සැමට විදු නැන නුවණ – Science Literacy for All

දුම්වලාව විනිවිද දැකීම : වායු දූෂණය ගැන අපට කළ හැක්කේ කුමක් ද?

වායු දුෂණය පෙනෙන තරමටම භයානක ද? අපිරිසිදු වාතය පිළිබඳ අයහපත් පුවත්  දින දිනම අයහපත් වන බවක් පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට වායු දුෂණය අකල් මරණ නවයකින් එකකට වගකිව යුතුය. එය පොහොසත් රටවල පමණක් නොව දුප්පත් රටවලට ප‍්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටළුවකි. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් සෑම වසරකම සිදුවන අකල් මරණ 200,000 ක් පමණ පිටුපස වායු දුෂණය ඇති බවට සැක කෙරේ. එක්සත් රාජධානිය නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම් පිළිබඳ යුරෝපා සංගම් සීමාවන් දිගින් දිගටම නොතකා හැරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට 2017 පෙබරවාරියේ තර්ජනය එල්ල වූ රටවල් පහ අතුරෙන් එකකි.

කෙසේ වුවද සියල්ල පෙනෙන තරම් ආකාරයට නරක නැත. දුෂිත වායුවල බලපෑම් ප‍්‍රමාණ කිරීම නැතිනම් සංඛ්‍යා වශයෙන් ප්‍රකාශ කිරීම,  සිරස්තල මගින් හුවා දක්වනවාට වඩා සංකීර්ණ එමෙන්ම අවිනිශ්චිත කටයුත්තකි. යම් ක‍්‍රියා මර්ගයක් ගැනීම පිණිස දේශපාලඥයන් වෙත එල්ල වන එන්ට එන්ටම වැඩිවන බලපෑම් වැදගත්  ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු කරයි. වායු දුෂණය එන්ට එන්ටම වැඩිවේ ද? එය කෙතරම් බැරෑරුම් ද? ඒ ගැන කළ හැක්කේ කුමක් ද? ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට පිළිතුරු මේ ලිපිපෙලෙන් ඉදිරිපත්කෙරේ.

ප‍්‍ර: වායු දූෂණයට සෞඛ්‍යයට බලපාන අන්දම.

එළිමහනේ වායු දූෂණය, ලෙඩ රෝග ඇති කරන අන්දම ගැන තවමත් අපට උගෙන ගත  යුතු දෑ  බොහෝ තිබේ. අප දැනට දන්නා පරිදි අපේ ශරීරය මත එහි බලපෑම බහු ආංගිකය, සංකීර්ණය. එමෙන්ම අන්තර් රැඳියාවෙන් යුක්තය. PM2.5, NO2  සහ  ඕසෝන් අපේ පෙනහළු සහ සිරුරේ වෙනත් තැන්වල ඔක්සිකරණ ප‍්‍රතිචාරයන් අවුල් කර දමයි. මෙයින් ප‍්‍රදාහයට(inflammation)  මුල පිරෙන අතර පටක හානිය ඇති කළ හැකි බව අධ්‍යයන වලින් දැක්වේ.

වාතයෙහි ඇත්තේ මොනවාද ?

අංශුමය ද්‍රව්‍ය Particulate matter (PM):මේවා පැමිණෙන්නේ: බලාගාර, කර්මාන්තශාලා, ගෑස් උඳුන්, කර්මාන්ත, යමහල්, දුලි වලා, ලැව්ගිනි, මෝටර් රථ දුමාරය

සෞඛ්‍ය බලපෑම: හරහට මයික්‍රොමීටර(µm) 10 ට අඩු  ඕනෑම දුවිලි හෝ බිඳිති (PM10 ලෙස දැක්වේ) කෙනෙකුගේ පෙනහලූ ඇතුළටම කාවැදිය හැකිය. මයික්‍රොමීටර 2.5 µm ට අඩු (PM2.5) බිඳිති අංශු වඩාත්ම හානිකර වායු දුෂිකය.  0.1 µm වලට වඩා අඩු අධි සියුම් අංශුද ඊට ඇතුළත්ය. PM2.5ට දිගු කළක් නිරාවරණය වීමෙන් පෙනහලූ සහ හෘදය වස්තු  ක‍්‍රියාකාරීත්වය දුර්වල කරන අතර, විශේෂයෙන්ම හෘදයාබාධයකට හෝ ආඝාතයක අවදානම ඇති පුදගලයන්ගේ  මරණ සංඛ්‍යාව ඉහල දමයි.

නයිට‍්‍රජන් ඔක්සයිඩ (NO2): මේවා පැමිණෙන්නේ මාර්ග ප‍්‍රවාහණයෙන්, විශේෂයෙන්ම ඞීසල් එන්ජින් වලින් සහ ගොඩනැගිලි අභ්‍යන්තර රත් කිරීමේ ක‍්‍රම සහ බලාගාර වලිනි.

සෞඛ්‍ය බලපෑම් : PM2.5ට පසු වඩාත්ම හානිකර දුෂකය ලෙස සැලකෙන්නේ NO2 ය. ඊට නිරාවරණය වීමෙන් ශ්වසන ගැටළු ඇතිවිය හැකිය. අතිරේක NO2 (නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්) ස්වේච්ඡ සහභාගීවන්නන්ට පර්යේෂණාගාර පරීක්ෂණ වලදී ප‍්‍රදාහමය ප‍්‍රතිචාර පෙන්නුම් කළේය. කෙසේ වෙතත් දිගු කාලීන බලපෑම් පැහැදිලි නැත.

බොහෝ අධ්‍යයන සොයා බලන්නේ වායු දූෂණයට වැඩියෙන් නිරාවරණය වීම සහ රෝග ව්‍යාප්තිය අතර සහසම්බන්ධයන් ගැනය. නිදසුනක් ලෙස, යුරෝපයේ රටවල් පහක 100,000 පමණ ජනතාවක් වසර 11 ක් තිස්සේ නිරීක්ෂණය කරමින් 2014 සිදු කළ අධ්‍යයනයක දී පෙනී ගියේ PM2.5 වාර්ෂික සාමාන්‍ය නිරාවරණයෙහි 5 μg/m3      වැඩිවීමක්,  හෘදයාබාධ හෝ අස්ථාවර උරස් සම්බාධය (හෘදයේ ධමනියක් පටු වීමෙන් හෘදයට රුධිරය සැපයීම අඩාළ වීම නිසා ඇති වන වේදනාව) සමග ඇති  සම්බන්ධය සියයට 13 කින් ඉහළ දමන බවයි. තවත් අධ්‍යයනයක් පෙන්නුම් කළේ මෙම ප‍්‍රමාණයේ වැඩිවීමක් ළය පිළිකා වර්ධනයවීමේ අවදානම සමග ඇති  සම්බන්ධය සියයට 18 කින් වැඩිකරන බවය.

එපමණක් නොව, ශ්වසන සහ පුප්ඵුසීය (pulmonary diseases) රෝග මෙන්ම ආඝාතය (stroke) සහ වායු දූෂණය අතර හොඳින් තහවුරු වූ සම්බන්ධයක් ඇත. 2017 ජනවාරියේ පළ කල අධ්‍යයනයකින් පෙනී ගියේ ප‍්‍රධාන මාර්ගයකට මීටර 50 ක් ඇතුළත ජීවත්වන පුද්ගලයන්ට විමනස්‍යය(ස්මෘති හානිය = මොළයට වූ හානියක් හෝ එහි රෝගී තත්ත්වයක් හෝ නිසා සිතීමට, මතකයට නගා ගැන්මට හා සාමාන්‍ය පරිදි හැසිරීමට නොහැකි වන සංකීර්ණ මානසික රෝගී තත්ත්වය) වැළඳීමේ හැකියාව මීටර 300 ක් හෝ ඊට වඩා දුරක ජීවත් වන්නන්ට වඩා සියයට 7 කින් වැඩි බවයි. දියවැඩියාව,  ඇල්සයිමර්ගේ රෝගය නොමේරූ (අපරණිත) උපත් සහ මානසික රෝගාබාධත් වායු දූෂණයත්  අතර සම්බන්ධයක් ඇතැයි වෙනත් පර්යේෂණ වලින් ද හෙළිවේ.

Image result for air pollution and health effects

ළමුන්ගේ වර්ධනය කෙරෙහි වායු දූෂණයෙහි බලපෑම ගැන සාක්ෂි එන්ට එන්ටම වැඩිවෙයි. වසරකට සාමාන්‍ය වශයෙන් PM2.5 න් 28 μg/m3 ක් වසර අටක් තිස්සේ නිරාවරණය වූ 18 හැවිරිදි කැලිෆෝනියානුවන්ගේ පෙනහලූ කාර්ය භාරය හීනවීමේ හැකියාව  5 μg/m3 ප්‍රමාණයකට නිරාවරණය වූ අයට වඩා 4.9ක් වැඩි බව 2004 අධ්‍යයනයකින් පෙනී යයි. වායු දූෂණයට ලක් වූ ප‍්‍රදේශවල පාසල් වල ඉගෙනීමට ගිය බාසිලෝනාවේ ළමුන්ගේ සංජානන සංවර්ධනය පමා වූ බව පර්යේෂකයෝ සොයා ගත්හ.

Related image

ලන්ඩන්හි කිංග්ස් කොලිජියේ (King’s College) ප‍්‍රෑන්ක් කෙලීගේ ප‍්‍රධානත්වයෙන් යුතු එක්සත් රාජධානි සහ චීන නව සහයෝගීතා වැඩසටහනක් මගින් වායු දූෂණය හා රෝග අතර සම්බන්ධය ගැන නිශ්චිත අවබෝධයක් ලැබෙනු ඇත. මෙම අධ්‍යයන යටතේ  බෙයිජින් වැසියන් 120 දෙනෙකුට සහ පිටත පිහිටි ගමක වැසියන් 120 දෙනෙකුට දුෂක නිරීක්ෂණ ජංගම උපකරණ ලබාදෙනු ඇත(portable pollutant monitors).  ඉන් අනතුරුව මුත‍්‍රා සහ රුධිර සාම්පල මගින් ලබා ගන්නා දත්ත සංසන්දනය කරනු ලබන අතර දූෂණය අපේ ශරීරවලට සිදු කරන්නේ කුමක් දැයි අවබෝධ කර ගැනීමට උපකාරී වනු ඇත. ‘‘ජනතාව දූෂණයට නිරාවරණයවීම ඇස්තමේන්තු කිරීමේ සිට එය සැබැවින්ම මැන බැලීම සහ ඉන් අනතුරුව ඒවා, ජීව විද්‍යාත්මක ප‍්‍රතිචාරයන්ට  සම්බන්ධ කිරීම වැදගත් ඉදිරි පියවරකි’’ යයි කෙලී කියයි.

එක්සත් රාජධානියේ සිදුවන මරණ සංඛ්‍යාව ඇත්තටම කොපමණ ද?

වායු දූෂණය හේතුවෙන් සිදු වූ බව දැක්වෙන වාර්ෂික මරණ ගැන  සංඛ්‍යාලේඛන  බොහෝ සේ වෙනස් වේ.

වායු දූෂණයෙහි වෛද්‍යමය බලපෑම් පිළිබඳ කමිටුව 2010 ගණන් බලා තිබුණේ හරහට     2.5 μm වඩා අඩු ආංශු(එනම්, PM2.5),  එක්සත් රාජධානියෙහි සිදුවන මරණ 29,000 කට වගකිව යුතු බවයි. ඒ ආරක්ෂාකාරී මට්ටමක් නැතැයි උපකල්පනය කරමිනි.

අවිනිශ්චතා තිබීම හේතුවෙන් මෙම සංඛ්‍යාව 5,000 සිට 55,000 මරණ දක්වා වීමට සියයට 75 ක ඉඩක් තිබෙන බව තේරුම් ගත හැකිය.

7 μg/m3 ආරක්ෂාකාරී මට්ටමක් ඇතැයි උපකල්පනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම සංඛ්‍යාව මරණ 16,400 ක් ලෙස 2012 දී දැක්වීය.

PM2.5 and NO2  හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව එක්සත් රාජධානියෙහි රජය ඇස්තමේන්තු කරන්නේ 44,750 සිට 52,500 වශයෙනි.

වායු දූෂණය නිසා සිදුවන මරණ සංඛ්‍යාව 40,000 ක් යයි බොහෝ විට පුවත් පත් වල පලවේ. එම ගණන් හිලව් එන්නේ එක්සත් රාජධානියේ වෛදයවරුන්ගේ රාජකීය සංගමය ළමා රෝග විශේෂඥ හා ළමා සෞඛ්‍ය විශේෂයන්ගේ රාජකීය සංගමයෙනි. ඒවායේ සංඛ්‍යා ලේඛන අනුව PM2.5 and NO2  වසරකට මරණ 30,000 සහ 50,000 ක් අතර සිදු කරයි.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CUTTING THROUGH THE SMOG යන කොටස ඇසුරෙනි  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: