සැමට විදු නැන නුවණ – Science Literacy for All

මිනිස් ජීවියා: මානව අනන්‍යතාව

මිනිස් අප බොහෝ ආකාරවලින් අනෙකුත් සත්ත්ව විශේෂයන්ට සමාන වුවද, භාෂාව මෙන්ම චිත්තාව (thought) භාවිතා කිරීමට අපට ඇති හැකියාව හේතුවෙන් මේ මිහිතලය  මත අනෙකුත් ජීව ස්ව රූප අතර අපි සුවිශේෂි වන්නෙමු.  එමෙන්ම සංකීර්ණ මොළයක් පරිණාමය වීමේ හේතුවෙන්  මිනිස්  විශේෂය සතු  සිතීම, පරිකල්පනය, නිර්මාණය  සහ අත්දැකීම් තුළින් උගෙනීම සඳහා ඇති හැකියාව අන් කිසිම සත්ව විශේෂයකට ඇති හැකියාවන් බොහෝ සේ ඉක්මවයි. විශාල පරිමාණයෙන් තාක්ෂණය මෙන්ම සාහිත්‍යමය හා කලා කෘති නිර්මාණයට සහ අප ගැන හා ලෝකය ගැන විද්‍යාත්මක අවබෝධය වර්ධනය කරගැනීමට මෙම හැකියාව අපි යොදා ගෙන ඇත්තෙමු.

අපට අප ගැනම ඇති විචක්ෂණශීලී කුතුහලය අතින් අප සුවිශේෂය. ශාරීරික වශයෙන් ගොඩනැගී ඇත්තේ කෙලෙසද? අප හැදුණේ කෙලෙසද? ජීව විද්‍යාත්මක වශයෙන්, අපේ ආදිතමයන්ට සහ අනෙකුත් ජීව ස්වරූපවලට සම්බන්ධ වන්නේ කෙලෙසද? අප එක් එක් පුද්ගලයා ගතහොත් අනෙකුත් මනුෂ්‍යයන්ට සමාන හෝ අසමාන වන්නේ කෙලෙසද? අප සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කෙලෙසද?විද්‍යා  ප්‍රයත්නයෙහි වැඩිම කොටසකින් අවධානය යොමු කරන්නේ මෙවැනි ප්‍රශ්න කෙරෙහි ය.

මේ ලිපි මාලාවෙන් අප උත්සාහ කරන්නේ, ජීව විශේෂයක් ලෙස තම තමන් ගැන විද්‍ය සාක්ෂරතාවය සහිත ජනතාව දැනගත යුත්තේ කුමක්ද යන්න ගැන නිර්දේශ ඉදිරිපත් කරන්නයි. එවන් දැනුම තමන් ගැන මෙන්ම සමාජය ගැන අවබෝධය වැඩි කරගැනීමට අවශ්‍ය පදනම සපයයි.

මානව අනන්‍යතාව

ජීව විද්‍යාත්මක අංග බොහොමයකින් මනුෂ්‍යයෝ අනෙකුත් සජීවීන් හා සමාන වෙති. නිදසුනක් දක්වතොත් මනුෂ්‍යයා ද අනෙකුත් සතුන් මෙන්  සෑදී ඇත්තේ සෛල වලිනි. රසායන සංයුතිය බොහෝ කොට එක සමානය. අනෙක් සතුන් බොහෝමයකගේ මෙන් ඉන්ද්‍රිය පද්ධති හා ශාරීරික ගති ලක්ෂණ ඇත. ප්‍රජනනය කරන්නේ එකම ආකාරයටය. එකම වර්ගයක ජානමය තොරතුරු පද්ධතිය දරන්නේය. එමෙන්ම ආහාර දාමයක කොටසකි.

