ඔබ ආදරය කරන අයට නිවහනක් වීමට අසමත් නම් ඒ විශ්වයෙන් ඇති වැඩක් නැත – ස්ටීවන් හෝකින්ග්
පසුගිය බදාදා(මාර්තු 14) උදෑසන මිය ගිය ස්ටීවන් හෝකින්ග් ගෙන් කෙනෙකුට ආගමික විශ්වාස තුළින් සැනසීමක් ලැබිය හැකිදැ’යි මීට කලකට පෙර ඇසූ විටක දී මෙසේ පිළිතුරු දුන්නේ ය.
“මම සලකන්නේ මොළය හරියට කොම්පියුටරයක් වගේ කියල යි. කොම්පියුටරයක කොටසක් ක්‍රියා විරහිත වුනා ම කොම්පියුටරය වැඩ කිරීම නතර වෙනවා වගේ ම තමයි මොළය නතර වෙන්නෙත්. ඉතින් කැඩුණු කොම්පියුටර වලට පුනරුත්පත්තියක් වත් දිව්‍ය ලෝකේ යෑමක් වත් නැහැ. එ් වගේ ම තමයි ඔය සුරාංගනා කතා විශ්වාස. ඒවා අඳුරට බය වුණු මිනිසුන් ට කියාපුවා.”
විශ්වවේදය (Cosmology) පිළිබඳ සැලකිය යුතු මහජන අවධානයක් යොමු කළ විද්‍යාඥයෙකු වශයෙන් සැලකෙන ස්ටීවන් හෝකින්ග් අවුරුදු 76ක් ආයු වළඳා මාර්තු 14 දින මිය ගියේ ය. එහෙත් චාලක නියුරෝන හෙවත් මෝටර නියුරෝන(Motor Neurone) රෝගය වැළදීම නිසා තව දෙවසරකට වඩා ජීවත් විය නො හැකියැ’යි දොස්තරවරුන් 1963 වසරේ හෝකින්ග් ට පවසා තිබුණේ ඔහුගේ වයස 21 දී ය. “මම මරණයට බය නැහැ. ඒත් ඉක්මනින් මැරෙන්න ඕන කමකුත් මට නැහැ. ඊට ඉස්සෙල්ලා කොයි තරම් වැඩ කන්දරාවක් මට කරන්න තියෙනවා ද” යනුවෙන් හෝකින්ග් පැවසීය.

සිය සිරුර වලංගු කර ගත නො හැකි තත්වයට පත් වන මෝටර නියුරෝන රෝගය පිළිබඳ විනිශ්චය කල් තියා ම දැන ගත් හෝකින්ග් එම මරණීය රෝගයේ අභියෝගය නො තකා තමන්ගේ ජීවිතය මුළුමනින් ම අලුත් වූ අරමුණක් කරා යොමු කළ යුතු යැයි විශ්වාස කළේ ය. “මගේ අනාගතය අඳුරු වලාවකින් වැසී යාමේ තර්ජනය තිබුණ ද පුදුමයකට මෙන් කලින්ටත් වඩා මම මගේ ජීවිතය වින්දනය කරන බව වැටහුණා. මගේ පර්යේෂණ කටයුතු වල විශාල දියුණුවක් ද ඇති වුනා” යැයි සඳහන් කරන හෝකින්ග් “මගේ අරමුණ සරලයි. විශ්වය ගැන පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීමයි මගේ ඕනෑ කම වුණේ. විශ්වය වෙනත් අන්දමකට නොව මේ අන්දමට ම ක්‍රියා කරන්නේ ඇයි? විශ්වයක් පවතින්නේ ම ඇයි? වගේ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමටයි මට අවශ්‍ය වුණේ” යැයි පැවසුවා.
හෝකින්ග් ගේ මුල් ම වැදගත් සොයා ගැනීම සිදු වුනේ 1970 දී රොජර් පෙන්රෝස් සමග එක් ව විශ්වයේ ඇති කළු කුහර (black hole) පිළිබඳ ගණිතමය සූත්‍ර විශ්වයේ පැවැත්ම පිළිබඳ සංකල්ප වලට ආදේශ කළ අවස්ථාවේ දී ය. ඒකත්ත්වය (Singularity) නමින් විද්‍යාඥයන් හඳුන්වන අවකාශ-කාලය (Space-time) තුළ ඇති අපරිමිත වක්‍රතාව ඇත්ත වශයෙන් පිහිටා ඇත්තේ මහා පිපිරුම උද්ගත වූ ඈත දුරාතීතයේ බව ඒ ගණිතමය සූත්‍ර මගින් පැහැදිලි කර දෙන ලදී.
ක්වොන්ටම් න්‍යාය ට අනුව කලු කුහර වලින් තාපය විකිරණය විය යුතු බවත් ඒ අනුව කලු කුහර වලට සදාකාලික පැවැත්මක් නැති බවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඔහු 1974 දී කළේ ය. සාමාන්‍ය ප්‍රමාණයේ කලු කුහර වලින් තාපය නිකුත් වන වේගය ඉතා මඳ වුව ද කුඩා කලු කුහර වල මේ ක්‍රියාව මෙගා ටොන් එකක හයිඩ්රජන් බෝම්බ මිලියනයකට සමව පුපුරා යන තෙක් අතිශය සීඝ්‍ර වේගයකින් සිදු වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
කලු කුහර වලින් තාපය මෙසේ නිකුත් වීම පිළිබඳ ඔහුගේ මතය නුතන විශ්ව වේදයේ වඩාත් ම විවාදයට ලක් වූ අදහසක් විය. මෙසේ කළු කුහරයකට අතුරුදහන් විය හැකි නම් කලු කුහරයේ ජීවිත කාලය පුරා ම එ තුළ ට ඇද ගන්නා ලද සියලු තොරතුරු ද සදහට ම නැතිව යන බව හෝකින්ග් තර්ක කළේ ය. මේ අදහස ක්වොන්ටම් යාන්ත්‍රකය පිළිබඳ මූලික නියාමයකට පටහැණි වූ බැවින් භෞතික විද්‍යාඥයන් සැලකිය යුතු ප්‍රමාණයක් හෝකින්ග් ගේ අදහස ප්‍රතික්ෂේප කළේ ය. ඒ පිළිබඳ වඩා පිළිගත් අදහස වූයේ තොරතුරු ගබඩා වන්නේ කළු කුහරයේ සිද්ධි පරිමණ්ඩලයක (Event Horizon) බැවින් කලු කුහරය විකිරණය වන විට එම තොරතුරු ද එකී විකිරණ වල කේතනය වන බව ය. කලකට පසු, මේ අදහස හෝකින්ග් විසින් ද පිළිගත් ආකාරය හෝකින්ගේ ශිෂ්‍යාවක වූ මහාචාර්ය මරියා ටේලර් විස්තර කරන්නේ මෙසේයි.
“අප සමග බාර් එකක තරමක පහත් හඬින් කතා කරමින් සිටි හෝකින්ග් හිටිවන ම ඔහුගේ කථන ආධාරකයේ හඬ වැඩි කළේ ය ( සිය රෝගය නිසා ස්වාභාවික ලෙස කතා කළ නො හැකි ව සිටි හෝකින්ග් ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ විද්‍යුත් කථන ආධාරකයක් යොදා ගත්තේ ය.) “මං දැන් කියන්නටයි යන්නේ” යනුවෙන් මහා හඬක් කථන ආධාරකයෙන් නිකුත් විය. බාර් එකේ සතුටු සාමිචියේ යෙදී සිටි සියල්ලෝ ම තුෂ්ණිම්භූතව නිශ්ශබ්ද වූහ. “ඔව් මං දැන් පිළිගන්නවා අර මං කලින් කියූ අන්දමට සදහටම තොරතුරු නැතිව යාමක් සිදු නොවන බව”.

අයිසැක් නිව්ටන් එකල හෙබ වූ, ශ්රාස්ත්රාලීය බ්‍රිතාන්‍යයේ අතිශය සම්මානිත පදවියක් ලෙස සැලකෙන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබඳ ලුකාසියන් ආසනය(ධුරය) 1979 දී හෝකින්ග් ට පිරිනැමිණි.
විශ්වයේ ඇති ද්‍රව්‍ය පදාර්ථ තුළ ඇති වන අතිශය ක්ෂුද්‍ර වෙනස් වීම් හෙවත් ක්වොන්ටම් උච්චාවචන නිසා ගැලැක්සි බිහි වන බව හෝකින්ග් 1982 දී පෙන්වා දුන්නේ ය. තාරකා, ග්‍රහ වස්තු ආදියේ මූල බීජ ඇත්තේ මේ ක්ෂුද්‍ර උච්චාවචන තුළ බව අද බොහෝ විද්‍යාඥයෝ පිළි ගනිති.
එහෙත් විද්යාලෝලී ලෝකයේ දිදුලන තාරකාවක් බවට හෝකින්ග් පත් වුණේ “කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්” (A Brief History of Time) යනුවෙන් ඔහු 1988 දී ලියා පළ කළ පොත නිසා ය. වැඩියෙන් ම විකිණෙන පොත ලෙස නොකඩවා සති 237ක් සන්ඩේ ටයිම්ස් ලැයිස්තුවේ සඳහන් වීම නිසා ඒ පොත විකිණීම අතින් ගිනස් වාර්තාවක් ලෙස පිළිගැනුනි. පිටපත් මිලියන 10ක් මුද්‍රණය කළ පොත භාෂා 40 කට පරිවර්තනය කෙරුණි.
‘අනාගතයේ දී නෂ්ඨප්රාප්ත නොවී සිටීමට නම් මනුෂ්‍යයෝ අජටාකාශය ජය ගත යුතුය’යි හෝකින්ග් ප්‍රකාශ කළේ ය. එමෙන්ම ස්වයංක්‍රිය යුධ ආයුධ ද ඇතුළුව කෘත්‍රිම ඥානය (Artificial Intelligence) යොදා ගැනීමේ දී ඇතිවිය හැකි අවදානම ගැන ද ඔහු අනතුරු හැඟවීය.
හෝකින්ග් ඔහුගේ යුගයේ ජීවත් වූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා නො වූණත් විශ්වවේදය සම්බන්ධයෙන් දැවැන්තයෙකු ලෙස සැලකිය හැකියි. ගරු ගම්භීර නෝබල් තෑග්ග නො ලැබුණාත් ඇල්බර්ට් අයින්ස්ටයින් සම්මානය වැනි සම්භාවනීය පිරිනැමීම් විශ්ව වේදය සම්බන්ධයෙන් ඔහු කළ සේවාවේ වැදගත් කම නිරූපණය කරයි.

‘අනන්තයට ගමන් කිරීම: ස්ටීවන් සමග මා ගෙවූ දිවිය’ යන මැයෙන් හෝකින්ග් ගේ හිටපු භාර්යාව ජේන් හෝකින්ග් පළ කළ ග්රන්ථයක් ඇසුරෙන් 2014 දී පෙන් වූ, Theory of Everything යන මැයෙන් ජේම්ස් මාෂ් විසින් හෝකින්ග් ගේ ජීවිතය අලළා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය විචාරකයන් ගේ මෙන් ම විද්යාලෝලීන්ගේ ද අවධානය දිනා ගත්තේ ය.
දෙවරක් විවාහ වූ හෝකින්ග්, දරුවන් තිදෙනෙකුගේ පියෙකු විය. හෝකින්ග් ගේ අභාවය නිවේදනය කරමින් ඔහුගේ දරුවෝ හෝකින්ග් ගේ කියමනක් මෙසේ උපුටා දැක්වීය. “ඔබ ආදරය කරන අයට නිවහනක් වීමට අසමත් නම් ඒ විශ්වයෙන් ඇති වැඩක් නැත”.
තතු මාණ්ඩලික ලේඛකයෙකු විසිනි.
සටහන:
NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) ඇසුරෙන් සැකසෙන ලිපිමාලාවේ තවත් ලිපි පෙළක් අද ඇරඹීමට නියමිතව තිබුනත් ස්ටීවන් හෝකින්ග් ගැන thathu සටහනට ඉඩ සලසමින් එය ලබන බ්‍රහස්පතින්දාට කල් තැබිණ.