සැමට විදු නැන නුවණ – Science Literacy for All

කාර්යමය ආහාර සහ පරිපුරක ආහාර : ආරක්ෂිත ද? ප‍්‍රතිඵලදායක ද?

අපේ ශක්තිය වඩවන්න, වේදනා ගෙන දෙන හන්දිපත් වලට සහනය ගෙනෙන්න, අපේ මතකය වඩවන්න මේ ආදී වශයෙන් කාර්යමය ආහාර (Functional foods) සහ ආහාර පරිපුරක(dietary supplements) වෙළඳ පොළේ එමට ඇත. අපේ සෞඛ්‍යය යහපත් අතට හරවා අපට සුවදායක තත්ත්වයක් ගෙන දේමට මේවා පොරොන්දු වෙයි. ඒත් ඇත්තටම එය එසේ සිදුවෙයි ද?

කාර්යමය ආහාර: ඇතැම් විට සක‍්‍රිය ආහාර (nutraceuticals  – ප‍්‍රතිකාරමය ප‍්‍රතිඵල සහිත පෝෂක නිෂ්පාදන) ලෙස ද දැක්වෙන ආහාර හෝ බීම නිෂ්පාදනවල සාමාන්‍ය මූලික පෝෂණය අභිභවා ගිය වාසි සැලසෙතැයි කියැවේ. සමහරක් ස්වභාවික නිෂ්පාදන ය. අනෙක් ඒවා ගුණය වැඩි කළ ආහාර හෝ සම්පූර්ණයෙන්ම කෘතීමව තැනූ නිෂ්පාදන ය.

පරිපුරක ආහාර: මේවා ඔබේ සමහර ආහාර වේලට අයත් නොවන එහෙත් ඔබේ සෞඛ්‍යය හෝ යහපැවැත්ම වර්ධනය කරනු වස් ඔබ විසින් තෝරා ගනු ලබන ඒවාය. ඔබ දිනපතා ගන්නා මල්ටි විටමින් හෙවත් බහු විටමින මෙන්ම අතිරේක ඛනිජ, ඇමයිනෝ අම්ල, හෝමෝන, ශරීර වර්ධන නිෂ්පාදන ශාක සාර නිෂ්පාදන ආදිය ඔබේ තේරීම මත ඔබ ගන්නා පරිපූරක ආහාර ය. අප මේ අළුතෙන් පරිපූරක හෙවත් පරිපුරක ආහාර යනුවෙන් නම් කොට තෝරා ගන්නා නිෂ්පාදන වලට වඩා අවුරුදු දහස් ගණනකට පෙර පවා පරිපුරක ආහාර ලෙස සම්ප‍්‍රදායානුකූල ශාක නිෂ්පාදනය ප‍්‍රයෝජනයට ගනු ලැබිණ. ඉන් සමහරකට ඇත්ත වශයෙන් ම විශේෂිත සෞඛ්‍යය වාසි ගෙන එන ගුණයන් තිබෙන්නට හැකිය. එහෙත් ඒවා කිසි දිනක විද්‍යාත්මකව පරීක්ෂා කර නොතිබෙන්නට ඉඩ තිබෙන අතර ආරක්ෂිත බව හා ප‍්‍රතිඵලදායක බව ඒ අනුව තහවුරු කර නැත. එය එසේ වන්නේ මන්දැයි තේරුම් ගැනීමට නම් ඖෂධ වර්ග පරීක්ෂා කර අනුමත කිරීමේ ක‍්‍රියාවලිය කාර්යමය ආහාර සහ ආහාර පරිපූරක වෙනුවෙන් යොදා ගන්නේ නැත්තේ මන්දැයි විමසිය යුතුය.

නියාමන ගැටළු: ඖෂධමය බෙහෙත් (pharmaceutical drugs) එනම් රෝග වැළක්වීමට හෝ සුව කිරීම පිණිස විශේෂයෙන් නිෂ්පාදිත ඖෂධ වල ආරක්ෂිත බව සහ ප‍්‍රතිඵලදායක බව අධීක්ෂණය කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ නම් පැවරී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයටයි(Food and Drug Administration හෙවත් කෙටියෙන් FDA). නව ඖෂධයක් මහජනතාවට විකිණීමට පෙර එය මිනිසුන්ගේ  භාවිතයට ආරක්ෂිත හා ප‍්‍රතිඵලදායකයද  යන්න සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට ඖෂධ සමාගම් නීතියෙන් බැඳී සිටියි. සාමාන්‍ය වශයෙන් ගතහොත් නව ඖෂධයක් වෙළඳ පොලට ගෙන ඒම සඳහා වසර 12 සිට 15 දක්වා කාලයක් මෙන්ම ඩොලර් මිලියන සිය ගණනක් වැය කිරීමට සිදුවේ. සමාගම් වලට මෙය දැරිය හැකි වන්නේ එම නව ඖෂධය සඳහා පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීමට එම සමාගමට හැකිවන හෙයිනි. බලපත‍්‍රය අනුව ඖෂධයේ අයිතිය සහ වෙළඳාමේ අයිතිවාසිකම් එක්තරා වසර ගණනාවකට සමාගමට හිමි වේ. ඇතැම් ඖෂධ වල ඉහළ මිළ ගණන් නියම වන්නේ මේ වියදම පියවා ගැනීමට සමාගමට අවශ්‍ය වන බැවිනි.

කෙසේ වෙතත්, කාර්යමය ආහාර සහ ආහාර පරිපුරක සඳහා  යොදා ගන්නා ද්‍රව්‍ය ස්වභාවිකව හට ගන්නා ඒවා නිසා එම ආහාර වෙනුවෙන් පේටන්ට් බලපත‍්‍ර ලබාගත නොහැක. ඒවා පිරිසිදු කොට ඇසිරීමට  ඕනෑම කෙනෙකුට පුළුවන. එහෙත් පේටන්ට් බලපත‍්‍රයක් හේතුවෙන් ලැබෙන වෙළඳ පොල වාසිය ලබා ගැනීමට නොහැකි  නිසා තම නිෂ්පාදනවල ආරක්ෂිත බව හා ප‍්‍රතිඵලදායක බව පරීක්ෂා කිරීම පිණිස වුවමනා වන අධික මුදල වැය කිරීම කාර්යමය ආහාර සහ ආහාර පරිපූරක නිපදවන්නන්ට දරාගත නොහැක. මෙය සැලකිල්ලට ගනිමින් ඖෂධ අනුමත කිරීමේ ක‍්‍රියාවලියෙන් මුදා හරින ලෙස  ආහාර පරිපූරක නිෂ්පාදකයන්  අවසර පැතූ අතර එය හිමිවිය. 1994 පරිපූරක ආහාර සෞඛ්‍ය හා අධ්‍යාපන පණත(Dietary Supplements Health and Education Act of 1994) අනුව කාර්යමය ආහාර සහ පරිපූරක ආහාර, ඒවා අනාරක්ෂිත යයි ඔප්පු කරන තුරු නිෂ්පාදනය කිරීමට හා අලෙවි කිරීමට අවසරය ඇත. එහෙත් තමන්ගේ නිෂ්පාදන අනාරක්ෂිත යයි ඔප්පු කිරීම පිණිස කාලය සහ මුදල් වැය කිරීමට යම් නිෂ්පාදකයෙක් ඉදිරිපත් වෙතැයි සිතිය නොහැක.

මෙම කාර්යමය ආහාර සහ පරිපූරක ආහාර නිෂ්පාදකයින්, ඒවායින් ඇතිවන අහිතකර බලපෑම් ගැන FDA  වෙත වාර්තා කිරීම පවා අවශ්‍ය නොවේ. මෙම ඒජන්සිය එවැනි තොරතුරු සඳහා විශ්වාසය තැබිය යුත්තේ පාරිභෝගිකයන් සහ සෞඛ්‍යය වෘත්තිකයන් ස්වේච්ඡාවෙන් සපයන තොරතුරු මතය. මෙහි ප‍්‍රතිඵලයක් හැටියට FDA ඒජන්සිය වසර පහක කාලයක් ඇතුළත මෙවැනි අහිතකර සිද්ධි වාර්තා කෙරුණේ වසරකට 500 බැගිනි. මෙයට ප‍්‍රතිවිරුද්ධව, වස පාලන මධ්‍යස්ථාන ඇමරිකානු සංගමය (American Association of Poison Control Centers)  වෙත 2012 වසරේදී පමණක් පරිපූරක ආහාර වර්ග ගැන දුරකතන පණිවුඩ 37,000 ක් පමණ වාර්තා විය.

තවද මෙම කාර්යමය ආහාර සහ පරිපූරක ආහාර නිෂ්පාදන නිපදවන්නන් සහ බෙදා හරින්නන්ට සිය නිෂ්පාදන ප‍්‍රචාරය කිරීමේ දී යම් අතිරේක නිදහසක් භුක්ති විඳීමට හැකිය.  ඔවුනට පනවා ඇති එකම සීමාව වන්නේ, සිය නිෂ්පාදන මගින් කිසියම් සුවිශේෂී වෛද්‍යමය තත්ත්වයකට හෝ රෝගයන් වළක්වා ගැනීම හෝ සුව කිරීමට හැකි යයි කියා සිටීමට නොහැකිය යන්න පමණකි. නිදසුනක් ලෙස ‘ක්රැන්බෙරි යුෂ’(cranberry juice)  නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ‘‘මුත‍්‍රා කාර්ෂයේ(urinary tract)  සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ’’ යනුවෙන් සඳහන් කිරීමට නිදහස ඇත. (එය අවිනිශ්චිත නැතිනම් නිච්චියක් නැති කියාපැමකි). එහෙත් “ක්රැන්බෙරි යුෂ මුත‍්‍රා කාර්ෂයේ ආසාදන නැවත සෑදීම වළක්වයි’’ යනුවෙන් ඔවුනට සඳහන් කළ නොහැකිය. මන්ද එය සුවිශේෂී වෛද්‍යමය හැකියාවක් කියා පෑමකි. එසේ වුවද, බොහෝ පාරිභෝගිකයෝ මුත‍්‍රා කාර්ෂයේ ආසාදන සඳහා ප‍්‍රතිකාර කිරීමට හෝ ඒවා නැවත හට ගැනීම වළක්වා ගැනීම පිණිස ක්රැන්බෙරි යුෂ භාවිතා කරති. ඊට එකම හේතුව ක්රැන්බෙරි යුෂවලට එය කල හැකි බව විශ්වාස කිරීමයි. ඇත්තටම එය එසේ වන්නට වුව ද  පුළුවන. ඒත් එකම කාරණාව වන්නේ ඖෂධමය බෙහෙතක ප‍්‍රමිති වලට ගැලපෙන බවට එය කිසි දිනක විද්‍යාත්මකව පරීක්ෂා කර නොතිබීමයි.

මෙවැනි නිදහසක් භුක්ති විඳිමින් කාර්යමය ආහාර සහ පරිපූරක ආහාර කර්මාන්තය මෙන්ම එය පෝෂණය කරන ප‍්‍රචාරණ කර්මාන්තය සීඝ‍්‍රයෙන් වර්ධනය වී තිබේ. මෙම ආහාර වල ඇමරිකා එක්සත් ජනපද අළෙවිය දැන් වසරකට ඩොලර් බිලියන 25 ඉක්මවයි. ගින්ක්ගෝ(ginkgo) අළෙවිය පමණක් වසරකට ඩොලර් මිලියන සිය ගණන ඉක්මවයි. ඊට ස්මෘති හානිය හෝ ඩිමෙන්ෂියාව වැළැක්වීමට නොහැකි බවට සාක්ෂි තිබිය දී පවා මේ සා අලෙවියක් සිදුවන්නේ පරීක්ෂණ, පර්යේෂණ ගැන සැලකිලිමත් වෙනවා වෙනුවට විශ්වාසය පමණක් මුල් තැනට පැමිණීමෙනි.

 

Human Biology-Concepts And Current Issues (Eighth Edition) ග්‍රන්ථයේ  The Chemistry of Living Things නම් පරිච්චේදයේ Functional Foods and Dietary Supplements— Safe and Effective? කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: