අපේ විතරක් නෙවෙයි, පෘථිවිය මත ක්ෂීරපායීන් විශාල බහුතරයකටත් ඇත්තේ පා ඇඟිලි පහක් බැගින් හෝ අත් පා ඇඟිලි පහ බැගින්. කොහොම වුණත් එකකට පහයි. ඒත් ඉතින් අඩුත් නැතිව වැඩිත් නැතිව හරියටම පහක් මොකෝ ? මේ සංඛ්‍යාවේ ඇති වැදගත්කම මොකක් ද?
අප මුලින් කිව්වාට විශාල බහුතරයකටත් ඇත්තේ පා ඇඟිලි පහක් බැගින් කියලා, මීට වෙනස් විදිහට ඇඟිලි පිහිටලා තියෙන අයත් ඉන්නවා. ඌරන්ට ඇත්තේ හතරයි, රයිනෝසිරස් සහ එමුට තුන බැගින් ද, මුවන් සහ පැස්බරුන්ට දෙක බැගින් තමයි තියෙන්නේ. අපි හොඳට දැක පුරුදු අශ්වයන්ට ඇත්තේ එකම එකයි. මේ හැම දෙනාම පරිණාමය වෙද්දී පා ඇඟිලි අඩු වෙලා ගොසින් තිබෙනවා. ඒක ඇත්තටම සතුන් අතරේ ප‍්‍රවණතාව වගෙයි පේන්න තියෙන්නේ. ඔව් ඇඟිලි අඩුවෙනවා මිස වැඩිවෙන්නේ නැහැ. ඒත් ඉතින් ඒ ඒ සතා ගතහොත් පා ඇඟිලි අඩු වුනේ මන්දැයි යන්නට බලපාන්නට ඇත්තේ කුමක් ද යන්න ගැන අපට කළ හැක්කේ අනුමාන කිරීම තමයි. නිදසුනක් ගතහොත් අශ්වයන්ගේ ආදිතමයන් වනාන්තර වල සිට මහා තැනිතලා කරා ඇදී යද්දී ඔවුනට වේගයෙන් දිවීම අවශ්‍ය වුණා. ඒ සඳහා ඇඟිලි අඩුකර ගැනීමට අවශ්‍ය වුණ නිසාවෙන් අවසානයේ දී එකක් දක්වාම සංඛ්‍යාව අඩු වී ගියා. එය ඔවුනට වේගයෙන් දිවීමට මග පෑදුවා ද?. එහෙමද නැතිනම් වෙන විදිහක් ද? අළුත්ම පර්යේෂණ පෙන්නුම් කරන්නේ, පා ඇඟිලි ඔය විදිහට හැලී යාම ගැන සරලව ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශ ප‍්‍රඥා ගෝචර නොවන බවයි.
අප ඉතිහාසය දිගේ වසර මිලියන 460 ක් ආපස්සට ගියොත් අපට දැන ගන්නට හැකිවේවි ඒ වන විට නම් මිහිතලය මත ගොඩබිම සතුන් හටගෙන නැති නමුත් ජලයෙන් පිටතට ඇවිදින් හුස්ම ගැනීමට හැකි මත්ස්‍යයන් සමාන සතුන් සිටි බව. ඒ සතුන් තමයි මුලින්ම ගොඩබිම ගවේෂණයට ඉදිරිපත් වුණේ. ඔවුන්ගේ ගාත් පාද වලට වඩා වරල් වගේ තමයි තිබුණේ. ඒත් ව්‍යුහමය වෙනස්කම් වල ලක්ෂණ ඒ අවධියේත් පෙන්නුම් කරා. ඔව්, ජලයේ දී සංචලනය(එහා මෙහා යාම) වර්ධනය කරන එමෙන්ම ගොඩබිම දීත් වඩාත් හොඳින් එහා මෙහා යාමට උපකාරීවන ව්‍යුහමය වෙනස්කම්. උදාහරණයකට වඩාත් අනම්‍ය උරහිස් සන්ධි දෑත් විය හැකිය.
Acanthostega සහ Ichthyostega වැනි නම් වලින් හැඳින් වූ මෙකී ආදිතමයන් ගැන කීවොත් හරියට මත්ස්‍යයෙකුගේ පිටුපස කොටසට සැලමන්දරා(salamander) උභය ජිවියෙකුගේ ඉදිරිපස කොටසට සවිකරා වගෙයි. සමහරුන්ට ඇඟිලි 8 ක් සහිත පාද තිබූ අතර සමහරුනට තිබුණේ පා ඇඟිලි හතක් හෝ හයක්. ඒක හරියට ඉදිරි වසර මිලියන 400 තුළ කුමක් භාවිතා කළ යුතු ද යන්න ගැන ස්වභාව ධර්මය (nature) අත්හදා බලන්න සිදු කළ මහා පරීක්ෂණයක් වාගෙයි.
මෙලෙස මහා මුහුදේ සිට ගොඩබිම කරා මහා සංක‍්‍රමණය අඛණ්ඩව සිද්ධවෙමින්, නිය සහිත සත්ව පාද බවට පරිවර්තනය වෙද්දී ඇඟිලි පහ වඩාත් කැමති තේරීම බවට පත් වූ බවක් පෙනෙනවා.
සතුන් ජලයෙන් ඉවත්ව ගාටාගෙන ගොඩබිමට ආවේ ඇයි ? අළුත් න්‍යායකින් කියැවෙන්නේ ඔවුන් එසේ කළේ වැඩි දුර ඇතක් දැක ගැනීම සඳහා බවයි. ජලය ආලෝකය විසුරුවන අතර ලොකු ඇස්වලට එම ගැටළුව ජය ගැනීම අසීරු විය. ඒත් වාතය එලෙස ආලෝකය එතරම් විසුරුවන්නේ නැත. එහෙයින් දියෙන් ගොඩට එන සතුන්ට ගවේෂණය කිරීම පිණිස පුළුල් විස්ටාවක් හෙවත් දිග පටු දුර දසුනක් ලැබිණ.
ඔබට නිකමට පුළුවන් මේසයකට අතේ ඇඟිල පහ හොඳට දිගෑරලා තද කරලා අත තියලබලන්න. ඔව්, ‘හොඳ ගැම්මක් ගන්න ඇඟිල පහ තමයි නියම සංඛ්‍යාව’ කියා ඔබට හිතන්න පුළුවනි. එත් මේසය වගේ නොවෙයි, ඒ කාලයේ පෘථිවි පරිසරය කෙබඳු වී දැයි අපි නිච්චියටම දන්නේ නැහැ. පොළොව වගුරු ගතියකින් යුක්ත නම් මතුපිට පෘෂ්ඨය වැඩි කර ගැනීමට තව ඇඟිලි තිබුණා නම් හොඳයි කියා හිතෙන්න පුඵවනි. ඒත් මහ පොළොව වියළි ගතියෙන් යුක්ත වුණේ නම් විලෝපියන්ට මෙන්ම ගොදුරු සතුන්ට ද වේගය බොහොම වැදගත් වෙනවා. භාරය(load) අඩුකර ගැනීම පිණිස අවැසි වන්නේ අඩු ඇඟිලි සංඛ්‍යාවක්.
ඒත් ඉතින් කිසිම සතෙකුට හිතා මතා ඇඟිලි ගණන වැඩි කර ගන්න බැහැනේ. මොනයම් ආකාරයක හෝ අවාසි තත්ත්වයෙන් පසු වූ සත්ව විශේෂ ස්වභාවික වරණය මගින් ක‍්‍රමයෙන් ඉවත් කෙරෙනවා. ඉතින් භූ විද්‍යාත්මක කාලය ගතහොත් ඇඟිලි අට, හත, හය අඩු වී ගොස් ඇඟිළි පහ යෝග්‍ය සංඛ්‍යාව හැටියට ප‍්‍රමුඛත්වයට පත්වන්නට වැඩි කලක් ගත වූයේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් ඇඟිළි අඩුවීමට මිස වැඩිවීමේ ප‍්‍රවණතාවක් දක්නට නැත්තේ ඇයි ? ඊට අර්ධ වශයෙන් බලපාන්නේ ප‍්‍රවේණි විද්‍යාවයි.
කලලයේ මුල් අවස්ථාවේ දී තමයි ඇඟිලි සෑදෙන්න පටන් ගන්නේ. මිනිස් වර්ගයාගේ නම් කලලයට සති හතරක් පමණ ගත වූ තැන. ඔය අවධියේ ඒ කියන්නේ කලලයේ මුල් අවස්ථාවේ හැම තැනම යම් යම් දේ සිද්ධවෙනවා. ඇඟිලි වර්ධනය පාලනය කරන ජාන කට්ටල, ඊට කිසිසේත් සම්බන්ධයක් නැති ප‍්‍රජනන පද්ධතිය වගේ දේ වලට වගකිව යුතු අනෙකුත් ජාන කට්ටල සමග ජාලගත කරලයි තියෙන්නේ. ඉතින් ඇඟිලි සංඛ්‍යාව වැඩි කිරීම පිණිස අවශ්‍ය බරපතල ජානමය හැසිරීම අනිවාර්යයෙන්ම ශරීරයේ අනෙකුත් පද්ධතිවලට බලපානවා. ඉතින් ඒ හන්දා සිද්ධවුණේ ඇඟිලි අටේ, හතේ සහ හයේ සතුන් බොහොමයක් ම නෂ්ටප‍්‍රාප්ත වී යාමයි.
බොහොමයකගේ සතුන්ගේ ජාන සූක්ෂමව ක‍්‍රියා කරමින් අතේ සහ පයේ නිසි තැන ඇඟිලි පහ බැගින් පිහිටවනු ලබනවා. වර්ධනය වන ගාත‍්‍රයේ ජාන සංයෝගයක් මගින් එකිනෙකෙහි ක‍්‍රියාකාරීත්වය එක්කෝ හීන කරනවා නැතිනම් වෙර ගන්වනවා. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පටක වල රටා හට ගනී. දළ වශයෙන් සීබ‍්‍රා සතුනට ඉරි හට ගන්නා ආකාරයට ගාත‍්‍රා මුලින් කාටිලේජ(සම්බන්ධක පටක) ද අනතුරුව ඇඟිලි පහේ රටාවට අස්ථි ද වර්ධනය කරගනියි.
අන්තිම කාරණාව : අපේ මාපටඟිල්ල පැහැදිලිවම අනෙක් සතරට වඩා වෙනස්. අපට පෙනී යන විදිහට මාපටැඟිල්ල සෑදීමට ක‍්‍රියාකාරී වන ජාන අනෙකුත් ජාන වලට වඩා වෙනස්. මේ වෙනස ගැන ඇත්තටම අප දියේ සිට මුලින්ම ගොඩබිමට ආ සතුන්ට, එමෙන්ම වරල් සත්ව පා බවට පෙරළීමට උදව් කළ ජානවලට ස්තූතිවන්ත වෙන්න ඕන. පසුගිය වසර මිලියන 2 තුළ පරිණාමය තව දුරටත් ක‍්‍රියාත්මක වී මපටැඟිල්ල අද ප‍්‍රමුඛ බවට පරිවර්තනය කර තිබෙනවා. පිළිමල් මාපටඇගිල්ල (opposable thumb) තිබෙන්නේ අපට පමණක් නොවුණාට ඉන් වැඩිම ප‍්‍රයෝජන ගන්නේ මිනිස් අප තමයි.
The Science Why 2 නම් ග්‍රන්ථයේ පළවූ Why do we have five digits
on each hand and foot? යන කොටස ඇසුරෙනි.