොස් ඇත්තේ සාමාන්‍යයෙන් ගතහොත්  සාගත, වසංගත වැනි ඉතා දරුණු තත්ත්වයන් පවතින කාල වකවානු වල පවා පිරිමින්ට වඩා ස්ත්‍රීන්ට දිගු ආයු අපේක්ෂාවන් පවතින බවයි. “ඇත්ත වශයෙන්ම දරුණු තත්ත්වයන් යටතේ පවා කාන්තාවන්ට නොනැසී පැවතීමේ වාසියක් අත්පත් වනවා”  අධ්‍යයනයේ ප්‍රධාන කතුවරිය වර්ජිනීයා ශරුලි පවසයි.  ඇය දකුණු ඩෙන්මාර්ක  විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය ආයතනයේ සහකාර මහාචාර්ය වරියෙකි.

මේ නව අධ්‍යයනයේ කර්තෘවරුන් කියා සිටින්නේ ආයු අපේක්ෂාව සම්බන්ධයේදී කාන්තාවන් පෙරමුණ ගන්නේ මන්දැයි පැහැදිලි නැති බවයි. එහෙත් මීට පෙර සිදු කෙරුනු පරීක්ෂණ වලින් හැඟී යන්නේ, සාමාන්‍ය තත්ත්වයන් යටතේ පරිසරාත්මක සහ චර්යාමය සාධක සමඟ ජීව විද්‍යාත්මක කාරණා ද වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි. එසේ වුවද, අසීරු තත්ත්වයන් යටතේ කාන්තාවන්ට, පුරුෂයන් අභිබවා පැවතීමේ වාසියක් ඇද්දැයි යන්න ගැන සාක්ෂි විරල බව ශරුලි කියා සිටියි. එහෙයින් පර්යේෂකයන් මෙකී අවස්ථාවන් ගැන කරුණු සොයා බැලීමට තීරණය කළේ එහි දී නිරීක්ෂණය වන වෙනස්කම් ජීවවිද්‍යාත්මක හෝ පරිසරාත්මක සාධක උපයෝගී කර ගනිමින් පැහැදිලි කළ හැකි දැයි දැනගැනීමටය.

         අයර්ලන්තයේ අර්තාපල් වගාව විනාශ වී යාමෙන් ඇති වූ දුර්භික්ෂය

මේ සඳහා ඔවුහු, 1772 සිට 1939 දක්වා කාල පරාසයක් තෝරාගෙන එම කාලයේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දුන් ජනගහන කණ්ඩායම් හතක් පිළිබඳ දත්ත එක්රැස් කර ගත්හ. අයර්ලන්තයේ අර්තාපල් වගාව විනාශ වී යාමෙන් ඇති වූ දුර්භික්ෂය ( 1845 -1849), අයිස්ලන්තයේ සරම්ප වසංගත (1846, සහ1882) සහ ( දහනම වැනි සියවස ආරම්භයේ) ට්‍රිනිඩෑඩ්හි වැවිලි අංශයේ වහලුන් මුහුණදුන් තත්ත්වයන් තෝරාගත් අසීරු අවස්ථා අතර විය. මෙම දත්ත විශ්ලේෂණය කරමින් පර්යේෂකයෝ, ජීවන ආයු අපේක්ෂාව, මරණ අනුපාතිකය, රෝග සහ වහල් භාවය යන කාරණා ගැන සොයා බැලූහ.  මෙම අධ්‍යයනයට සම්බන්ධ කණ්ඩායම් හතටම තිබුණේ ඉතා අඩු ජීවන අපේක්ෂා කාලයකි. ඔවුන් සියලු දෙනාම මුහුණ පෑ අසීරු තත්ත්වයද  ඊට බලපෑවේ ය. මේ අර්බුද අතරේ ස්ත්‍රී වේවා, පුරුෂ වේවා කිසිම  පාර්ශවයක් වසර 20කට වඩා ආයු වළඳාවි යයි අපේක්ෂා නොකෙරිණ.

නොනැසී පැවතීමේ දී ස්ත්‍රීන්ට අත්වන  වාසිදායක තත්ත්වය

අර්බුදකාරි අවස්ථා හතක් සම්බන්ධයෙන් අධ්‍යයනයට කරුණු එක්රැස් කළ බව කලින් ද  දැක්විණ. මේ අර්බුදකාරී අවස්ථා හතේදීම ස්ත්‍රීහු පිරිමින් පරයා වැඩි ආයු කාලයක් භුක්ති වින්දහ. සාමාන්‍යය  ගතහොත් වැඩියෙන් ජීවත් වූ කාලය මාස හයේ සිට අවුරුදු 4 ක් දක්වාය.  නිදසුනක් දක්වතොත් 1882අයිස්ලන්තයේ හටගත් සරම්ප වසංගත සමයේදී කාන්තාවන් සාමාන්‍යයෙන් වසර 18.8 ජීවත්වූ අතර පිරිමි සඳහා සාමාන්‍යය වසර 16.7ක් විය. (වසංගතයට පෙර  ආයු අපේක්ෂාවන් සාමාන්‍යය ගතහොත් කාන්තාවන් වසර 44ක් ජීවත්වූ අතර පිරිමින් සඳහා සාමාන්‍යය වුණේ වසර 38කි).

පර්යේෂකයන්ට අනුව මේ අර්බූදකාරී අවස්ථාවල බොහෝ විට කාන්තා ජීවන අපේක්ෂාව වැඩිවීමට,  ළදරු මරණ අනුපාතය හේතුවී ඇත. අධ්‍යයනයේ දී අනාවරණය වී ඇත්තේ දුෂ්කර තත්ත්වයන් යටතේ බිළිඳියන්, බිළිඳුන්ට වඩා හොඳින් අසීරු තත්ත්වයන්ට මුහුණ දීමට සමත් වූ බවයි. සාමාන්‍ය අවස්ථාවලදී ද පිරිමි ළමුන් අතර මරණ අනුපාතය ගැහැනු ළමුන්ට වඩා වැඩි වුව ද අසීරු තත්ත්වයන් යටතේ වුවද ගැහැනු ළමුන්ට වාසි වන අන්දමින් කැපී පෙනෙන වෙනසක් දැකිය හැකිවීම පුදුමයට කාරණාව කයයි ශරුලි පවසයි.

මෙතරම් පුදුමයකට හේතුව වන්නේ අධ්‍යයනයට තෝරාගත් කාලවකවානුවේ ලේඛන පෙන්නුම් කරන ආකාරයට පිරිමි ළමුන්ට දෙමාපියන්ගෙන් වැඩි සැලකිල්ලක් තිබියදී පවා මෙම ප්‍රතිඵලය ඇතිවීමයි. (පිරිමි ළමුන් කෙරෙහි දෙමාපිය සැලකිල්ල වැඩි වීම යන්නෙන් අදහස් කරන්නේ  පිරිමි ළමයෙකු අසනීප වූ විට ගැහැනු දරුවකුට වඩා ඉක්මනින් ප්‍රතිකාර ලබාදීමට දෙමාපියන් දක්වන නැඹුරුව යනාදියයි). එසේත් නැත්නම් සම්පත් හිඟ වූ විට ගැහැනු දරුවාට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් පිරිමි දරුවාට ලබා දුන්නා විය හැකිය.

කාන්තාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වීමට හේතුව මූලිකව ජීව විද්‍යාත්මක විය හැකි බවට අධ්‍යයනයේ සොයා ගැනීම් තුලින් බලගතු සාක්ෂි සැපයෙන්නේ යැයි ශරුලි කියයි. දරුවන් අතරේ මේ වයසේදී චර්යාමය වෙනස්කම් අවම මට්ටමක පවතින අතර ගැහැනු පිරිමි දෙපාර්ශවයේම දරුවන් මුහුණ දෙන්නේ එකම වගේ පරිසරාත්මක තත්ත්වයන්ට ය. මේ අනුව කාන්තාවන්ට  වැඩි වාසියක් අත්පත් වන්නේ  ජීව විද්‍යාත්මක සාධක හේතුවෙන් බවයි ගම්‍යවන්නේ.

මේ සාධක අතර හෝමෝන හා ජාන විද්‍යාත්මක කාරණා ද ඇතුළත් වන බව ශරුලි පෙන්වා දෙයි. නිදසුනක් දක්වතොත් වඩාත්ම ප්‍රමුඛ ස්ත්‍රී හෝමෝනය වන එස්ට්‍රොජන් (estrogen), ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෙරෙහි ආරක්ෂක බලපෑමක් ඇති කරන අතර වඩාත් ප්‍රමුඛ පිරිමි හෝමෝනය ටෙස්ටොස්ටෙරෝන්(testosterone)  ප්‍රතිශක්ති පද්ධතිය යටපත් කිරීමට බලයි. තවද, ටෙස්ටොස්ටෙරෝන්   මට්ටම ඉහල යාම පිරිමින් අතර අපරෙස්සම් හැසිරීමට තුඩුදිය හැකි අතර ඒවා අනතුරුවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමන හෙයින් ආයු අපේක්ෂාව පහළ දැමීමට බලපා හැකි යැයි ශරුලි කියයි. (ඒත් මෙය ළදරු මරණ අනුපාතය‍‍ට බලනොපායි).

“කාන්තාවන්ගේ ඔරොත්තුදීමේ හැකියාව තුළ ජීව විද්‍යාත්මක මුල් ගැඹුරට ගොස් තිබෙන්නට පුළුවන්. ඒත් සංස්කෘතිය, සමාජය හා චර්යාව යන සාධකවල කාර්ය භාරයද බෙහෙවින් වැදගත් බව ශරුලි පෙන්වා දෙයි.

Live Science හි Why Women Have the Survival Advantage in Times of Crisis යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: