සැමට විදු නැන නුවණ – Science Literacy for All

සඳ හිටිහැටියේ අතුරුදන් වුණොත් මොනවා වෙයිද?

 

මෙම මාතෘකාවම අප මීට කලින් තතු මගින් කතා කර තිබුණත් අද මේ ඉදිරිපත් කරන්නේ වෙනත් කෝණයක්, වෙනත් මානයක්.

සොමි ගුණය ගැන කියද්දී ලප නොමවන් සඳ ගැන කතා කලාට සඳ මතු පිට කැලැල් (ලප) පිරී ඇති බව බොහොම ප‍්‍රකට කාරණාවක්. ඉන් කියැවෙන්නේ චන්ද්‍රයාගේ ජීවිත කාලය තුල අසංඛ්‍ය වූ අභ්‍යාවකාශ පාෂාන මගින් එම කැලැල් ඇති වූ බවයි. පාෂාණ කැබලි නිරන්තරයෙන්ම සඳ මතුපිටට කඩා වැටුණත් අපට බොහෝ වෙලාවට ඒවා පෙනෙන්නේ නැත. හැබැයි 1187 වසරේදී එවැන්නක් දුටු බවක් වාර්තා වෙනවා. අපි ටිකක් විස්තර සොයා බලමු. ඔය වසරේ ජූනි මාසයේ දිනක අඩ සඳ නැතිනම් චන්ද්‍රවංකය ගින්නකින් දෙකට පැලී යනු දුටු බව එංගලන්තයේ කැන්ටබර්හි පූජකයන් පිරිසක් වාර්තා කළහ. ඒක ඒ විදිහට සිද්ධ වෙන්න පුළුවන් දැවැන්ත අභාවකාශ පාෂාණයකින්. එහෙම වුණා නම් සඳ මතු පිට දැවැන්ත ආවාටයක් සෑදෙන්න  ඕනෑය. එහෙත් තාරකා විද්‍යාඥයන්ට ඒත්තු යන තරමට එවැන්නක ලකුණු සොයා ගැනීමට හැකිවී නැත. ඉතින් ඔය කියන ඝට්ටනයෙන් උල්කා වර්ෂාවකට මුල පිරුණේ නැති වුවත් පෘථිවිය මත උල්කාශ්ම සියයකට වැඩි ප‍්‍රමාණයක් පැමිණ ඇත්තේ චන්ද්‍රයාගෙනුයි.

Related image

චන්ද්‍රයා බිහිවන අවස්ථාවේ එය අදට වඩා පෘථිවියට බෙහෙවින් සමීපව සිටියේය. ඒ අවධියේ  චන්ද්‍රයාට පෘථිවිය වටා කක්ෂගතව ගමන් කිරීමට ගත වූයේ අද  මෙන් දළ  වශයෙන් දින 28 ක් නොව දින හයක් ඔව්, දින හයක් පමණකි. අද රාත්‍රියේ අප දකින බක් මහ පුන් සඳ මෙන් නොව එම අවධියේ  පෘථිවියේ සිට චන්ද්‍රයා බලන්නෙකුට පුදුමාකාර විශාලව දකින්නට ඇත. (හැබැයි ඉතින් මිනිස්සු ඒ කාලයේ හිටියා නම් තමයි)  අද අප දකින චන්ද්‍රයා මෙන් 16 ගුණයකින් වශාල සඳක් තමා එදා පායා එන්නට ඇත්තේ. නිකමට වගේ හිතුවොත් බෙහෙත් පෙත්තක් අතේ දුරින් තබා දකිනවා වෙනුවට පීරිසියක් තබා දකිනවා වාගෙයි. එපමණක් නොවෙයි, දින කිහිපයට වරක් සූර්යග‍්‍රහණයක් ඇති වන්නට ඇති.

පෘථිවිය හා සසදද්දී කුඩාවට පෙනුණද  චන්ද්‍රයාද විශාල ආකාශ වස්තුවකි. ඉතින් එය දෙකට කඩන්න හෝ දැනට ගමන් කරන කක්ෂයෙන් ඉවතට  තල්ලූ කරන්න පවා අති දැවැන්ත ග‍්‍රහකයක් (asteroid ) අවශ්‍ය වන බවයි විද්‍යාඥයන් කියන්නේ. අපේ වර්තමාන දැනුමෙහි හැටියට  නම් අපේ සෞරග‍්‍රහමණ්ඩලයේ එවැනි දැවැන්ත ග‍්‍රහක නැතිවා පමණක් නොව එවැනි ඝට්ටනයකට තුඩු දෙන කක්ෂයක් ගමන් කරන ග‍්‍රහකයන්ද නැත.

 

ඉතින් කියන්න වෙන්නේ චන්ද්‍රයා දැනට තියන විදිහටම වගේ ඉදිරියටත් තියේවි. ස්ථිර වම කියන්නේ නැතිව ‘දැනට තියෙන විදිහටම වගේ’ කියලා ඉබේම කියවුණා නොවෙයි. මන්ද, චන්ද්‍රයා ඇත්තටම සෙමින් සෙමින් අපෙන් ඈත්වෙයි. මොනවා වෙන්න බෑ.! කියා ඔබ කියාවි. ඒත් අපට නොදැනුනාට චන්ද්‍රයා සෑම වසරකම අඟල් 1.49 (සෙ.මී. 3.78)කින් දුරස්ත වේ. කාලය ගැන කීවොත් වසරකට අපේ ඇඟිලිවල නියපොත්තක් වර්ධනය වන ප‍්‍රමාණයකින්. එත් ඉතින්  ඇයි එහෙම ඈත් වෙන්නෙ?

Image result for how moon formed

මෙයට වසර බිලියන 45කට පමණ පෙර අභ්‍යවකාශ පාෂාණ මහා ඝට්ටනයක් හේතුවෙන් චන්ද්‍රයා බිහි වූ දා පටන්මයි චන්ද්‍රයා අපෙන් ඈත් වෙන්නේ. ඊට බලපාන්නේ උදම්(tides ) අපට හුරුපුරුදු මුහුදේ වඩ දිය බාදිය උදම් නොව එහි අනික් පැත්තයි: එනම් පෘථිවිය මගින් චන්ද්‍රයා වෙත යොදන උදම් බලයයි. පෘතිවිය වඩා වේගයෙන් භ‍්‍රමණය වන නිසා එය එහි උදම් නෙරීම (tidal bulge ) චන්ද්‍රයාට වඩා මදක් ඉදිරියට අදියි. එම නෙරීමේ ස්කන්ධයෙහි ගුරුත්වය චන්ද්‍රයා ඒ සමග අදියි. එය පෘථිවියේ භ‍්‍රමණය මන්දගාමී කරන අතර චන්ද්‍රයාගේ භ‍්‍රමණය මද වශයෙන් වේගවත් කරයි. එය එසේ සිදුවෙද්දී චන්ද්‍රයා ඉහළ කක්ෂයකට මාරු වෙයි.

ඉතින් චන්ද්‍රයා ඇත්තටම නැතුව ගියොත් සිදුවන්නේ කුමක්ද?  මොනවගේ වෙනස්කම් ඉන් ඇතිවේද? ඔබ කැරකෙන බඹරයක් ලෙෂ පෘථිවිය ගැන සිතුවොත් එය දැනට අංශක 23ක් ඇළට(tilt) තමයි තියෙන්නේ.  එය වසර දසදහස් ගණනක් තිස්සේ පැත්තෙන් පැත්තට වැනුණත් ඒ තදින් නොවේ. එම ඇළය ස්ථායි කිරීමට චන්ද්‍රයාගේ බලගතු ගුරුත්වාකර්ෂණීය බලය අවශ්‍ය වේ. ඉතින් චන්ද්‍රයා හිටි අඩියේ අතුරුදන් වුණොත් පෘථිවියේ ඇළය අංශක බිංදුවේ (0 degrees ) සිට අංශක 85(85 degrees) දක්වා පරාසයක් ගනී යයි ගණන් බලා තිබේ. පෘථිවිය මත ඍතුවලට බලපාන්නේ ඔය ඇළය නිසාත් එමෙන්ම සෙමින් පැද්දීම කාලීනව එන අයිස් සමයන්ට බලපාන ප‍්‍රධාන සාධකයක් නිසාත් (ඇළයේ) විශාල වෙනස්කමක් ඇතිවුවහොත් මහා ව්‍යසනයක් හටගන්නවා නිසැකය.

එතකොට අපේ සාගරවල වඩදිය බාදිය වශයෙන් ඇති වන උදම් මුළුමනින්ම වාගේ ඇණ හිටිනු ඇත. සූර්යයාද පෘථිවිය මත උදම් බල ඇති කරන නමුදු උදම් සම්පූර්ණයෙන් නැති නොවුණත් චන්ද්‍රයා අතුරුදන් වුණොත් දැන් තියෙන විදිහට උදම් හට නොගනු ඇත. එය චන්ද්‍ර මාසයට මනාව සුසරව ඇති ජීව චක‍්‍ර සහිත දහස් ගණන් ජීව ස්වරූප කෙරෙහි දැඩි බල පෑම් ඇති කෙරේ.

අපි අර කලින් කතා කළ සඳ මත  කැලල් මිලියන ගණන් සාදන අභ්‍යාවකාශ පාෂාණ චන්ද්‍රයා නැති නිසාවෙන් අපේ ලෝකයටකෙලින්ම  කඩා පාත් වනවා ඇති. ඉතින් දේශගුණ දැඩි විපර්යාස නිසා හෝ මිහිතලය මතට කඩා වැටෙන පාෂාණ නිසාවෙන් අප මිය නොගියත් අපේ ජීවිත විශාල වශයෙන් වෙනස් වනු නොඅනුමානය. කිරියි පැණියි ඉල්ලා කෑ මොර ගාන්න කුඩා දරුවන්ට ‘හඳ මාමා’ නැතුව යාවි. දරුවන් පමණක් නොවෙයි පෙම්වතුන් කලාකරුවන්ට වුණත් ඒ අඩුව තදින් දැනේවි. හඳට මිනිසෙකු ගියාද නැද්ද යන කුමන්ත‍්‍රණ කතාවලටත් තිතක් තියන්න වේවි. හඳටබල්ලන්ගේ  උඩු බුරලීම් නෑසී යාවි.පූර්ණ චන්ද්‍රයා පායන විට ඇතිවෙතැයි කියන මිනිස් චර්යාවන් හි වෙනස් කම් නැත්තටම නැතිවේවි. මොකක්ද ඒ අන්තිමට කීවේ? — මිනිස් චර්යාවන් හි වෙනස් කම්? සමාජයේ බහුලව නොයෙක් මත පැතිර තිබුනත්,   මිනිසුන්ගේ හැසිරීම කෙරෙහි පුන්සඳ කිසිදු බලපෑමක් නැති බව විද්‍යාත්මක අධ්‍යයනවලින් මනාව ඔප්පු වී තිබේ. ඉතින් පුන් සඳ පායා ඒමෙන් අපරාධ වැඩිවීම, පිස්සුව උග‍්‍රවීම, රෝහල්වලට ඇතුළු කිරීම් ඉහළ යාම, උපත් සංඛ්‍යාව වැඩිවීම වගේ මැති මතාන්තර හුදු ලස්සන කතා පමණි.

Image result for blue moon today

මේ වසරේ ජනවාරි 31 දා වගේම අද රාත්රියේත් පායන අධිචන්ද්‍රයා හෙවත් Bluemoon ඇත්තටම දුර්ලභ දර්ශන. එක වසරක අධි-චන්ද්‍රයන් දෙවරකම් පෑවුයේ 1999 වසරේ දී. නැවතත් එවැන්නක් දැක ගත හැකිවෙන්නේ 2037 මාර්තුවේ දියි.

The Science Why 2 නම් ග්‍රන්ථයේ පළවූ What would happen if the Moon disappeared? යන කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: