සැමට විදු නැන නුවණ – Science Literacy for All

ආමාශගත වණ(ulcer) සුව කරන ක්ෂුද්‍ර රොබෝවරු!

කුඩා රොබෝටික යොදාගනිමින් ඖෂධ බෙදාහැරීම් තුලින් අපේ සිරුර ඇතුළත රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව ළඟදීම උදා විය හැකියි. ලොව ප්‍රථම වතාවට ක්ෂුද්‍රමෝටර(micro-motors) එනම් මිනිස් කෙස් ගසක් තරම්  පළලින් යුක්ත වන  ස්වයංක්‍රිය වාහන මියන්ගේ ආමාශයන්හි(stomachs) බැක්ටිරියමය ආසාදන දුරු කරලීමට සමත්වෙයි! ප්‍රතිජිවක  ප්‍රවාහනය සඳහා ශක්තිය යොදා ගනු ලැබූනේ බුබුලු මගින්ය. “මෙම චලනයන් ම පවා ආමාශ ආස්තරයෙහි ප්‍රතිජිවක  රඳවා ගැනීම වර්ධනය කරනවා” සැන් දියාගෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙහි ජෝසෆ් වෑන්ග් පවසයි. ලියෑන්ෆාන් ශාන්ග් සමග පර්යේෂණය මෙහෙය වුයේ ඔහුය.

ආමාශගත බැක්ටිරියාමය ආසාදනවලින් පෙලෙන මියන්ට දින පහක් තිස්සේ,  දිනපතා ප්‍රතිජීවක මාත්‍රාවක්(වඩියක්) ලබාදීම පිණිස පර්යේෂක කණ්ඩායම ක්ෂුද්‍රමෝටර යොදා ගත්හ. ප්‍රතිකාර රෙජිමය අවසානයේ ඔවුනට පෙනීගියේ ඔවුන්ගේ මෙම නව ප්‍රවේශය සාමාන්‍ය ක්‍රමයට ඖෂධ ‘වඩි’ ලබා දෙනවාට වඩා ප්‍රතිපලදායි බවයි.

ක්ෂුද්‍රමෝටර ලෙස දැක්වෙන මෙම අතිශය කුඩා වාහන ගෝලාකාර මැග්නීසියම් හරයකින්(core) සමන්විත විය. එය ආලේපිතවුයේ විවිධ ස්තර ගණනාවකිනි. එම ස්තරවලට ආරක්ෂාව සහ  ප්‍රතිකාර සැපයිය හැකි අතර ආමාශයේ බිත්තියට ඇලී සිටීමේ හැකියාව ද තිබිණ. ක්ෂුද්‍රමෝටර ගිල දැමීමෙන් පසුව ඒවායේ මැග්නීසියම් හරයන්, ජඨරක හෙවත් ආමාශයික අම්ල(gastric acid) සමග ප්‍රතිචාර දක්වමින් හයිඩ්‍රජන් බුබුළු ධාරාවක් නිපදවයි. එම බුබුළු තමයි ක්ෂුද්‍රමෝටර හෙවත් කුඩා වාහන එහා මෙහා දුවවන්නේ. මෙම ක්‍රියාදාමය සුළු වෙලාවකට අමාශයෙහි අම්ල ගතිය අඩුකරයි. ක්ෂුද්‍රමෝටරවල ගෝලාකාර හරයෙහි ආලේපිත ස්තර අතරින් ප්‍රතිජීවක ස්තරය, වටපිටාවේ අම්ල ගතියට සංවේදීය. ඉතින්, අමාශයෙහි අම්ල ගතිය පෙර දැක්වූ අන්දමට අඩුවූ වහාම ප්‍රතිජීවක මුදා හැරේ.

අමාශයෙහි අම්ල ගතිය යටපත්කිරීම

ඉහත දැක්වූ පරිදි අම්ල ගතිය  අඩු නොකළහොත් ප්‍රතිජීවක සහ ප්‍රෝටීන-පාදක ඖෂධ (protein-based pharmaceuticals), ඒවායේ යහපත් ප්‍රතිපල අත්පත් කර දීමට මත්තෙන් විනාශ වී යා හැකිය. මෙම යාන්ත්‍රණයෙන් අදහස් වෙන්නේ වණ(අල්සර) වැනි බැක්ටිරියමය ආසාදන සඳහා ප්‍රතිකාර පිණිස සම්මත ලෙස යොදා ගන්නා ඖෂධ,  අමාශයෙහි අම්ල ගතිය අඩුකරන ප්‍රෝටෝන පොම්ප නිෂේධක(proton pump inhibitors) සමග සාමාන්‍යයෙන් ගත යුතු බවයි. කෙසේවෙතත්, ප්‍රෝටෝන පොම්ප නිෂේධක දිගු කාලයක් තිස්සේ භාවිත කිරීමෙන් හිසරද, පාචනය, තෙහෙට්ටුව, සහ කාංසාව හෝ විශාදය පවා වැනි ඇතැම් නොමණා අතුරු අබාධ ඇතිවීමට මග පෑදීය හැකියි. ඉතින්, ඒවා වෙනුවට කුඩා ‘වාහන’ යොදා ගැනීමට හැකිවීම වැදගත් ඉදිරි පියවරක් සේ සැලකිය හැකිය.

කුඩා රොබෝටික ඖෂධ බෙදාහැරීම් යවා පැය 24 කට පසුව මියන්ගේ අමාශ අම්ල සාමාන්‍ය මට්ටමට පැමිණි බව මෙම පර්යේෂණයේ දී පෙනී ගියේය. ක්ෂුද්‍රමෝටර දිරායන හෙවත් ජෛහායනිය(biodegradable) ද්‍රව්‍යයන්ගෙන් සාදා ඇති හෙයින් හානිකර අවශේෂ කිසිවක් ඉතිරි නොකර ආමාශයේදී ම දියවී ගියේය.

“ක්ෂුද්‍රමෝටර ඇත්තටම හුරුබුහුටි, සිත් ඇදගන්නා සුළු යෙදවීම්. ඒවා තාමත් අලුත් වුණත් ඒවායේ බලපෑම ප්‍රබලයි” යනුවෙන් පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ තෝමස් මලවූක් පවසයි.

බුද්ධිමත් පද්ධති සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ සැමුවෙල් සාන්චෙස් කියා සිටින්නේ නව අදහස ක්ෂුද්‍රමෝටර ක්ෂේත්‍රය ඉදිරියට ගෙනයන බවයි. සාම්ප්‍රදායික ප්‍රවේශයන් වෙනුවට ක්ෂුද්‍රමෝටර යොදා ගැනීමේ වාසි ද ඉන් ප්‍රදර්ශනය වන බව සාන්චෙස්ගේ අදහසයි.

මේ පර්යේෂණයේ ඊ ළඟ පියවර වනුයේ විශාල සතුන් යොදා ගෙන පරීක්ෂණ පැවැත්වීමයි. ඉන් අනතුරුව මිනිසුන් යොදා පරීක්ෂණ ආරම්භ කළ හැකිය.  “තව දිග ගමනක් යන්න තියනවා. එත්  මේක නම් විශ්මයජනක ගමනක්” වෑන්ග් කියා සිටියි.

වෛදමය ක්ෂුද්‍ර ‘බොට්’ (Medical microbots)

බොට්(bot) යනු පද්ධති හෝ භාවිත කරන්නන් හෝ අතර අන්තර් කි‍්‍රයා කළ හැකි ක‍්‍රමලේඛ වේ. වෛද්‍ය විද්‍යාත්මක කාර්යයන් සඳහා යොදාගන්නා බොට් වෛද්‍ය ක්ෂුද්‍ර බොට් (medical microbots) ලෙස දැක්වේ. විවිධ ක්ෂේත්‍ර ගණනාවක්  තුල  ක්ෂුද්‍රමෝටර  සඳහා අනාගතයක් ඇති බවට  විශාල බලාපොරොත්තු තැබිය හැකිය. නිදසුනක් ලෙස රුධිර-මොළ බාධකය හරහා ඖෂධ යැවීමට ක්ෂුද්‍රමෝටර යොදා ගත හැකි බව පර්යේෂකයෝ මෑතක දී ප්‍රදර්ශනය කළහ. බොහෝ ඖෂධ, කිසිවිටකත් රුධිරධාරාව ඔස්සේ මොළය වෙත ගමන් කරන්නේ නැත. මන්ද  රුධිර-මොළ බාධකය සිය කාර්ය භාරය ඉතා මැනවින් ඉටු කරන හෙයින් ඊට ඉඩ නොදෙන බැවිනි. එහෙත්, ග්ලුකෝස් මගින් බලගැන්වූ ක්ෂුද්‍රමෝටර යොදා ගැනීමෙන් රුධිර-මොළ බාධකය හරහා ඖෂධ යැවිම 400% කින් වැඩි කිරීමට පර්යේෂකයෝ සමත් වුහ. මෙය, පාකින්සන්ගේ රෝගය හෝ අල්සයිමර්ගේ රෝගය වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමේදී වැදගත් බලපෑමක් ඇතිකළ හැකියි..

මෙම කුඩා ‘වාහන’, සාරින් වැනි  ජීවවිද්‍යාත්මක සහ රසායනික අවි මගින් ඇති  කරවන අහිතකර බලපෑම් නිෂ්ක්‍රිය කිරීමට ද උපකාරී වෙතැයි සැලකේ.

New Scientist හි පළවූ Tiny robots crawl through mouse’s stomach to heal ulcers ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: