බලු වැඩ කරන්න එපා! යයි අප බොහෝ විට දොස් නගන්නේ සුනඛයන්ට නොව මිනිසුන්ටය. වචනයේ අර්ථය ගතහොත් බල්ලන් කරන වැඩ බලු වැඩ ය. ඒත් අපි බල්ලන් කරන හැම වැඩක්ම නරක වැඩ, බලු වැඩ ලෙස නොසලකන්නෙමු. සුනඛයන් හාම්පුතාට බෙහෙවින් පක්ෂය. ඔවුහු අපේ ගේදොර දේපළ ආරක්ෂා කරති. හොර හතුරන් පමණක් නොව මත්කුඩු මත්ද්‍රව්‍ය අල්ලා ගැනීමටද උදව්වෙති. පුරුදු පුහුණු කළ ඇතැම් සුනඛයන් අන්ධ ජනතාවට මඟ පෙන්වීමට ද සමත්ය.
මේ නයින් බලන කල ඒවා ‘බලු වැඩ’ නොවේ. එහෙත් සුනඛයන් මිනිස් අපට ඉවසුම් නොදෙන දේ නොකරන්නේ ම නොවේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ඇතැම් සුනඛයන් සිය වර්ගයාගේම අසූචි අනුභව කිරීමට දක්වන කැමැත්තයි. “ඒක නම් ඉතින් බලු වැඩක් ම තමයි” යනුවෙන් කෙනෙකුට කිව හැක. සමහර සුනඛයන් අතර මේ පුරුද්ද දකින්නට නැතිවෙන්නත් ඇතැම් අය ඊට අභිරුචියක් දැක්වීමටත් හේතුව දැන ගත නොහැක. එහෙත් ඩේව්සි හි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සත්ව චර්යාවාදියකු හා මහාචාර්යවරයකු වන බෙන්ජමින් හාට් මේ ගැන පර්යේෂණයක් කිරීමට ඉටා ගත්තේය. ඒ අනුව, සුනඛයන් අයිතිකරුවන් 3000 දෙනෙකු සමීක්ෂණයකට ලක් කරමින් අධ්‍යයනයක් සිදු කළේය. ඔහුගේ පර්යේෂණයෙන් හෙළි වුණේ පරීක්ෂාවට ලක් කළ සුනඛයන්ගෙන් සියයට දාසයක්(16%) මල අනුභවය (coprophagia) සිදුකරන බවයි. ඔවුන් සියලු දෙනාම පාහේ අනෙක් සුනඛයන් පහකළ මල අනුභව කර ඇත.
මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වුණේ මේ ‘බලු පුරුද්දට’ ඇබ්බැහි වූවන් ගෙන් අඩකට වැඩි සුනඛ පිරිසක් ‘කෑදරයන්’ බවය. ඒ කියන්නේ මේස මත ඇති ආහාර පවා ඩැහැගන්නා ‘බඩගිනි’ කාරයන් බවය. හාට් සොයාගත් තව කාරණයක් වුණේ මේ පුරුද්ද සුනඛයන් කිහිපදෙනෙකු සිටින නිවෙස්වල වැඩියෙන් දක්නට හැකි බවයි.
ටෆ්ට්ස් විශ්ව විද්‍යාලයේ, කමින්ග්ස් පශු වෛද්‍ය පාසලේ මහාචාර්යවරයකු වන ඩොඩ්මෑන් පවසන අන්දමට නම් මේ පුරුද්ද ඔවුන්ට එන්නට ඇත්තේ මව්වරුන්ගෙන් ය. “බලු පැටවුන් උපන් අවස්ථාවේ සිය ශක්තියෙන්ම මුත්‍රා කිරීම හා මලපහ කිරීම සඳහා අවශ්‍ය ප්රතික ක්‍රියා (reflexes) හීනයි. අම්මා තමයි ඒවා උත්තේජනය කරන්න ඕනේ” ඔහු පෙන්වා දෙයි. මව මෙය සිදුකරන්නේ පැටවා ගේ පස්ස ලෙවකෑමෙනි. “පැටව් උපදින අවස්ථාවේ ඉඳලා දකින්නේ ඕවයි. ඉතින් ඒ අය හිතන්න පුරුදු වෙනවා ලෝක ස්වභාවය ඔහොම තමයි කියලා” ඩොඩ්මැන් කියයි. සමහරු වයසින් වැඩෙත්ම මේ පුරුද්ද අත්හැරන අතර සමහර සුනඛයෝ දිගටම එය සිදු කරති. “සිගරැට් බිමේ පුරුද්ද අත්හැරීමට අපේ සමහරුන්ට බැරුවා වාගෙයි” ඔහු තව දුරටත් සඳහන් කරයි.
සමීක්ෂණයට ලක් කළ, මල අනුභව කරන සුනඛයන්ගෙන් 80% කට වැඩි පිරිසක් ප්‍රිය කළේ අලූත් අසූචි අනුභවයටයි. වැඩිම වුණොත් දින දෙකකට වඩා පැරණි නොවන අසූචි අනුභවයටයි. මේ රුචියට හේතුව වසර පහළොස් දහසක් ඈතට දිවෙන බව හාට් පවසයි. ඒ කියන්නේ සුනඛයන්ගේ වෘක ආදිතමයන් අතරේ තිබූ චර්යාවන් වෙතටය.
වෘකයන් සාමාන්‍යයෙන් මලපහ කරන්නේ සිය වාසස්ථානයේ (සාමාන්‍යයෙන් උන් වාසය කළේ ලෙන් වලය) ඈත්වය. අසනීපයෙන් පසුවන හෝ පාද කොර වෘකයෝ පමණක් සිටින තැනම වාගේ මල පහ කරති. ඒවා ඉවත් කිරීම සඳහා ඉතින්, ඔවුනට (අපට මෙන්) සේවා සපයන්නන් නොමැති නිසා ඉවත් කිරීමේ පහසු ක්‍රමය ඒවා ගිලදැමීම යි. වෘකයන් සතුව තිබූ සහජාසය වර්තමාන සුනඛයන් ද මල අනුභවයට පොළඹවන්නේ යයි යනුවෙන් හාට් නව මතයක් ඉදිරිපත් කරයි. “එය තර්කානුකූල නිගමනයක්” ඔහු කියයි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය පාසලේ මහාචාර්යවරයකු වන ජේම්ස් සර්පෙල් කියන්නේ “එම මතය සාධාරණ ලෙස ඒත්තු ගත හැකි ය” යනුවෙනි. මිට පෙර මේ සම්බන්ධයෙන් සිදු කල පර්යේෂණවලින් පෙනීගිය කාරනාවක්වුයේ ආහාර හිඟ කම නිසා තුන්වැනි ලෝකයේ රටවල සුනඛයන් මල අනුභවයට පෙළඹෙන බවකි. “එත් කෑමට සාමාන්‍යයෙන් පවා කෑදර කමක් ඇති නිසා මල අනුභව කරන බව නව අධ්‍යනයෙන් පෙන්වා දීම ද සැලකිල්ලට ගත යුතුය” යයි සර්පෙල් වැඩිදුරටත් පෙන්වා දෙයි.
Mental Floss සඟරාවෙහි පළවූ Why Do Dogs Eat Poop යන ලිපිය ඇසුරෙනි