සැමට විදු නැන නුවණ – Science Literacy for All

ධූමවලාව විනිවිද දැකීම : ඔබත්, ඔබගේ පවුලේ අයගේත් ආරක්ෂාව සැලසීම

වායු දුෂණය පෙනෙන තරමටම භයානක ද? අපිරිසිදු වාතය පිළිබඳ අයහපත් පුවත්  දින දිනම අයහපත් වන බවක් පෙනී යයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන අන්දමට වායු දුෂණය අකල් මරණ නවයකින් එකකට වගකිව යුතුය. එය පොහොසත් රටවල පමණක් නොව දුප්පත් රටවලට ප‍්‍රධාන පෙළේ සෞඛ්‍ය ගැටළුවකි. ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් සෑම වසරකම සිදුවන අකල් මරණ 200,000 ක් පමණ පිටුපස වායු දුෂණය ඇති බවට සැක කෙරේ. එක්සත් රාජධානිය නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් මට්ටම් පිළිබඳ යුරෝපා සංගම් සීමාවන් දිගින් දිගටම නොතකා හැරීම සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට 2017 පෙබරවාරියේ තර්ජනය එල්ල වූ රටවල් පහ අතුරෙන් එකකි.

කෙසේ වුවද සියල්ල පෙනෙන තරම් ආකාරයට නරක නැත. දුෂිත වායුවල බලපෑම් ප‍්‍රමාණ කිරීම නැතිනම් සංඛ්‍යා වශයෙන් ප්‍රකාශ කිරීම,  සිරස්තල මගින් හුවා දක්වනවාට වඩා සංකීර්ණ එමෙන්ම අවිනිශ්චිත කටයුත්තකි. යම් ක‍්‍රියා මර්ගයක් ගැනීම පිණිස දේශපාලඥයන් වෙත එල්ල වන එන්ට එන්ටම වැඩිවන බලපෑම් වැදගත්  ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු කරයි. වායු දුෂණය එන්ට එන්ටම වැඩිවේ ද? එය කෙතරම් බැරෑරුම් ද? ඒ ගැන කළ හැක්කේ කුමක් ද? ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට පිළිතුරු මේ ලිපිපෙලෙන් ඉදිරිපත්කෙරේ.

ප‍්‍ර: වායු දූෂණයෙන් ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම 5 ක් දක්වන්න.

පිළිතුර:

  1. මෝටර් රිය නිවසේ තබා යන්න.

බොහෝ රියදුරන් කල්පනා කරන්නේ තමන් පදවන රියෙන් ජනනය වන්නා වූ විෂ වායු වලින් රියෙහි වීදුරු මගින් ආරක්ෂාව සපයනු ලබන්නේය යනුවෙනි. එහෙත්, ඔවුන් බොහෝ දුරට වැරදිය. 2012 වසරේදී බාසිලෝනාවේ මගීන් සම්බන්ධ කරගෙන සිදු කළ අධ්‍යයනයක දී පෙනී ගියේ වාහන බහුල අවස්තාවලදී   මෝටර් කාර්වල ගමන් කරන  මගීන්, එම මගම වඩා වේගයෙන් යා හැකි පාපැදිකරුවන් හෝ පදිකයන්ට වඩා සියයට 30 ක් කාබන්ඩයොක්සයිඞ් වලටද, කාබන්මොනොක්සයිඞ් වලටද 25 ගුණයක් ද දෙගුණයත් තෙගුණයත් අතර PM2.5 සහ අතිශය සියුම් අංශු (ultra-fine particles) නිරාවරණය වේ. මෙයට එක හේතුවක් විය හැක්කේ මෝටර් කාර් බොහොමයක වාතය ඇද ගැනීම රියේ ඉදිරිපසින් සිදු කෙරෙන අතර ඉදිරියේ ඇති වාහනයේ දුම් බටය ඇත්තේ හරියටම එතැනට මුහුණළායි. සමස්තයක් ලෙස ගත් විට අඩුවෙන්ම විෂ වායුව ආඝ‍්‍රාහානය කළේ බස් මගීන්ය.

Image result for Leave the car at home

සමහරක් අධ්‍යයන වෙනත් නිගමනවලට එළඹෙයි. මේවායේ ප‍්‍රතිඵල  වාහන ගමනාගමනයේ වේගය, වාහනයේ හා ඉන්ධන වල වර්ගය මෙන්ම කාලගුණය ද අනුව වෙනස් වේ. ‘‘එකම උත්තරයක් කියලා නැහැ ’’ලන්ඩනයේ කිංග්ස් කොලීජියේ  බෙන් බැරට් කියා සිටියි, “වාහන තදබදයකට හසුව සෙමින් යන වාහන අස්සේ ඉන්නා කෙනෙකු, නොනැවතී නිදහසේ ගමන් කරන වාහන වලට වඩාවැඩි ප‍්‍රමාණයකින් වායු දූෂණයට නිරාවරණයවෙනවා. ඒත් ඇවිදීමෙන් හා පාපැදි ධාවනයේ ලැබෙන ව්‍යායාමමය වාසිය, සෘණ සාධක වල අවාසිය නැති කරනවා”.

  1. ගම්බද හෝ අතුරු වීදියකට පැන ගන්න.

සමහර වේලාවට සරලම විසඳුම් තමයි කාර්යක්ෂම ම  විසඳුම් වන්නේ. මේ කාරණායේදී නම් සරලම විසඳුම විෂ වායු නිකුත්වෙන මූලයෙන් ඉවතට ඇදෙන එකයි. මෝටර් කාර් වලින් එන NOx සහ PM2.5  සාන්ද්‍රණ වඩාත්ම පවතින්නේ දුම් බටයෙන් මුල් මීටර කිහිපය තුළය. ‘‘ඉතින් වාහන පිරුණු මාර්ගයක සිට තදබදය අඩු වීදියකට යාමෙන් විශාල වෙනසක් ඇති වෙනවා. මොකද දුම් බටයේ සිට වඩාත් ඈතට යාම සහ ඔබත් වාහනත් අතර ගොඩනැගිලි වලින් වැසී යාම නිසාවෙනි ’’ යි බැරට් කියා සිටියි.

වාහන ගමනාගමනය වැඩි නිසා නගරවල සහ මහා නගරවල NO2, කාබන් මොනොක්සයිඞ් සහ අංශුමය ද්‍රව්‍ය මට්ටම් ඉහළය. මේ හේතුව ආශ‍්‍රිත සෞඛ්‍ය අවදානම් ගම්බද වාසීන්ට බලපෑම අඩුවීමට හැකි නමුත් සාමාන්‍යයය ගතහොත්  ඕසෝන් මට්ටම ගම්බද ඉහළය. අනෙකුත් දූෂක ද නාගරික පරිසරයකදී මෙන්ම ගම්බදව ද ඉහළ අඩියක තිබිය හැකි නමුත් සමස්තයක් ලෙස ගතහොත් ගම්බද පාරවල්වල හැසිරීම වඩා ආරක්ෂාකාරීය.

  1. මුහුණු වැස්මක් පළදින්න.

Image result for wear a face mask

මුහුණු වැස්මක් මිලට ගැනීමේදී N95 වර්ගීකරණයේ එකක් තෝරා ගැනීම මැනවි. එය වාතයේ ඇති  0.3μm වලට විශාල අංශු පෙරන බවට ඇමරිකා එක්සත් ජනපදයේ වෘත්තීය  ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ජාතික ආයතනය විසින් සහතික කරනු ලැබ ඇත. සාමාන්‍ය ධූවිලි ආවරණ මුහුණු වැස්ම වුවද මීට සෑහේ. රසායනාගාර පරීක්ෂණ තුලින් හෙළි වී ඇත්තේ සාමාන්‍ය කපු ලේන්සුවකින් අවහිර වෙන්නේ ඞීසල් එන්ජිමක පිටකුරු දුමෙන් සියයට 28 ක් පමණක් බවයි. හිසට පිටුපසින් ගැට ගසන සාමාන්‍ය රෙදි ආවරණයකින් ද එතරම් සෙතක් සැලසෙන්නේ නැත. පාපැදිකරුවන් පළඳින මුහුණ ආවරණ වල කාර්යක්ෂමතාව 55 සිට 85 දක්වා වේ. එක් අධ්‍යයනයකින් පෙනී ගියේ ප‍්‍රාශ්වාස කපාට (වෑල්ව) සහිත ආවරණ වඩා හොඳ සේවයක් ලබා දීමට ඉඩ ඇති බවයි. ශල්‍යකර්මවලදී පළඳින ආවරණ අප නොසිතන තරම් කාර්යක්ෂමය : රසායනාගාරයේ ඇති අංශු වලින් 80% පෙරහන් කිරීමට ඒවාට හැකිය. එහෙත් ඒ හා සමාන ප‍්‍රතිඵල වීදිවලදී ලබා ගත නොහැකි වීමට ඉඩ තිබේ.

ගල් අඟුරු පෙරහන වැනි විශේෂ අංග සහිත නොවේ නම් NO2 හෝ SO2 වැනි වායු වළක්වා ගැනීමට අපහසුය. සමහර ආවරණ කෙනෙකුගේ රුධිර පීඩනය පහළ මට්ටමක තබා ගැනීමට උපකාරී වෙයි. ‘‘දූෂණයට ලක් වූ පරිසරයක දී උත්සන්න වන රෝග ලක්ෂණ ඇති අයෙකුට මුහුණු ආවරණ නුවණක්කාර පූර්වාරක්ෂක පියවරකි’’ යයි බැරට් කියයි. ‘‘ප‍්‍රධාන කාර්ය තමයි හරියටම මුහුණට ගැලපෙන එක. ඔබේ මුහුනේ හැඩයට ඒවා අනුකූල නොවන්නේ නම් ප‍්‍රයෝජනය අඩුය.’’

  1. ළමා කරත්තයට තල්ලූවක් දෙමු.

Related image

ළමුන්ගේ පෙනහළු සහ මොළය වැඩෙමින් පවතින හෙයින් ඔවුන්ට දූෂණයේ අවදානම වඩාත් වැඩිය. වාහන බොහොමයක් ඒවායේ පිටකුරු වායුව (දුම්බටයෙන් පිටකරන වායුව) විමෝචනය කරන්නේ පොළොවෙහි සිට සෙ:මි: 30 සිට 60 අතර උසකිනි. ‘‘පිටකුරු මට්ටමේ සිටීමෙන් වැඩි දූෂක ප‍්‍රමාණයකට නිරාවරණය වෙනවා.’’එක්සත් රාජධානියේ බර්මින්ග්හෑම් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය විද්‍යාඥ රොබ් මැකන්සි පවසයි. 2009 දී සිදු කළ අධ්‍යයනයකින් පෙනී ගියේ ප‍්‍රෑමයක සිටින බිළිඳුන් ඒවා ගෙනයන වැඩිහිටියන්ට වඩා ඞීසල් රථ පිටකුරුවලින් එන අංශුමය ද්‍රව්‍යවලට දෙගුණයක ප‍්‍රමාණයකින් නිරාවරණය වන බවයි. ඒත් ළමා කරත්තවල සිටින බිළිඳුන් හා ඒවා ගෙන යන වැඩිහිටියන් PM2.5 සාන්ද්‍රණයන්ට නිරාවරණය වීමේදී වෙනසක් දක්නට නොමැති බව 2017  පෙබරවාරි පළ වූ පර්යේෂණ වාර්තාවක සඳහන් වේ. කෙසේ වෙතත්, වාහන බහුල මංසන්ධි සහ බස් නැවතුම් වඩාත් දරුණු ස්ථාන ලෙසත් අධ්‍යයනයෙන් හඳුනාගෙන තිබුණි. එහි ප‍්‍රධාන කතෘ, සරේ විශ්ව විද්‍යාලයේ ප‍්‍රශාන්ත් කුමාර් යෝජනා කරන්නේ එවැනි ස්ථානවලදී විශේෂයෙන්ම ළදරු කරත්තයේ උඩ ආවරණය යොදා ගන්නා ලෙසයි.

  1. පිරිසිදු වාතය සපයාගන්න.

Related image

නූතන වාහන බොහොමයක ඇති වායු පෙරහන දූවිලි සහ රේණු (පරාග) වැනි විශාල අංශු වළකාලීම පිණිස සැලසුම් කර ඇතත් ඉතා සියුම් දූලි කොටස් ඒවාට හසු නොවන්නට ඉඩ ඇත. NOx වැනි වායු සහ අතිශය සියුම් අංශු ඒවා හරහා යා හැක. වාහනයක      ප්‍රතිසංසරණ මාදිලියට යොමු වීමෙන් අතිශය සියුම් අංශු 90% කින් පමණ අඩු කරගත හැකි නමුත් කාබන්මොනොක්සයිඞ් මට්ටම් ඉහළ දැමෙනු ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මෝටර් රිය නිපදවන්නන්ගේ ඇතැම් කියා පෑම් ප‍්‍රශ්නයට බඳුන් වී ඇත ද ඔවුන් අතර ඉහළ කාර්ය සාධනයක් සහිත පෙරහන භාවිතය ඉහළ යමින් පවති. නිදසුනකට, සිය වායු පෙරහනවලට PM2.5 නිරාවරණය වීම ඉතා ඉහළ මට්ටමේ සිට බිංදුව දක්වා අඩු කළ හැකි බව ටෙස්ලා (Tesla) සමාගම කියා සිටී. වායු පවිත‍්‍රක (Air purifiers) භාවිතය චීනයේ බෙහෙවින් ප‍්‍රචලිතව ඇත. හොඳින් වැසුණු හෙවත් මුද්‍රිත, වාණිජ කටයුතු වලට යෙදෙන ගොඩනැගිලිවල සහ ඇතැම් නිවාස සංකීර්ණ වලදී මේ වායු පෙරහන හොඳින් ක‍්‍රියා කළත් කාන්දු වීම ඇති නිවෙස්වලදී කාර්යක්ෂමතාවය අඩුය.

NEW SCIENTIST(The Collection): ESSENTIAL KNOWLEDGE (VOL FOUR-ISSUE THREE) හි CUTTING THROUGH THE SMOG යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: