සැමට විදු නැන නුවණ – Science Literacy for All

මීමැස්සන්ට හානිකර පළිබෝධ නාශක සඳහා යුරෝපයේ පූර්ණ තහනමක්

යුරෝපා සංගමයේ නව නීති, හානිකර පළිබෝධවලින් මීමැස්සන්ට ආරක්ෂාව සපයයි.

නියෝනිකොටිනොයිඞ (neonicotinoids) නමැති පලිබෝධ නාශකය එළිමහනේ භාවිත කිරීම තහනම් කෙරෙන යෝජනාවකට සහාය පළ කිරීමට යුරෝපා සංගමයට අයත් රටවල් පසුගිය සෙනසුරාදා(අපි‍්‍රයෙල් 28) තීරණය කළේය. පරාගකයන්(pollinators) විශේෂයෙන්ම මීමැස්සන් අඩුවීයාමට සම්බන්ධබන්ධකමක් ඇතැයි පැවසෙන, බහුල වශයෙන් භාවිතාවන පළිබෝධ නාශකයකි, නියෝනිකොටිනොයිඞ.  2013 වසරේදී මෙම කාණ්ඩයේ පළිබෝධනාශක වෙත පැන වූ සීමා යුරෝපා රටවල මෙම තීරණය හේතුවෙන් තවත් තද කෙරේ. මෙම යෝජනාවට පදනම් වී ඇත්තේ නියෝනිකොටිනොයිඞ සංයෝග තුනක් එනම්, imidacloprid, clothianidin සහ thiamethoxam මීමැස්සන්ට හානිකර යයි මේ වසර මුලදී පළවූ පර්යේෂණ වාර්තාවක් බව යුරෝපා කොමිසම මගින් නිකුත් කළ නිවේදනයක දැක්වේ. නව නීතරීති සහ ප‍්‍රතිපත්ති යෝජනා කරන සහ ඒවා කි‍්‍රයාවට නංවන යුරෝපා සංගමයේ ශාඛාව වනුයේ යුරෝපා කොමිසමයි.

ඇමරිකා එක්සත් ජනපදය ද, එහි පාරිසරික ආරක්ෂක නියෝජිතායතන (Environmental Protection Agency – EPA) මගින්, මෙකී රසායන සහ අනෙකුත් නියෝනිකොටිනොයිඞ තුළින් එල්ලවන අවදානම ගැන වර්තමානයේ ඇගයීමක නිරතව සිටියි. මේ වසරේ පසු කාලයකදී එහි යෝජනා පිලිබඳ අන්තර් තීරණය නිකුත් කිරීමට නියමිත  බව එම නියෝජිතායතනයේ වෙඞ් අඩවියෙහි සඳහන්ව තිබිණ.

‘නියොනික්ස්’ (“neonics”) යනුවෙන් ද දැක්වෙන නියෝනිකොටිනොයිඞ පළිබෝධනාශකවලට එම නම් යොදන්නේ නිකොටින්වලට ඒවායේ ඇති රසායනික සමානතාවයි. 2005 වසරේදී යුරෝපා සංගමය මගින් භාවිතය අනුමත කරන ලද නියෝනිකොටිනොයිඞ කෘමීන්ට සහ අනෙකුත් අපෘෂ්ඨවංශීන්ට(කොඳු ඇටය රහිත සතුන්ට) විෂ සහිතය. එම රසායනයෙන්  ක්ෂිරපායින් පක්ෂීන් සහ උරගයන්ට දැනෙනවාට වඩා අතිශයින් අන්දමින් විෂ සහිතය.  මෙම පළිබෝධ නාශක වර්ගය කෘමින්ගේ මධ්‍යම ස්නායු පද්ධතිය ඉලක්කකර ගනිමින්  කෘමීන් අඩපණ කර මරා දමනු ලබන්නේ යයි  යු. සං පෙන්වා දෙයි.

එහෙත් 2013 වසරේදී යුරෝපීය ආහාර සුරක්ෂිත අධිකාරිය(European Food Safety Authority) හෙවත් EFSA නියොනික්ස් මීමැස්සන්ට  විශේෂයෙන්ම හානිකර බව තීරණය කළේය. ඒ අනුව මෙම රසායනික සංයෝග භාවිතය සීමා කෙරුණු අතර භාවිතය සඳහා අවසර ලැබුණේ පරාගකයන් ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවීය හැකි ඇතැම් භෝග වර්ග සඳහා පමණයි. ඉන් අනතුරුව 2015 දී නව අධ්‍යයන 588ක විශ්ලේසණයක් මගින් හෙළිවූයේ නියොනික්ස් හේතුවෙන් කැලෑබද (හෙවත් නිදැල්ලේ හැසිරෙන) මීමැස්සන්  සහ පාලිත(හෙවත් ඇති කරනු ලබන) මීමැස්සන් යන දෙපිරිසම අවදානමට ලක්විය හැකි බවයි. නියොනික්ස්, ඔවුන්ගේ ප‍්‍රජනනය කෙරෙහි බලපාන අතර ගමන් මග හසුරුවා ගැනීමේ හැකියාව කෙරෙහි බලපාන බව Science සඟරාව මෑතක වාර්තා කළේය.

පසුව මේ වසරේ පෙබරවාරියේ සිදු කළ නව ඇගැයීමක් හේතුවෙන් යුරෝපා සංගමය තුළ නියෝනික්ස් භාවිතයට මරු පහරක් එල්ල විය. අධ්‍යයන 1500 ක සමීක්ෂණයක් පදනම් කරගෙන EFSA තීරණය කළේ දැනටමත් භාවිතය අර්ධවශයෙන් තහනම් කර ඇති  නියොනිකිස් වර්ග තුන, භෝග ශාකවල රේණු(පරාග)  සහ මල්පැණි(මකරන්දය) මත්තෙහි  විෂ සහිත අවශේෂයක් ඉතිරි කරන බවයි. ඉන් අදහස් වන්නේ ඒවා තවමත් මීමැස්සන්ට විශාල අවදානමක් ඇති කරන බව යයි Nature සඟරාව පෙන්වා දෙයි. එමෙන්ම, නියොනික්ස් පසෙහි ඒකරාශී වන අතර එය භෝගවලට මෙන්ම එම භෝග මත යැපෙන මීමැස්සන්ට ද පරම්පරා ගණනාවක් තිස්සේ බලපාන බවද එම සඟරාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

‘මීමැස්සන්ගේ යහපත අපට  ඉතා වැදගත්.  ඒ මොකද කීවොත් එය ජෛව විවිධත්වයට ආහාර නිෂ්පාදනයට සහ පරිසරයට සම්බන්ධයිනේ’ යනුවෙන් වයිටෙනිස් ඇන්ඩි‍්‍රයුකයිටිස් නිවේදනයක සඳහන් කරයි. හෙතෙම යුරෝපා කොමිසමේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ කොමසාරිස්වරයායි.

2018 අවසන් වන විට යුරෝපා සංගමයේ නව රෙගුලාසි අනුව නියොනික්ස් රසායන සංයෝග තුනම එළිමහනේ භාවිතය තහනම් කෙරෙන අතර ඒවා භාවිතයට ඉඩ දෙන්නේ එම රසායනවලට මීමැස්සන් හා සම්බන්ධයක් නැතැයි සැලකෙන හරිතාගාර තුළ පමණකි. ඉදිරි සති තුන තුළ දී නව තහනමට අදාළ රෙගුලාසි පනවනු ඇතැයි අපේක්ෂිතයි. එහෙත් එසේ කිරීමට පෙර තහනම කි‍්‍රයාත්මක පිණිස තවත් නීතිමය කඩුලූ පැනීමට සිදු විය හැකි බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒවා නිපදවූ සමාගම් දෙකක් අර්ධ තහනමට එරෙහිව කලින් නඩු මගට බැස තිබුණු අතර එහි තීන්දුව මැයි 17 දා ලබාදීමට නියමිතයි.

Live Science හි පළවූ Bee-Harming Pesticides Face Complete Ban in Europe  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: