ෆොසිල මුලින් ම සොයා ගනු ලැබූ අවස්ථාවලදී අපේ ආදිතමයන්ට ඒවා කුමක් දැයි යන්න ගැන හරි හැටි අවබෝධයක් නොවීය. ඒ නිසා ෆොසිල වටා නොයෙකුත් මිථ්‍යා කතා හා ජනප‍්‍රවාද ගෙතී ඇත. බහුලව ලැබී තිබෙන, ඇමොනයිට නම් නෂ්ටප‍්‍රාප්ත සාගරික සත්ව විශේෂයක ෆොසිල(ඉහත ද දක්වා ඇත) ගැන මේ විදිහේ කතා ගණනාවක්ම ගෙතී තිබේ. පුරාණ ගී‍්‍රකයන් විශ්වාස කළේ මේ සතුන් ඔවුන්ගේ අමොන් නම් බැටලු රුවති දෙවියන් වූ ඇමොන්ට යම් ආකාරයක සම්බන්දයක් තිබූ බවයි. චීන ජාතිකයෝ එම ෆොසිල ‘සත්ව අඟක්’ ලෙස සලකා ඒවා ‘අං පාෂාණ’ යන නම දුන්හ. මෙම වක් ගැසුණු ෆොසිල එංගලන්තයේදී සැලකුණේ, යම් හේතුවක් නිසා හිස අහිමිව ගොස් ගල්ගැසුනු සර්පයන්ගේ සැකිලි හැටියටය. ෆොසිල අතරින් වඩාත් බහුලව හමු වී ඇති එකිනොයිඩියන් (Echinoids = බාහු රහිත, ගෝලාකාර හෝ පැතලි තැටි ආකාර දේහ සහිත සත්ව විශේෂයකි) මුදු ඉකිරියන්(sea urchins) ලෙස ද හඳුන්වනු ලබන සතුන්ගේ ෆොසිලයි. මේවා සමහර රටවල දී සැලකුණේ මාරාන්තික වසවලින් අප ආරක්ෂා කිරීමට හැකියාව තිබෙන සර්ප බිත්තර ලෙසටය. මේ ආදී වශයෙන් ෆොසිල වටා ගෙතී ඇති ප්‍රබන්ධ එමටය. ඒත් අප මේ උත්සාහ කරන්නේ ෆොසිල ගැන විද්‍යාත්මක විමසීමක් කිරීමටයි.
ජලය තුළ හෝ ඒ ආසන්නයේ සතෙකු හෝ ශාකයක් මිය ගිය විට ෆොසිල සෑදේ. එසේ මිය යන සත්වයාගේ හෝ ශාකයේ අවශේෂ, ඒවා වියෝජනයට බලපාන බොහොමයක් සාධකවලින් පරිවරණය කරන්නේ නැතිනම් අවුරන්නේ ජලයයි. නිදසුනක් ලෙස සතෙකු වයස් ගත වීම හේතුවෙන් මහ මුහුදේ පත්ලේ මිය ගියා යැයි සිතමු. ඒ සතාගේ සිරුරේ මෘදු කොටස් බැක්ටීරියා මගින් පරිභෝජනයට ගනු ලැබේ. එහෙත් මෙහිදී වඩා තද පිට සැකිල්ල (exoskeleton) එලෙසම පවතී. කාලය ගෙවී යත්ම අවසාදිතවලින් පිටසැකිල්ල වැසී යයි. දිගින් දිගටම මෙලෙස අවසාදිත ඒකරාශී වෙද්දී අවසාදිත පහළ ස්තර ඒවා මත ඉහළින් ඇති ස්තරවල හේතු කොටගෙන පහළ ස්තර වඩාත් සංයුක්ත වේ. කල් ගතවෙද්දී මේ පීඩනය අවශේෂ, පාෂාණ බවට පත් කරයි.
මහද්වීපික තැටි එකිනෙක මතට ඝට්ටනය වෙමින්, පෘථිවිය වටා එහා මෙහා වීමට පටන් ගනිද්දී කඳු බිහිවන්නට පටන් ගැනිනි. කලින් පැවති මුහුදු පත්ල මේ අන්දමින් උඩට ඉස්සී වියළි ගොඩ බිම බවට පත්විය. මේ අනුව සංචලනය හේතුවෙන් (මුහුදු පත්ලේ තිබූ) ෆොසිලද මතුපිට ආසන්නයටම පැමිණෙන්නේ ෆොසිල එකතු කරන්නෙකුගෙන් නෙත ගැටීමේ අවස්ථාව වැඩි කරමිනි. කෙසේ හෝ අවසානයේදී සැඟවී තිබූ ෆොසිල, (සුළං) ඛාදනය මගින් නිරාවරණය වේ. මෙලෙස දැනටත් ෆොසිල මිලියන ගණන් සොයා ගනු ලැබ ඇති අතර තවත් මිලියන ගණනක් සොයා ගැනීම පිණිස ඇත. එසේ වුවද ෆොසිලකරණය (fossilization) දුර්ලභ සිද්ධියකි. මෘදු ශරීර සහිත සතුන් සහ කාෂ්ටීය (woody) කොටස් රහිත ශාක ද ෆොසිලකරණය වන්නේ ඉතා කලාතුරකිනි.
ෆොසිල අර්ථ දක්වන්නේ කෙසේද?
ෆොසිල ගැන කියන කොට අප බොහෝ දෙනෙකුට මතකයට එන්නේ කෞතුකාගාර වගේ තැන්වල තැන්පත් කර තිබෙන ඛනිජ බවට පත්කෙරුණු සත්ව අස්ථි (bones) හෝ කවච (කට්ට – shells) හැටියටයි(mineralized bones or shells). එහෙත් ඒවා ආදි කාලීන ජීවීන්ගේ අවශේෂ හෝ ශේෂමාත්‍ර වශයෙන් පවා පැවතිය හැකියි. ඒවා පවතින වෙන කිසිවක් නොමැතිව පාසටහන්, කුහර හෝ සිරුරුවල වාත්තු අච්චු වශයෙන් පමණක් ලෙසද පැවතිය හැකියි. ඉතින්, ෆොසිල ආශ‍්‍රයෙන් යම් අර්ථ දැක්වීමක් කිරීම ඇතැම් අවස්ථාවල හරියට ජිග්සෝ ප‍්‍රහේළිකාවක් විසඳනවා වැනිය.
ෆොසිල අර්ථ දැක්වෙන එක් ක‍්‍රමයක් වන්නේ (ෆොසිලය) සමාන කමක් දක්වන බවක් පෙනී යන වර්තමානයේ ජීවත්වන සතෙකුගේ සැකිල්ල හා සංසන්දනය කර බැලීමයි. නිදසුනක් ගතහොත් ඉතා හොඳින් ආරක්ෂා වූ ෆොසිල බවට පත් දරණ ගැසනූ ඇමොනයිට (ammonites) කට්ට බොහොමයක් ඇත. ඇමොනයිටයන් යනු දැනට නෂ්ටප‍්‍රාප්ත, පිට කොන්දක් රහිත සාගරික සත්ව කණ්ඩායමකි. කෙසේ වෙතත් මේ සතුන්ගේ ශරීරවල මෘදු කොටස් ආරක්ෂාවී නොමැත. එහෙත් මේ ෆොසිල යළි තැනිය හැකි වන්නේ නොටිලයන් (nautilus) නූතන සාගරික සත්ව විශේෂයක් වන අමොනයිටයන්ට බෙහෙවින් සමානවන හෙයිනි. ඉතින් එකී අවස්ථාවේ නම් අර්ථ නිරූපණය පහසුයි.
යම් විශේෂයක සොයා ගෙන ඇත්තේ සැකිලි කොටස් එකක් හෝ දෙකක් පමණක් නම් ඒවා නිසියාකාරව අර්ථ දැක්වීම උගටය. නිදසුනක් දක්වතොත්, සොයා ගත් ඩයිනසෝර ෆොසිලයක කොටස කලක් අර්ථ දැක්වුණේ එම සතෙකුගේ අඟක් හැටියටයි. එහෙත් දැන් එය සලකනු ලබන්නේ, විශාල උල් වූ මාපටැඟිල්ලක් ලෙසටය. ඉතින්, එක හා සමාන ෆොසිල සාම්පල ගණනාවක්ම සොයා ගන්නා තුරු එම සත්ව විශේෂය ගැන විස්තර කිරීමට උත්සාහ කිරීම නුවණට හුරු නොවේ.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ පෘථිවිය මත ජීවය මෙයට වසර බිලියන 3.5කට පෙර ආරම්භ වූයේය යනුවෙනි. එය සිදු වූයේ පෘතිවි වායු ගෝලයේ නිරායාසයෙන් සිදු වූ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවල සංකිර්ණ අනුක‍්‍රමයක ප‍්‍රතිපලයක් ලෙසට බව ඔවුහු අදහස් කරති. මෙකි ප්‍රතික්‍රියාවල ප්‍රතිපලයක් ලෙස අණු(Molecules) බිහිවිය. අනතුරුව අණු එකින් හා අන්තර්ක්‍රියා කල අතර එය අවශානයේ මුල්ම ජීව විශේෂයන්ට මග පාදන්නට ඇත.
මුල්ම ජීව විශේෂය ස්වභාවිකව හට ගන්නා ආහාර මත යැපුණු ඔක්සිජන් ආශ්වාස නොකළ බැක්ටීරියා විය හැකිය. මේ ආදිතම ජීව ස්වරූපයේ ෆොසිල, වසර බිලියන 3.5ක් තරම් පැරණි ඕස්ටේ‍්‍රලියානු පාෂාණවල තිබී සොයාගෙන ඇත. මේ අනුව පෘථිවිය මත ජීවය ගැන කරුණු හැදෑරීමේ දී අපව බෙහෙවින් උපකාර වන්නේ ෆොසිලය.
අතුරුදන් ෆොසිල : ලොව වඩාත්ම ප‍්‍රචලිත ෆොසිල මුහුදු හා ගංගාවල සතුන්ගේ ෆොසිලයි. එහෙත් ගොඩබිම සතුන්ගේ ෆොසිල බෙහෙවින් දුර්ලභය. ඊට හේතුව ගොඩබිමදී පහසුවෙන් ෆොසිල නොසෑදෙන හෙයිනි. එහෙත් ඊට පටහැනිව, ලෙන් සහ ගුහාවල ඒවා හට ගැනීමට හැකියාව ඇත.
Tell Me Why(Manorama – 65) හි පළවූ How are fossils formed? ඇතුළු කොටස් කිහිපයක් ඇසුරෙනි