සැමට විදු නැන නුවණ – Science Literacy for All

බහීර්ග‍්‍රහයන් සෙවීමේ නාසා ටෙස් මෙහෙයුම

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත වෙනත් තාරකා වටා කක්ෂගතව ඇති  ග‍්‍රහලෝක හෙවත් බහීර්ග‍්‍රහයන්(exoplanets) ගැන නොයෙක් වර තතු මගින් අනාවරණය කරනු ලැබ තිබෙන පසුබිමක අද ලිපියෙන් කියැවෙන්නේ ඒ පිළිබඳ නාසා අළුත්ම වෑයම ගැනයි.

අපේ සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි දහස් ගණන් ග‍්‍රහලෝක සොයා ගැනීමේ අරමුණින් නාසා ආයතනය, බහීර් ග‍්‍රහයන් ගවේෂණයටම කැප වූ මෙහෙයුම ඇරඹෙයි. ෆ්ලොරිඩාහි කැනවරල් තුඩුවේ ගුවන් හමුදා මධ්‍යස්ථානයේ සිට ස්පේස් X ෆෝල්කන්   රොකට්ටුවක ආධාරයෙන් නවතම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරිණ. ඇමරිකානු ඩොලර් මිලියන 237 ක් වැය වූ මෙම චන්ද්‍රිකාව හඳුන්වනු ලබන්නේ Transiting Exoplanet Survey Satellite හෙවත් TESS (කෙටියෙන් ටෙස්) යනුවෙනි. සංක‍්‍රාන්ති බහීර් ග‍්‍රහ ගවේෂණ ටෙස් චන්ද්‍රිකාව ග‍්‍රහලෝක  සොයමින්  අභ්‍යවකාශයේ ප‍්‍රභාවත්ම තාරකා 200,000 ක් ගවේෂණය කරමින් වසර දෙකක් පමණ කාලයක් ගත කරනු ඇත.

මේ පිළිබඳ සංකල්පය මුලින්ම ඉදිරිපත් වී ඇත්තේ 2006 වර්ෂයේ දීය. (එම වර්ෂය තාරකා විද්‍යාවට සම්බන්ධ වැදගත් වර්ෂයකි. ග‍්‍රහයෙකු යන්න නිශ්චිතව නිර්වචනය කෙරුණේත් එතෙක් ග‍්‍රහයෙකු ලෙස සැලකූ ප්ලේටෝ ‘වාමන ග‍්‍රහයා’ නම් නව වර්ගීකරණයකට යටත් වූයේත් 2006 වසරේ අගෝස්තුවේ පැවති අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමයේ රැස්වීමේ දීය –පරිවර්තක) අනතුරුව මෙය 2013 වසරේ දී, නාසා ආයතනයේ ‘ගවේෂක  මෙහෙයුමේ’ තාරකාභෞතික විද්‍යා මෙහෙයුමක් ලෙස තෝරා ගනු ලැබීය. ටෙස් දිගින් මීටර 3.9 ක් වන අතර උස මීටර 1.5 කි. එය කිලෝග‍්‍රෑම් 350 ක ස්කන්ධයකින් යුක්තයි. එහි එකිනෙකට සමාන මෙගා පික්සල් 16.8 ක CCD කැමරා හතරකි. ඒ එක් එක් කැමරාවෙහි පෙළ ගැසූ දර්පන(කැඩපත්) හතක් බැගින් ඇත.

“ඉදිරි වසර දශක ගණනාවක් තුළ පර්යේෂණවලට මැනවින් ගැලපෙන ඉලක්ක ගණනාවක් සොයා ගැනීමට ටෙස් සමත්වනු ඇතැ”යි එම ව්‍යාපෘතියේ විද්‍යාඥ ස්ටීවන් රයින්හාට් පවසයි.

බහීර් ග‍්‍රහයන් සෙවීම සඳහා මේ චන්ද්‍රිකාව සංක‍්‍රාන්ති ක‍්‍රමය(transiting method) උපයෝගී කර ගැනේ. මේ ක‍්‍රමයේදී සිදු කෙරෙන්නේ අපේ දර්ශන රේඛාව හෙවත් නිරීක්ෂණ රේඛාව(line of sight) ඔස්සේ ගමන් කරමින් ග‍්‍රහලෝකයක් සිය තාරකාව හරස් කරමින් එම තාරකාව ඉදිරියෙන් ගමන් කිරීමේ දී තාරකාවේ දෘශ්‍ය ආලෝකයේ සිදුවෙන අඩුවීම සොයා බැලීමයි. මෙලෙස කොපමණ ආලෝක ප‍්‍රමාණයක් වස්තුවක් මගින් අවහිර කරන්නේ දැයි අධ්‍යයනය කිරීමෙන් ග‍්‍රහලෝකයේ ප‍්‍රමාණයද එමෙන්ම ග‍්‍රහයෙකුට සිය ධාරක තාරකාව වටා කක්ෂගතව ගමන් කිරීමට වැයවන කාලය මිනීමෙන් ග‍්‍රහයාගේ කක්ෂ ගත ගමන් මගෙහි හැඩය ද නිර්ණය කිරීමට  හැකිය.

නව යුගයක උදාව :

ආසන්නයේ ඇති,  සිය සෞරග‍්‍රහ මණ්ඩලයේ  ප‍්‍රභාමත් ධාරක තාරකා සහිත කුඩා ග‍්‍රහයන් සෙවීම TESS හි ප‍්‍රධාන ඉලක්කය වේ. ඉන් පසුව, ග‍්‍රහලෝක වල විස්තරාත්මක ගති  ලක්ෂණ මෙන්ම ඒවායේ වායුගෝලය පිළිබඳ සෙවීම් සිදු කළ හැකි වේ. මේ කටයුතු වැඩිපුරම සිදු කරනු ලබන්නේ, දැනට පවතින භූමි පාදක උපකරණ ද එමෙන්ම 2020 දී දියත් කිරීමට නියමිත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ ටෙලස්කෝපය ක‍්‍රියාත්මක වූ විට එමගින් ද වේ.

මෙයට කලින් නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම සහ K2 යානය මගින් සිදුකළ කාර්ය භාරයන් TESS මගින් ඉදිරියට ගෙන යනු ඇත. K2 යානය මගින් බහීර් ග‍්‍රහයන් ලෙස සනාථ කෙරුණු වස්තූන් 300 ක් සහ කෙප්ලර් මෙහෙයුම මගින් තවත් 2300ක් වශයෙන් සොයා  ගනු ලැබ ඇත. කෙප්ලර් මෙහෙයුමට පෘථිවියේ සිට ආලෝක වර්ෂ 300,000 පමණ ඈතින් පිහිටි ග‍්‍රහලෝක සොයා ගැනීමට හැකි නමුත් ඉන් ආවරණය වන්නේ අහසින් 0.25% පමණකි. කෙසේ වෙතත් TESS චන්ද්‍රිකාවට ආකාශයෙන් 85% ක් දැක ගත හැකි අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ 300 ක් පමණ ආසන්නයේ පිහිටි ග‍්‍රහලෝක සෙවිය හැකිය. ‘‘එක් එක් බහීර් ග‍්‍රහයා ගැන වෙන වෙනම අධ්‍යයනය කරන්නට අපට හැකිවෙතැයි අප අදහස් කරනවා’’ රයින්හාට් කියා සිටියි. ‘‘මෙය බහීර් ග‍්‍රහයන් පිළිබඳ පර්යේෂණවල නව යුගයක උදාවයි.’’

 

Physics World හි පළවූ NASA launches TESS exoplanet mission යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: