සැමට විදු නැන නුවණ – Science Literacy for All

බුද්ධිමත් ජීවිතය : 7 සැඟවුණු ශක්තිය(Hidden Energy)

ගුරුත්වය පිළිබඳ නිව්ටන්ගේ සාමාන්‍ය නීතියේ සිට ස්වභාවික වරණය මගින් සිදුවන පරිණාමය පිළිබඳ ඩාවින්ගේ මතය දක්වා අප මවිතයට පත් කරන දේ කොපමණ නම් විද්‍යාව අපට උරුම කර දී ඇත් ද? එය විශ්මය ජනකය, ප‍්‍රයෝජනවත්ය. එමෙන්ම බොහෝ විට මනහරය. එසේ වුවද, අපේ එදිනෙදා යථාර්ථයන්ගෙන් විද්‍යාව මදක් වියෝ වී ඇතැයි සමහර විට අපට දැනී යයි. විද්‍යාවේ උදාර එමෙන්ම ගරු ගාම්භීර මෙකී සිද්ධාන්තවලට ඔබ්බෙන් වෙනත් දැනුම් සම්භාරයක් ඇත. එම අදහස් ග‍්‍රහනය කරගන්න. ඒවා වඩාත් යහපත්, වඩාත් ප‍්‍රීතිමත් සහ වඩාත් බුහුටි ජීවිතයක් ගත කිරීම සඳහා අපට උපකාරී විය හැකිය. ලොව සැරීමට ඔබට අවශ්‍ය වන විද්‍යාව මෙයයි.

සැඟවුණු ශක්තිය(Hidden Energy)

Fred Pearce විසිනි.

පරිසර හිතකාමී ඇස්බන්දුමෙන් එලියට එමු!

අප ජීවත් වන ග්‍රහලෝකය වෙනුවෙන් ඇපඋපකාර  කරනු  වස් යම් තීරණයක් ගැනීමට  සමහර අවස්ථාවල ඔබට වුවමනා වේ. මේ තීරණය නොයෙක් ආකාර, නොයෙක් ස්වරූප ගත හැකියි. පරිසර හානිය අවම කරන බලශක්ති සැපයුම ගැන තීරණයක් ගැනීමට ඔබට උවමනා වන්නට පුළුවන. ඒ සුළංබල ගොවිපළවලට(wind farm) එරෙහි  පෙත්සමක් අත්සන් කිරීම ගැන  හෝ නිවසට සූර්ය බලශක්තිය පැනල සවි කළයුතු ද නැද්ද යන්න ගැන  විය හැකියි. නිවැරදි විකල්පය ඉතා පැහැදිලි යයි පෙනී යා හැක. නිදසුනක් ලෙස ගතහොත් ‘සූර්ය බලශක්ති පැනල පරිසර හිතකාමීය’ යන්න  ගැන වාද කරන්න එන්නේ කවුද? එහෙත් එබඳු තීරණ බොහෝ විට ඔබ සිතනවාට වඩා අසීරුය.

නිරන්තරයෙන්ම වාගේ ගැටලුව යොමුවන්නේ සැඟවුණු ශක්තිය වෙතටයි(hidden energy). ශක්තිය වඩාත්ම ප්‍රකට වන්නේ එය චාලක ශක්තිය ලෙස ඇතිවීටයි. හරියට අප බෝලයකට පා පහරක් දුන් විට හෝ තදින් ඇද දොරක් විවෘත කරන විටදී වගේ පැහැදිලිව පෙනෙන ශක්තියක් නිපදවන විට පෙනෙන්නාක් මෙනි.  එහෙත් එලෙස ශක්තිය හැමවිටම පැහැදිලිව දිස් වන්නේ නැත. යම් යම් දේ නිපදවීම සඳහා ශක්තිය අවශ්‍ය බව පැහැදිලිය. එමෙන්ම ලෝහ බටයක සිට පීසා කැබැල්ලක් දක්වා සියලු ආකාරයේ නිෂ්පාදන ද්‍රව්‍ය තුළ එය(ශක්තිය) හිරකර තබා හෝ මූර්තිමත් කොට’  තිබේ.

අප මෝටර් රියක් මිලට ගැනීම ගැන තීරණයකට එළඹීමට තැත් කරන්නේ යයි සිතමු. එය බරපතල තීරණයක් බව  නිසැකය.  ඔබ ගන්නා තීරණ  බොහොමයකට වඩා මෙම තීරණය ඔබේ කාබන් පාද සටහන(carbon footprint ) කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි වේ. අපි මෙහෙම හිතමු. පැට්‍රෝල් ‘ගිලදමන’  ඔබේ පරණ කාරය වෙනුවට ඉන්ධන කාර්යක්ෂමතාව ඉහල නව මෝටර් රථයක් ගැනීමට තීරණය කළා යැයි සිතමු. ඔබ සතුව දැනට පවතින රථය මෙයට දශකයකට පමණ පෙර ගෙනෙන ලද්දක් නම්  සාමාන්‍යයෙන් වසරකට ඉන් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් 1.8 ක් පමණ විමෝචනය කරයි. එය ගණනය කරනු ලබන්නේ සාමාන්‍යයෙන් වසරකට කිලෝ මීටර්  දොළොස්දාහක් පමණ රථය ධාවනය කරන්නේය  යන උපකල්පනය මතයි.  අද වෙළඳ පොලේ ඇති වඩාත්ම ඉන්ධන කාර්යක්ෂම රථය මිලට ගෙන ඒ ආකාරයේ දුරක්ම  ධාවනය කරන්නේ නම්,  අඩුම තරමේ එම රථය නිෂ්පාදන සමාගම නිකුත් කරන විමෝචන වගු අනුව වුණත්,  වසරකට Co2 හෙවත් කාබන් ඩයොක්සඩ් මෙට්‍රික් ටොන් එකක් පමණ විමෝචනය වේ. මෙය බැලූ බැල්මට (පරිසරාත්මක ව ගතහොත්)  සැලකිය යුතු  ඉතිරියක් සේ පෙනී යයි. එහෙත් මේ රථය තුල අන්තර්ගතව ඇති නැතහොත් සැඟවී තිබෙන ශක්තියද අප සැලකිල්ලට ගත යුතුවේ.  එය තැනිමට යොදා ගනු ලැබූ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. එමෙන්ම  එය තැනීමට ගත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහාද ශක්තිය වැය වේ. ඒවායින් ද මේ අනුව Co2 ජනනය වේ.  මෝටර් රථ නිෂ්පාදකයන්ගේ ගණන් හිලව් අනුව වුණත්,  මෝටර් රථයක් නිපදවීමට සාමාන්‍යයෙන් Co2 කිලෝ ග්‍රෑම් 600 සිට 800 දක්වා වැයවේ. මේකටම රථයේ බොඩිය තැනීමට වුවමනා වානේ නිෂ්පාදනය සඳහා  වැයවන ඉන්ධන ගතහොත් තවත් මෙට්‍රික් ටොන් එකක විමෝචන එක් කළ හැකිය. මෝටර් රථයේ ඇලුමිනියම් කොටස් සඳහා වන  කාබන් පාද සටහන ද ඊටම එක් කරන්න. (වානේ උණු කරනවාට වඩා පස් ගුණයක ශක්තියක් ඇලුමිනියම් උණු කිරීමට වැය වේ.)  

https://i2.wp.com/odishasuntimes.com/wp-content/uploads/2017/07/gasoline-vs_-hybrid-cars-800X800.jpg

ලැයිස්තුව තවත් ඉවර නැහැ. ඇයි කුෂන් කිරීම්,  රබර් භාණ්ඩ,  විද්‍යුත් උපකරණ ආදිය? දැන්  ඔන්න ඒ සියල්ල එකට එකතුකොට බලමු: එක්සත් රාජධානියේ කාබන් භාරය (UK’s Carbon Trust) දක්වන අන්දමට ඔබේ අලුත් වාහනය Co2 මෙට්‍රික් ටොන් 6කට  පමණ වගකිව යුතුය. එහි කාබන් පිරිවැය පියවා ගැනීම සඳහා අඩු තරමේ වසර අටක් වත් රථය  ධාවනයේ යෙදිය යුතුවේ. මේ සියල්ල සැලකිල්ලට ගන්නා විට ‘මොන කෙහෙල් මලක්ද ඔන්න ඔහේ විදුලි මෝටර්රියක්ම  මිලට ගන්නවා’ යනුවෙන්  ඔබ තීරණය කරන්න පුළුවනි. එය ද විකල්පය? අපි බලමු.

මෙහිදීද  පෙට්‍රල් වාහනයක ආකාරයටම සැඟවුණු හෙවත් අන්තර් ගත වුණු විමෝචනයන් (ඒ කියන්නේ පෙර හදුන්වාදුන් මාදිලියේ තැනීමේදී වැයවන Co2 විමෝචන)  තිබෙන්නේ  වී නමුත් රථය ධාවනය වෙද්දී විදුලිය රියෙහි විමෝචන නොමැති වීම සැනසිල්ලට කාරණය වන්නේ යයි සිතන්නට පුළුවන. එහෙමනේ?  හරි!  ඒත් විදුලි කාරයේ බැටරි චාර්ජ් කිරීමට (ආරෝපණය කිරීමට) විදුලි පේනුවකට සම්බන්ධ  කලවිට එමඟින් උරාගන්නේ කාබන් පිටකරන ගල් අඟුරුවලින් ක්‍රියාකරන බලාගාරයකින් සපයන විදුලිය විය හැකියි. සිදුවී ඇත්තේ කාරය වෙනුවට වෙනත් තැනකින් කාබන් විමෝචනය වීම පමණකි.

ඉතින් දැන් මෙන්න සැලකිල්ල යොමු කළ යුතු කාරණාව, මෙන්න අනතුරු හැඟවීම: පරිසරය සුරැකීමට ඔබට වගකීමක් ඇතැයි සාධාරණ පුරවැසියෙකු ලෙස ඔබ තුල ඇති සිතුවිල්ල,  භාණ්ඩ නිෂ්පාදකයන් බොහෝ විට  සිය වාසිය සඳහා  යොදා ගත හැකිය. බැලූ බැල්මට පරිසර හිතකාමී යයි පෙනෙන විකල්ප අතරින් ස්වල්පයක් පමණයි ඒ ආකාරයෙන්ම පරිසරාත්මකව ඵලදායි යයි කිව හැක්කේ. සූර්ය පැනල ගැන සිතා බලමු. ඒවාට යොදන අතිශය ශුද්ධ කළ සිලිකොන්  තට්ටුවක් තැනීමේදී වැයවන විමෝචන පිරිවැය කුමක් විය හැකිද? නොඑසේ නම් සුළං ටර්බයිනය එකෙන් ශක්තිය උකහා ගැනීමට ආධාර වන දැවැන්ත චුම්බක(huge magnets)  තැනීමට වැයවන විමෝචන පිරිවැය?  මේ ආකාරය හාරා අවුස්සන සුළු ප්‍රශ්න  ඇසීමෙන් විශාල පරාසයක් තුළ තීරණ ගැනීම් ගැන සම්පූර්ණයෙන්ම නව දර්ශනයක් ඔබට ලබා ගත  හැකියි. ඔබ කන්නේ කුමක්දැයි  වැනි දෙයක් ගැන  නිදසුනක් ලෙස  හිතමු. ඔබ එක්සත් රාජධානියේ වසන්නෙකු  නිසා ඔබට තෝරා ගන්න පුළුවන් ඔබ කන්නේ එම රටේ වගා කළ තක්කාලි ද නැතහොත් ස්පාඤ්ඤයේ වගා කළ තක්කාලි ද කියා. මෙතැනදී බොහෝ විට සිතෙන්නේ පරිසර හිතකාමී තීරණය වන්නේ සැතපුම් දහස් ගණනක් දුර සිට ගේන තක්කාලි වලට වඩා මෙහිද වගා කළ ඒවා ගැනීම යෝග්‍ය බවයි. එසේ එක්සත් රාජධානියේ තක්කාලි වවන්න ගිම්හල් සදහා බල ශක්තිය සැපයීමේ දී ඇති වන කාබන් පිරිවැය කෙබඳුද? තක්කාලි ස්පාඤ්ඤයෙන් ගෙන්නුවේ ගුවන් මගින් ද ලොරි මගින් ද යන්න අනුව ප්‍රවාහන විමෝචන ද  සැලකිල්ලට ගත යුතුවේ.

පරිසර හිතකාමී තීන්දු තීරණ ගැනීමේ දී,  මෙවැනි කරුණු කාරනා අපට පහසුවක් වන්නේ ඉතා කලාතුරකිනි. උදාහරණයකට, මෙහි දක්වා ඇති අන්දමට සැඟවුණු ශක්තිය ආදිය ගැන හිතා අලුත්ම රථයක් පවා මිලදී ගන්නවා වෙනුවට පාපැදියෙන්ම වැඩට යාමට ඔබට තීරණයක් ගැනීමට වුවමනා යයි සිතමු. එත් මා  වැනි ලේඛකයෙකු අහන්න පුළුවන් පාපැදිය පැදීමට ඔබේ පාද මාංශපේශිවලට අවශ්‍ය අතිරේක ශක්තිය නිපදවීම සඳහා  එළවලු ආදිය ගෙන්වීමට ප්‍රවහාන විමෝචන කොපමණ වය වේ දැයි කියා? අනෙක් අතට අපේ ග්‍රහලෝකය බේරා ගැනීමට ක්‍රියා කිරීම ඉතා පහසු කාර්යයක් කියලත් කවුරුවත් කියන්නෙත් නැහැනේ?

 

 

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE(VOL FOUR-ISSUE THREE) හි NEED TO KNOW: Hidden Energy යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: