ජීවන පරිසරය: ජීවයේ පරිණාමය(Evolution Of Life )

Posted by

සජීවීන්(living things) හෙවත් ජීවත් වන දේවල්  ගැන ඈත අතීතයේ සිටම මිනිස්සු උනන්දුවක් හා කුතුහලයක් දක්වති. ලෝකයේ කොපමණ නම් විශේෂ ඇත්ද, එම ජීව විශේෂ කොයි ආකාරද, ඔවුන් ජීවත් වන්නේ කොයිබද, ඔවුන් එකිනෙකා හා සම්බන්ධ වන්නේ කෙසේද, ඔවුන් හැසිරෙන්නේ කොයි අන්දමට ද යනාදී වශයෙන් මිනිස්සු ප්‍රශ්න නගති.  මේ ප්‍රශ්නවලට  මෙන්ම මේ මිහිතලය මත වාසස්ථානය කරගත් ජීවීන් ගැනමත් මතුවන බොහෝ ප්‍රශ්නවලට ද පිළිතුරු සැපයීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. විශේෂයෙන්ම, ජීවන පරිසරය වඩාත් හොඳින් වටහා ගැනීමට මිනිස්සුන්ට හැකිවන පරිදි විද්‍යාඥයෝ සංකල්ප, මූලධර්මයන් හා න්‍යාය වැඩිදියුණු කිරීමට වෙහෙසෙති.

පෘථිවිය මත අද දින  ඇති ජීව ස්වරූප, මෙයට වසර බිලියන හතරක පමණ කාලයකට  ආපසු දිවෙන සරල, ඒක සෛලික-ජීවී පොදු ආදිතමයන්ගෙන් පරිණාමය වූ බව පෙනී යයි. පරිණාමය පිළිබඳ නූතන අදහස්, පෘථිවිය මත ජීවය පිළිබඳ නිරීක්ෂණය කළ හැකි ප‍්‍රධාන පරිසිද්ධි කට්ටල තුනකට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සපයයි: 1අප අවට දකින ජීව ස්වරූප අතිශය දැවැන්ත සංඛ්‍යාව, 2 මේ විවිධත්වය තුළ අපට දැකිය හැකි ව්‍යවච්ඡේදයෙහි හා අණුක රසායනයෙහි පද්ධතිමය සමානතා සහ 3 වසර බිලියනයකට වැඩි කාලයකදී සෑදෙන්නට ඇති පාෂාණ අනුයාත ස්තරවල දැකිය හැකි ෆොසිලවල අනුක‍්‍රමික විපර්යාසයන් එම කට්ටල තුනයි.

ෆොසිල වාර්තාවේ ආරම්භයෙන් පසුව ජීව ස්වරූප බොහොමයක් හට ගෙන තිබේ. ඒ අතර පැරණි ස්වරූප බොහොමයක් නැති වී ගොසිනි. පාෂාණ ස්තරවල වයසින් ගම්‍ය කරගන්නා, වෙනස්වන ව්‍යවච්ඡේදමය ස්වරූප වල අනුරේඛණීය(සොයා ගත හැකි) අනුක‍්‍රමයන්(traceable sequences) බොහොමයක් එක් කාරණාවක් විද්‍යාඥයන්ට එත්තු ගැන්වීමට සමත් වී තිබේ. එනම්, එම අනුක‍්‍රමයන් බැක්ටීරියාවේ සිට ඇතුන් දක්වා එකකින් තවෙකකට වෙනස් වන ජීව විශේෂ(species) බවට මග පාදා ඇති බවයි. එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යන වෙනස්කම් ඒකරාශී වීම අවසානයේ ෆොසිලවල ව්‍යවච්ෙඡ්දමය සාක්ෂි අණුක සාක්ෂි මගින් තහවුරු කරනු ලබන අතර, විවිධ පරම්පරා පෙළ එකකින් තවකකට බෙදී ගිය අනුක‍්‍රමණය පිළිබඳ අතිරේක විස්තර සපයයි.

පෘථිවිය මත ජීවය පිළිබඳ ඉතිහාසයේ විස්තර, භූ විද්‍යාත්මක, ව්‍යවච්ෙඡ්දමය සහ අණුක යන සාක්ෂි එකතුව  මගින් තවමත් ගැට ගසමින් පැවතුණත්, ඒ ඉතිහාසයේ ප‍්‍රධාන අංග ගැන මත එකඟත්වයක් ඇත. ආරම්භක මුල්ම අවස්ථාවේ සරල අණු, සංකීර්ණ අණු සාදන්නට ඇති අතර ඒවා අන්තිමේ දී ස්වයංප‍්‍රතිචලන(self-replication) හැකියාව සහිත සෛල බවට පත්වන්නට ඇත. ජීවයේ මුල් වසර බිලියන දෙක තුළ පැවතියේ ක්ෂුද්‍ර ජීවීන් පමණකි. ඉන් සමහරක් පැහැදිලිවම,  අද පවතින බැක්ටීරියා සහ ඇල්ගී වලට බොහෝ සේ සමාන වන්නට ඇත. වසර බිලියනයකට පෙර න්‍යෂ්ටියක් සහිත සෛල වර්ධනය වීමත් සමගම එන්ට එන්ටම වැඩිවන සංකීර්ණතාවෙන් යුතු,  බහු සෛලීය ජීවීන්ගේ පරිණාම අනුපාතයෙහි මහා ඉහළ යාමක් ඇති විය. ඉන් පසු නව විශේෂ පරිණාමය වීමේ අනුපාතය  අසමාකාර විය. බාගදා ඉන් පිළිඹිබු වන්නේ භෞතික පරිසරයේ වෙනස් වන විපර්යාස අනුපාතයන් විය හැකිය.

පරිණාමය පිළිබඳ සිද්ධාන්තයේ කේන්ද්‍රීය සංකල්පයක් වන්නේ ස්වභාවික වරණයයි (natural selection): එය පැන නගින්නේ මනාව තහවුරු වූ නිරීක්ෂණ තුනකිනි.

  1. සෑම විශේෂයක්ම උරුම කරගන්නා ගති ලක්ෂණ අතර යම් විචල්‍යයක් ඇත.
  2. පරිණත වනතුරු ජීවත් වීමේ දී හා ප‍්‍රතිචලනයේ දී මෙකී ගති ලක්ෂණ සමහරක් අනෙක් අයට වඩා ඒ ඒ පුද්ගලයන්ට(ඒකෛකයන්ට) වැඩි වාසියක් හිමි කර දෙයි.
  3. එවැනි ඒකෛකයන්ට(individuals), අනෙක් අයට වඩා කල් ජීවත්වෙමින්, ප‍්‍රතිවලනය කිරීමට වැඩි හැකියාවක් ඇති ජනිතයින්(offspring) වැඩියෙන් ලැබීමේ ඉඩකඩ ඇත.

මෙහි ප‍්‍රතිඵලය වීමට ඉඩ ඇත්තේ අනුයාත පරම්පරා තුළ වාසි ගෙන එන ගති ලක්ෂණ උරුම කරගනු ලැබූ ඒකෛකයන්ගේ අනුපාතය ඉහළ යාමට නැඹුරුවීමයි.

හෝමෝනවල අණුක ව්‍යුහය හෝ ජීර්ණ එන්සයිමවල  මෙන්ම අස්ථි ප‍්‍රමාණය හෝ ලොම් වල දිග වැනි ජනිතයාගේ වර්ධනයේ දී අවසානයේ නිපදවෙන ව්‍යවච්ෙඡ්දීය අංග වැනි ජෛව රසායනික විස්තර වරණිය ගතිලක්ෂනවලට(Selectable characteristics – තේරිය හැකි ගුණාංග) ඇතුළත් විය හැකිය. එමෙන්ම, දෘෂ්ඨීයේ තීව‍්‍රතාව හෝ හෘදය වස්තුවේ පොම්ප  කිරීමේ කාර්යක්ෂමතාව වැනි ව්‍යවච්ඡේදය මගින් තීරණය වනු ලබන වඩා සියුම් අංග ද ඒවාට ඇතුල් වේ. ජෛව රසායන හෝ ව්‍යවච්ෙඡ්දමය මාර්ගයන් මගින් තෝරා ගත හැකි ගුණාංග චර්යාව කෙරෙහි බලපෑ හැකිය. කිසියම් එක්තරා හැඩයක දැලක් විවීම, තමන්ගේ සහකරු/සහකාරියගේ ඇතැම් ගුණාංගයකට විශේෂිත කැමැත්තක් දැක්වීම හෝ ජනිතයන් රැක බලා ගැනීමට නැඹුරුවීම (බලපෑමට ලක් විය හැකි) එවන් චර්යාවන්ය.

ජනකයන්ගේ(parents) ජානවල නව සංයෝජන හෝ ඒවායේ විකෘතිවීම් මගින් නව වරණිය ගුණාංග ඇතිවිය හැක. ජීවියෙකුගේ ලිංගික ෙසෙලවල DNA විකෘතිවීම හැර ජීවියාගේ ජීවිත කාලය තුළ ඇතිවන සිදුවීමවල ප‍්‍රතිඵලයක් වන ගති ලක්ෂණ ඊළඟ පරපුර වෙත ජීව විද්‍යාත්මකව පැවරිය නොහැක.  නිදසුනක් ලෙස, ව්‍යුහයක හෝ කාර්යයක් භාවිතා කිරීම හෝ නොකිරීම හේතුවෙන් ජීවියාගේ පරිසරයේ ඇතිවන විපර්යාසයන් නිසා පුද්ගලයා තුළ හටගන්නා වෙනස්වීම් ස්වභාවික වරණය මගින් ප‍්‍රවර්ධනය කළ නොහැක.

එහි ස්වභාවය හේතුවෙන්ම ස්වභාවික වරණය, යම් සුවිශේෂී පරිසරයන්ට හොඳින් අනුවර්තනය වූ ගති ලක්ෂණ සහිත ජීවීන්ට මග පෑදීමට ඉඩ තිබේ. එහෙත් අහඹුවෙන් පමණක් වුව, විශේෂයෙන් කුඩා ගහණයන් තුළ ජීවත්වීමේ හෝ ප‍්‍රතිවලනයේ ආවේණික වාසි හෝ අවාසි නොමැති ගති ලක්ෂණ ව්‍යාප්ත කිරීමට හේතු විය හැකිය. එපමණක් ද නොව, පරිසරයක් වෙනස් වූ කළ (මෙම අර්ථයෙන් අනෙකුත් ජීවීන්ද පරිසරයේ කොටසකි) ගතිලක්ෂණ වල වාසිය හෝ  අවාසිය ද වෙනස් විය හැකිය. ඒ නිසා ස්වභාවික වරණය හේතුවෙන් නිශ්චිත දිශාවක් වෙත දිගු කාලීන වර්ධනයක්  ඇතිවීම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක් නොවේ. පරිණාමය විසින් ගොඩනගනු ලබන්නේ දැනට පවතින දේ මතය. එහෙයින් දැනටම වැඩි විවිධත්වයක් පැවතීම, තව තවත් ගොඩනැගීම් ඇති කරවයි.

වසර මිලියන ගණනාවක් තිස්සේ නැවත නැවතත් ස්වභාවික වරණය,  නව ගති ලක්ෂණ මෙන්ම වෙනස්වන පරිසරයන්හි දිගටම ක‍්‍රියාත්මක වීම තුළ නව විවිධ ජීව විශේෂ සන්තතියක්  බිහි කර ඇත. පරිණාමය වනාහි, පහළ ජීව ස්වරූප වඩාත් උසස් ස්වරූප මගින් ආදේශවමින් අවසානයේ වඩාත්ම දියුණු විශේෂය ලෙස ඉහළින්ම මතුවන හිනිපෙත්තක්  නොවේ. එසේ නොව, එය පඳුරක් බඳුය: බොහෝ අතු පැන නැග්ගේ බොහෝ ඉස්සරය; ඉන් සමහරක් අතු වියළී ගොසින්ය; කාලය ගත වුවත්, සමහරක් අතු පවතින්නේ කැපීපෙනෙණ වෙනසක් හෝ කිසිම වෙනසක් නොමැතිවමය. තවද සමහරක් නැවත නැවතත් අතු දා ඇත්තේ වඩාත් සංකීර්ණ ජීවීන් මතුවීමට ඉඩ සලසමිනි.

පරිණාමය ක‍්‍රියා කරන ආකාරය සියළු විස්තර සහිතව අවබෝධ කර ගැනීමට අපට තව කලක් ගත විය හැකිමුත්, පරිණාමය  පිළිබඳ නූතන සංකල්පය, පෘථිවිය මත ජීවයේ ඉතිහාසය, සකල ජීවීන් අතර සම්බන්ධතා මෙන්ම භෞතික පරිසරය මත රඳා පැවැත්ම අවබෝධ කරගනු වස් එකාබද්ධිත සිද්ධාන්තයක් සපයයි. සංකල්පය කොපමණ හොඳින් තහවුරු වී ඇති ද යත් ජීව විද්‍යා දැනුමෙහි වැඩි කොටස(බහුතරය) පැහැදිලි සංසක්ත චිත‍්‍රයක් සේ සංවිධානය කර ගැනීමට අවශ්‍ය රාමුව අපට සපයයි.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE LIVING ENVIRONMENT නම් 5වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක අවසන් කොටසයි මේ. මින් අනතුරුව එහි 6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක් thathu මගින් ඉදිරිපත් කෙරේ.

අද ලිපිය THE LIVING ENVIRONMENT නම් 5වෙනි පරිචේදයෙහි EVOLUTION OF LIFE යන කොටස ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.