පොසිල  සහ අණුක සාක්ෂි, මානව විශේෂය ද  අන් අය හා සමානවම වෙනත් ජීවීන් ගෙන් පරිණාමය වුයේය යන විශ්වාසයට සහය දක්වයි. එම සාක්ෂි දිගින් දිගටම එකතු වන අතර දින වකවානු සහ පරම්පරාවන් ගැන විද්‍යාඥයෝ දිගින් දිගටම තර්ක විතර්කවල යෙදෙති. එසේ වුවද මානව වංශ කතාවේ පුලුල් සැකිල්ල පොදුවේ පිළිගැනේ.  මනුෂ්‍යයන්, වඳුරන් හා වානරයන් මෙන්ම අනෙකුත් ආකාරවලට ක්ෂීරපායින් ගණනාවක් ද ඇතුළුව සමාන ජීවීන් වර්ගීකරණයක් වන ප්‍රිමාටේස් සත්වයින්  අනෙකුත් ක්ෂීරපායින්ගෙන් පරිණාමනය වීමට පටන්  ගත්තේ වසර මිලියන 100ට වඩා අඩු කාලයකට පෙරය. මානවයන් හා සමාන ප්‍රිමාවේස් විශේෂ මතු වී  විශේෂයන්  ලෙස බෙදී යන්නට පටන්ගත්තේ වසර මිලියන පහකට පමණ පෙර ය. එහෙත් ඉන් එක් විශේෂයක් හැර සෙස්සෝ නෂ්ටප්‍රාප්ත වූහ. ඉතිරි වූ පරපුර නූතන මනුෂ්‍ය විශේෂයට මග පෑදීය.

අනෙකුත් සංකීර්ණ ජීවීන් මෙන්ම මනුෂ්‍යයෝද ප්‍රමාණයෙන් හා හැඩයෙන්, සමේ වර්ණයෙන්, ශරීර අනුපාතයන්ගෙන්, සිරුරේ රෝමවලින්, මුහුන හැඩරුවෙන්, මාංශපේෂි ශක්තියෙන්, හුරු අත් බවින් ආදි වශයෙන් එකිනෙකාගෙන් වෙනස් වෙති. එහෙත් සකල මානව වර්ගයාගේ සමානතා හා සසඳන විට මේ වෙනස්කම් සුළුය. ප්‍රජනනය (reproduction)  රුධිර පාරවිලයනය(blood transfusion)  සහ අවයව බද්ධ කිරීම යන පදනම මත ලෝකයේ කොතැනක හෝ ජනතාවට නිදහසේ ශාරිරික  වශයෙන් සම්මිශ්‍රණය වීමට ඇති හැකියාව මෙය පෙන්නුම් කරයි. මානවයන් ඇත්තටම එක් තනි විශේෂයකි. එපමණක්ද නොව  මිනිස් කණ්ඩායම් අතර සංස්කෘතික වෙනස්කම් අතින්  ඔවුන් බොහෝ සේ වෙනස් යයි පෙනී ගියද  ඔවුන්ගේ සංකීර්ණ භාෂාව, තාක්ෂණය සහ කලාව අතින් මිනිසා  අනෙක් ඕනෑම විශේෂයකින් වෙන් කොට දැක්වීමට සමත්වෙයි.

ඇතැම් අනෙකුත් විශේෂද,  සමාජයීය වශයෙන් සංවිධානය වෙති.  ඒ, ප්‍රධානකොට ආරක්ෂාව, ආහාර එක් රැස් කිරීම හෝ ප්‍රජනනය වැනි එකිනෙකට වෙනස් විශේෂිත කාර්යයන් ඉටු කිරීමට යාමේදීය. එහෙත් ඔවුන් අනුගමනය කරන්නේ  ඔවුන්ගේ පරිණාමිය උරුමයෙන් සීමාවූ සාපේක්ෂව ස්ථිරබවක් උසුලන රටාවන්ය. මානවයන් සතුව ඊට බොහෝ සෙයින් වැඩි සාමාජීය චර්යයාවන් පරාසයක් ම ඇත. කාඩ් සෙල්ලම් කිරීමේ සිට ගී ගැයීම දක්වා ද භාෂා ගණනාවකම විශාරද බව අත්පත් කර ගැනීමේ සිට නීති සම්පාදනය දක්වා ද චර්යාවන් එම පරාසයට ඇතුලත්ය.

Related image

මානව විශේෂයේ  ඉතිහාසයෙහි වඩාත්ම වැදගත් සිද්ධියක් වනුයේ පෙර දඩයම් කිරීමෙන් සහ ආහාර එකතුකිරීමෙන් බැහැරව(hunting and gathering) මීට වසර10,000 පමණ ගොවිතැනට නැඹුරු වීමයි. මෙය ඉක්මනින්ම ජනගහනයේ වැඩිවීමකට මග පෑදීය. වර්ධනයේ මුල් අවධියේ දී,  ගම්මාන පිහිටුවීමට ද ඉන් අනතුරුව පුරවරයක් ද නව ආර්ථික හා දේශපාලන පද්ධතීන් ද වාර්තා තබාගැනීමද සහ එමෙන්ම සංවිධානාත්මක යුද කටයුතු ද ආරම්භ කිරීමට මිනිස් විශේෂයේ  සමාජ නිර්මාණශීලීත්වය මග පෑදීය. මෑතකදී මානව වර්ගයා අත්පත් කරගත් කෘෂිකර්මාන්තයෙහි සහ බෝවෙන රෝග පාලනය කිරීමෙහි අධික  කාර්යක්ෂමතාව ජනගහනය තවත් වේගයෙන් වර්ධනයට බලපෑ ඇති අතර දැන්(2018) ජනගහනය බිලියන 7.6  ඉක්මවයි.

අපේ විශේෂය ජෛව විද්‍යාත්මක, සමාජිය හා සංස්කෘතිකවන්නා සේම  තාක්ෂණික ද වේ. අනෙකුත් විශේෂයන් හා ම්බන්ධයේදී වේගය, කඩිසර බව, ශක්තිය, ජවසම්පන්න බව,  දෘෂ්ටිය, ශ්‍රවණය හෝ අතිශය ආන්තික පාරිසරික තත්ත්වයන්  දරාසිටීමේ හැකියාව ගතහොත් මිනිස් අපට කිසිසේත් සුවිශේෂී තත්ත්වයක් නැත.  කෙසේ වුවද විවිධ තාක්ෂණයන්, භෞතික ලෝකය සමඟ අන්තර් ක්‍රියාකිරීමේ අපේ හැකියාව වැඩිදියුණු කරයි. එක් අර්ථයකින් ගතහොත් අපේ ජීව විද්‍යාත්මක අවාසිදායක තත්වයන් ගෙන් ගොඩ ඒම පිණිස අපේ නව නිපැයුම් අපට  උපකාරී වේ.

තොරතුරු හා දත්ත විශාල ප්‍රමාණයක් බෙදාහදා ගැනීමට මෙන්ම එක්රැස් කිරීමට ද ලිඛිත වාර්තා අපට මඟ පාදයි. අනෙකුත් සතුන්ට වඩා සීඝ්‍රයෙන් එහෙ මෙහෙ යාමට, ඔව්  අභ්‍යවකාශයට පවා ගමන් කිරීමට,  හව්හරණක් නැති ඈත එපිට දුෂ්කර ස්ථානවලට ළඟාවීමට  වාහන අපට අවස්ථාව සලසයි. ඉතා සියුම් පාලනයක් මෙන්ම විස්මකුරු ශක්තියක් හා වේගයක් මෙවලම් මඟින් අපට සැපයේ. දුරේක්ෂ(Telescopes),  කැමරා, අධෝරක්ත  ස්පර්ශක, මයික්‍රෆෝන සහ අනෙකුත් උපකරණ අපගේ ද්‍ර ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ස්පර්ශක හැඟීම  පුළුල් කර ඒවායේ සංවේදීතාව වැඩි කරයි.  කෘතිම ශරීර කොටස් (Prosthetics), උපකරණ සහ රසායනික හා ශල්‍ය වෛද්‍යය මැදිහත්වීම් ශාරිරික ආබාධ සහිත පුද්ගලයින්ට පවා සිය පරිසරයේදී සාර්ථකව ක්‍රියාත්මක වීමට මඟ පාදයි.

American Association for the Advancement of Science මගින් සකසන Science for All Americans On-Line හි පළවූ THE HUMAN ORGANISM නම්  6 වෙනි පරිචේදය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක මුල් ලිපියයි මේ.

අද ලිපිය 6 වෙනි පරිචේදයෙහි HUMAN IDENTITY යන කොටස ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: