සැමට විදු නැන නුවණ – Science Literacy for All

දුම්වලාව විනිවිද දැකීම: ප‍්‍රශ්නෝත්තර සංග‍්‍රහය 1

වායු දුෂණය පෙනෙන තරමටම භයානක ද? අපිරිසිදු වාතය පිළිබඳ අයහපත් පුවත් දින දිනම අයහපත් වන බවක් පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට වායු දුෂණය අකල් මරණ නවයකින් එකකට වගකිව යුතුය. එය පොහොසත් රටවල පමණක් නොව දුප්පත් රටවලට ප‍්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටළුවකි. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් සෑම වසරකම සිදුවන අකල් මරණ 200,000 ක් පමණ පිටුපස වායු දුෂණය ඇති බවට සැක කෙරේ. එක්සත් රාජධානිය නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම් පිළිබඳ යුරෝපා සංගම් සීමාවන් දිගින් දිගටම නොතකා හැරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට 2017 පෙබරවාරියේ තර්ජනය එල්ල වූ රටවල් පහ අතුරෙන් එකකි.

කෙසේ වුවද සියල්ල පෙනෙන තරම් ආකාරයට නරක නැත. දුෂිත වායුවල බලපෑම් ප‍්‍රමාණ කිරීම නැතිනම් සංඛ්‍යා වශයෙන් ප්‍රකාශ කිරීම,  සිරස්තල මගින් හුවා දක්වනවාට වඩා සංකීර්ණ එමෙන්ම අවිනිශ්චිත කටයුත්තකි. යම් ක‍්‍රියා මර්ගයක් ගැනීම පිණිස දේශපාලඥයන් වෙත එල්ල වන එන්ට එන්ටම වැඩිවන බලපෑම් වැදගත්  ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු කරයි. වායු දුෂණය එන්ට එන්ටම වැඩිවේ ද? එය කෙතරම් බැරෑරුම් ද? ඒ ගැන කළ හැක්කේ කුමක් ද? ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට පිළිතුරු මේ ලිපිපෙලෙන් ඉදිරිපත්කෙරේ. ලිපි පෙළෙහි මුල් ලිපියයි මේ.

ප‍්‍රශ්නය: වායු දුෂණය ඇත්තටම නරක අතට හැරෙමින් පවතීද?

සීඝ‍්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් සහිත රටවල වාතයේ දුෂණය එන්ට එන්ටම ඉහළ යමින් පවතින බව ප‍්‍රතික්ෂේප කළ හැක්කක් නොවේ. එහෙත් පොහොසත් රටවල් බොහොමයක් ගතහොත් පවතින්නේ වෙනස් කතාවකි. නිදසුනක් ලෙස PM2.5 particulates යනුවෙන් දැක්වෙන අංශුමය ද්‍රව්‍ය ගැන සැලකිල්ල යොමු කරමු. වායු දුෂණයෙන් සිදුවන බරපතලම සෞඛ්‍ය ගැටළුව අංශුමය ද්‍රව්‍ය හානිය ලෙස විශ්වාස කෙරේ. (වාතයේ ඇත්තේ මොනවාද  යන පහත දැක්වෙන කොටස බලන්න).

වාතයෙහි ඇත්තේ මොනවාද ?

අංශුමය ද්‍රව්‍ය Particulate matter (PM):මේවා පැමිණෙන්නේ: බලාගාර, කර්මාන්තශාලා, ගෑස් උඳුන්, කර්මාන්ත, යමහල්, දුලි වලා, ලැව්ගිනි, මෝටර් රථ දුමාරය

සෞඛ්‍ය බලපෑම: හරහට මයික්‍රොමීටර(µm) 10 ට අඩු  ඕනෑම දුවිලි හෝ බිඳිති (PM10 ලෙස දැක්වේ) කෙනෙකුගේ පෙනහලූ ඇතුළටම කාවැදිය හැකිය. මයික්‍රොමීටර 2.5 µm ට අඩු (PM2.5) බිඳිති අංශු වඩාත්ම හානිකර වායු දුෂිකය.  0.1 µm වලට වඩා අඩු අධි සියුම් අංශුද ඊට ඇතුළත්ය. PM2.5ට දිගු කළක් නිරාවරණය වීමෙන් පෙනහලූ සහ හෘදය වස්තු  ක‍්‍රියාකාරීත්වය දුර්වල කරන අතර, විශේෂයෙන්ම හෘදයාබාධයකට හෝ ආඝාතයක අවදානම ඇති පුදගලයන්ගේ  මරණ සංඛ්‍යාව ඉහල දමයි.

නයිට‍්‍රජන් ඔක්සයිඩ (NO2): මේවා පැමිණෙන්නේ මාර්ග ප‍්‍රවාහණයෙන්, විශේෂයෙන්ම ඞීසල් එන්ජින් වලින් සහ ගොඩනැගිලි අභ්‍යන්තර රත් කිරීමේ ක‍්‍රම සහ බලාගාර වලිනි.

සෞඛ්‍ය බලපෑම් : PM2.5ට පසු වඩාත්ම හානිකර දුෂකය ලෙස සැලකෙන්නේ NO2 ය. ඊට නිරාවරණය වීමෙන් ශ්වසන ගැටළු ඇතිවිය හැකිය. අතිරේක NO2 (නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්) ස්වේච්ඡ සහභාගීවන්නන්ට පර්යේෂණාගාර පරීක්ෂණ වලදී ප‍්‍රදාහමය ප‍්‍රතිචාර පෙන්නුම් කළේය. කෙසේ වෙතත් දිගු කාලීන බලපෑම් පැහැදිලි නැත.

ලොව පුරා සාමාන්‍ය සාන්ද්‍රණ 1950 සිට 2015 අතරතුර සියයට 11 න් ඉහළ නැංගේ යයි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය බලපෑම් ආයතනය සහ සෞඛ්‍ය  හා ඇගයීම් ආයතනය මගින් නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ ප‍්‍රවණතාවයෙන් පිළිඹිබු වන්නේ ඉන්දියාව, බංගලාදේශය හා චීනය යන රටවල අධික ඉහළ යෑම්ය: මේ කාල සීමාව ඇතුළත ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, කැනඩාව සහ  ඕස්ටේ‍්‍රලියාව යන රටවල සාන්ද්‍රණ පහළ වැටිණ. (පහත සටහන බලන්න)

වායු දුෂණය රටවල් අතරේ පුළුල් විවිධතාවක් ඇත

බටහිර රටවල වායු දුෂණය ගැන මාධ්‍ය වාර්තා බොහෝ විට 1950 ගණන් වල සිට ඇති වී තිබෙන ප‍්‍රධාන පෙළේ වර්ධනයන්  ගැන සඳහන් කරන්නේ නැත. එහෙත් ඉදිරියට යාමේ හෙවත්  ප‍්‍රගතියේ සීග්‍රතාව   එක්සත් රාජධානිය ඇතුළු යුරෝපයේ මන්දගාමී වී ඇති අතර පිරිසිදු වාතය සඳහා වූ ලෝක සෞඛ්‍ය සංවිධාන උපමාන මෑතක දී අනුගමනය කරන බවටද  ලකුණු කිසිවක් පෙන්නුම් කරන්නේ නැත. ‘‘බටහිර යුරෝපය පුරා සමීක්ෂණ ස්ථාන වලින් ලැබෙන දත්ත වලින් පෙන්නුම් කරන්නේ PM2.5  මට්ටම් පහළ යමින් පවතින බවය’’ යි එ.රා.බාත් විශ්ව විද්‍යාලයේ ගැවින් ෂැඩික් පවසයි, ‘‘එහෙත් ඒ පහත වැටීම කඩිනමින් සිද්ධ වෙන්නේ නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් වායු දුෂණ ආකෘති (මොඩල) වැඩි දියුණු කළේ ෂැඩික්ය.

ප‍්‍රශ්නය:වායු දුෂණය අපට මරණය ගෙන එයිද?

වාතය දුෂණය වීම නිසා කොපමණ දෙනෙක් මරුමුවට පත්වන්නේ දැයි ගණනය කිරීම ගැටළු සහගත කාරණාවකි. පුළුල් වශයෙන් උපුටා දැක්වෙන සංඛ්‍යා ලේඛන අති විශාල වශයෙන් එකිනෙකට වෙනස් වේ. එමෙන්ම, බොහෝ ප‍්‍රමාණයක සංකීර්ණතා, අවිනිශ්චිතා සහ වැරදි අවබෝධ වසන් කරයි. (මරණ කොපමණ ද යන්න බලන්න)

ප‍්‍රථමයෙන්,  වායු දුෂණය පවතින වීදියක ගමන් කළ පළියටම කෙනෙකු මැරී වැටෙන්නේ නැති බව වටහා ගැනීම වැදගත්ය. එහෙත්, ඒ වෙනුවට ජීවිතයෙන් මාස ගණනක් උදුරා ගනිමින් මරණය ළඟා කරදීමට ඉඩ තිබෙන වෙනත් කාරණා වායු දුෂණය මගින් උග‍්‍ර අතට හරවයි. වායු දුෂණයේ වෛද්‍ය විද්‍යාත්මක බලපෑම් පිළිබඳ එ.රා. කමිටුව(Committee onthe Medical Effects of Air Pollutants  හෙවත්COMEAP)  ගණන් බලන අන්දමට ක‍්‍රි:ව: 2008 දී නිකුත් කළ මට්ටමට මානවීය PM2.5 (anthropogenic PM2.5) මුදා හැරුනොත් සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලය මාස හයකින් කෙටිවේ. මේ අහිමි වන මරණ සියල්ල එකට එකතු කළ කල්හි පිටත වායු දුෂණය මරණ 29,000 ක් පමණ  වලට වගකිව යුතු වන බව එම කමිටුව(COMEAP) ගණන් හදා බලා දැන ගත්තේය. එහෙත්, මේ මරණ සංඛ්‍යාව සිදුවීමට හේතුවනවා පමණක් නොව PM2.5  තවත් බොහෝ දෙනාගේ ජීවිත කෙටි කිරීමටද  හේතු වන බව COMEAP කමිටුව අවධාරණය කර කියා සිටියේය. එහෙත්, මාධ්‍ය බොහෝ විට වාර්තා කරන්නේ වසරක දී එක්සත් රාජධානියේ 29,000 ක් මරණ වලට වායු දුෂණය හේතු වන බවයි.

COMEAP කමිටුවේ ගණන් හිලව් උපකල්පන ගණනාවක් මත පදනම් විය. මෙහිදී පැන  නගින එක් ගැටළුවක් වන්නේ,  එහි ප‍්‍රභවය කුමක් වුවත් PM2.5  සියල්ල එකම ආකාරයේ සෞඛ්‍ය බලපෑම් ඇතිි කරාවිද යන්නයි. ‘‘මට නම් හිතෙන්නේ මේ ප‍්‍රශ්න ගැන හදාරන හැමෝම විශ්වාස කරනවා වෙනස්කම් තියෙන බව’’ බි‍්‍රටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මයිකල් බ‍්‍රවර් පෙන්වා දෙයි, ‘‘එහෙත් ඒවා මොනවාදැයි සමානුයෝගීව නැතිනම් දිගටම එකම ආකාරයකට  පැහැදිලි කර දැක්වීම උගහටයි’’

තවත් සංකීර්ණතාවන් මතු වන්නේ PM2.5 සහ NO2 (නයිට‍්‍රජන් ඔක්සයිඞ්) වල බලපෑම් අතිපිහිත වීමට ඇති හැකියාවෙනි. PM2.5 සහ NO2 වඩාත්ම හානිකර දුෂක වේ. ‘‘මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ NO2 වසංගතවේදය කියන්නේ බෙහෝ කොට අතිශය සියුම් අංශු හේතුවෙන් ඇතිවන සංඥාවන් කියලයි. ඒවා බොහෝ කොට PM2.5 අතරේ ගණන් බැලෙන්න ඇති.’’ යයි එ.රා. බර්මින්ග්හැම් විශ්ව විද්‍යාලයේ ජොන් අයර්ස් කියා සිටියි. 2011 වසර වනතෙක්ම COMEAP කමිටුවේ සභාපතිව සිටියේ ඔහුය.

වායු දුෂණය හේතුවෙන් ඇතිවන මර්ත්‍යතාව(mortality) පිළිබඳ ජාත්‍යාන්තර ඇස්තමේන්තු ද බොහෝ සේ වෙනස් වේ. එහෙත් සංඛ්‍යා පිළිබඳ තේරුමක් නැති වාද විවාද හේතුවෙන් වැදගත් කාරණාව නොපෙනී වසන්ව යන්නේය යනුවෙන් බ‍්‍රවර් අදහස් කරයි. ‘‘ඇත්ත සංඛ්‍යාව කදිම සිරස්තලයකට  ගැලපෙන්න පුළුවන්. ඒත් එය බොහෝ විට එතරම් වැදගත් නොවන්න පුළුවනි. ’’ ඔහු වැඩි දුරටත් කියයි,  “වැදගත් කාරණාව වන්නේ දුම්පානය වැනි අනෙකුත් ප‍්‍රධාන පෙළේ අවදානම් සමග අපට වායු දුෂණය සැසඳිය හැකි වීමය. ඒ නිසා අපට ප‍්‍රතිපත්ති සැකසීමේ දී හා අරමුදල් සොයා ගැනීමේ දී ප‍්‍රමුඛතා හඳුනාගත හැකියි”.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CUTTING THROUGH THE SMOG යන කොටස ඇසුරෙනි  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: