සැමට විදු නැන නුවණ – Science Literacy for All

භූ කම්පනවල සිට ගෝලිය උනුසුම්විම දක්වා

 

දේශගුණ විපර්යාසයේ පිරිවැය 

එක්සත් රාජධානියේ, එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ වායුගෝලීය හා පරිසර විද්‍යා ආයතනයේ ඬේවිඞ්. එස්. රීයි විසිනි.

ආර්ථික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාව  යන දෙකටම පොදු  බොහෝ දේ ඇත. දෙකම රඳා පවතින්නේ අනාගතය ගෙන එන්නේ කුමක්ද යන්න පිළිබඳ නිවැරදි පුරෝකතන මතය. එම පුරෝකතන වලට බොහෝ සේ පාදක වන්නේ කලින් සිදු වූ දේවල්ය. මෙලෙස, නිවාස වෙළඳ පොළ ලබන වසරේදී කෙබඳු වේදැයි අපට දැනුවත් අනුමානයක් පමණක් වුව කළ හැකි නමුත්  ඉදිරි වර්ෂවලදී හරිතාගාර වායු විමෝචන කොපමණ ඉහළ යයිද යන්න ගැන අපට ස්ථීරවම යමක් කිව හැකි නොවේ. එමෙන්ම එවිට පෘථිවියේ දේශගුණය කෙබඳු ආකාරයකට ප‍්‍රතිචාර දක්වා වීද යන්න ද නිශ්චිතව දැක්වීම කළ නොහේ.

එක් අතකින් දේශගුණ විපර්යාසයේ ආර්ථික බලපෑම ගණනය කිරීමෙන් ද අනෙක් අතට දේශගුණ විපර්යාස සංහිඳවීමේ වියදම ගණනය කිරීමෙන් ද මේ අඥාතයන්(නොදන්නා දෙවල්) සියල්ල එක්තැන් කර බලන විට ලැබිය හැකි ප‍්‍රතිඵල පරාසය අසීමිතය. මේසා අවිනිශ්චිතතාවන් ඇති කල්හි පරිසරය වෙනුවෙන් පෙනී සිටින්නන් සහ ඛනිජ තෙල් භාවිතය වෙනුවෙන් පෙනී සිටින්නන් යන දෙපිරිසටම, දේශගුණ විපර්යාස සංහිඳියාව ගැන දෙගොල්ලන් අතර තිබෙන එකිනෙකට වෙනස් ස්ථාවරයන් සාධාරණීකරණය උදෙසා ආර්ථිකමය තර්ක ප‍්‍රයෝජනයට ගත හැකිය.

ගෝලීය වශයෙන් හරිතාගාර වායු අඩු කිරීම වර්තමානයේ ප‍්‍රයෝජනවත් දෙයක් දැයි තහවුරු කර ගැනීම පිණිස එම වායු අඩු කිරීමේ පිළිවෙත්වල පිරිවැය  ප්‍රතිලාභ ලිපි පෙළෙහිදි විශ්ලේෂණය කෙරේ. අපගේම හරිතාගාර විමෝචන පෞද්ගලිකව අඩු කිරීමේ හැකියාව මෙන්ම ඊට වැයවන පිරිවැය ද ඇගයීමට ලක් කෙරේ. දේශගුණ විපර්යාසයේ සම්පූර්ණ ආර්ථික බලපෑම් සලකා බලන විට ශුද්ධ පිරිවැයක් නැතුවම හෝ කුඩා ප‍්‍රමාණයක් පමණක් ඇතිව විමෝචන කැපී පෙනෙන අන්දමින් අඩු කර ගත හැකිය යන්න මාගේ විශ්වාසයයි. එපමණක් ද නොව පුද්ගලයන්ට, දේශගුණය කෙරෙහි සිය බලපෑම අඩු කරන අතරම මුදල් ඉතිරි කර ගැනීමේ විශාල හැකියාවක් ද ඇත. හරිතාගාර විමෝචන සම්බන්ධයෙන් ක‍්‍රියා නොකිරිම සම්බන්ධයෙන් දේශපාලන අලසකම වසා ගැනීමට ආර්ථික හේතු යොදා ගැනීම සාධාරණ නොවේ යයි මම කියා සිටිමි.

Related image

1.හැඳින්වීම

මිනිසුන් තනන හරිතාගාර වායු විමෝචන, පාලනය කළ යුත්තේ කෙසේද, කවදාද පමණක් නොව පාලනය කළ යුතුද යන්න පවා ගැන විවාදයෙහි තීව‍්‍රතාව අපේ වායුගෝලයේ හරිතාගාර වායු මට්ටම් ඉහළ යනවාටත් වඩා වැඩි වේගයකින් ඉහළ යයි. මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන දේශගුණ විප්ර්යාසයේ ආර්ථික හානියට වඩා එම විමෝචන අඩුකිරීමෙහිලා දරණ පිරිවැය බරින් වැඩි යයි බොහෝ දෙනා තර්ක කරති. දේශගුණ හානිය පිළිබඳ මාධ්‍යයට දැක්වෙන, අතිශෝක්තියට නගන කියා පෑම් මෙන්ම පුරෝකතනයෙන් හරිතාගාර වායු සීමා කිරීමේ පියවර ගැන උද්‍යෝගීමත් විශ්වාසයක් මෙන්ම දැඩි සැක සංකා නිතැතින්ම මතුවීමට තුඩු දී ඇත. හරිතාගාර වායු අඩු කිරීමේ අවශ්‍යතාවට එරෙහිව තර්ක ඉදිරිපත් කරන්නන් බොහෝ දෙනා එවැනි පියවර පිරිමැසුම්දායක නොවන බවට සාක්ෂි ලෙස ආර්ථික විශ්ලේෂණයන් උපුටා දක්වති. ආර්ථික කාරණා පදනම් කරගත් එවැනි තර්ක, සමහර විට සදාචාරාත්මකව හෝ මතවාදීව බැහැර කළ හැකි නමුත්  අප ජීවත් වන්නේ මුදලේ අගය අමතක කළ හැකි ලෝකයක නොවේ. දේශගුණ විපර්යාසයේ පිරිවැය ප‍්‍රතිලාභ විශ්ලේෂණ විවිධාකාර ‘‘බොරු වළවල් වලට” වැටීමේ අවදානම ඇත.

ප‍්‍රථමයෙන්ම. ආර්ථික ඉදිරි කල් දැක්ම සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ වර්ෂ හෝ  දශක යන සීමා වශයෙනි. එහෙත්, වර්ධනය වන හරිතාගාර ආවරණය (greenhouse effect)   මගින් මෙහෙයවනු ලබන දේශගුණ විපර්යාස බලපෑම ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ දිගටම පවතින්නට හෝ තවත් තීව‍්‍රවන්නට පුළුවන.

බාහිරත්වය යනුවෙන් දැක්වෙන්නේ දී අති පරිමිතිය නැතිනම් මායිම් රේඛාවට ඔබ්බෙන් ඇති දෑය. නුතන වහරේ, විශේෂයෙන්ම පරිසර විද්‍යාවෙදී බාහිරත්ව බලපෑම(externalities) සහ බැහර පිරිවැය යන යෙදුම් වලින් බොහෝ විට අදහස් කෙරෙන්නේ අසම්බන්ධ නැතිනම් අතාර්තික හෝ සලකිල්ලට නොගන්නා ඵලවිපාක, ධනාත්මක හෝ ඇතම්විට සෘණාත්මක යම් ක්‍රියාවන්ය. නිදසුනකට, කරමාන්ත ශාලාවක් ඉන්ඩිකිරිමේදි ඉන් සාමාජයට ලැබෙන වාසි, රැකියා උත්පාදනය, විනිමය ඉපැයිම වැනි කාරණා සැලකිල්ලට ගැනේ.අනෙක් අතට, එහි විමෝචන හෝ අප ද්‍රව්‍ය බැහැර කිරිමෙන් නොයෙකුත් බලපෑම් ඇතිවිය හැකිය.මීවා බොහෝ විට ගණනය නොකෙරෙන, සැලකිල්ලට නොගන්න්නා ‘බාහිරත්වයන්ය’ — පරිවර්තක

දෙවනුව, විමෝචනය කෙරෙන හරිතාගාර වායු සෑම ටොන් එකකම සැබෑ බාහිරත්ව බලපෑම (‘externalities’)   — ගංවතුරට යට වූ බංගලාදේශයේ නිවසක් වේවා, සුඩානයේ අස්වනු පාළුව වේවා නැතහොත් ඇමරිකා එක්සත් ජනපදයේ ගිණිකොණ දිග අධික තාපයෙන්(heat wave) සිදුවන මරණ වේවා— බාහිරත්ව බලපෑම ප‍්‍රමාණකර සංඛ්‍යාලේඛන වලින් දැක්වීම අසීරුය. එය එසේ වුව, ලොව පුරා දේශගුණ විපර්යාස සංසිඳවීම කෙරෙහි බලපාන රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙත දිගටම කාන්දු වන්නේ පිරිවැය ප‍්‍රතිලාභ විශ්ලේෂණයන් ය. ඒවා (පිළිවෙත්) කාල දර්ශන පථය සහ බාහිරත්ව ගැටළු ගැන වැඩියෙන් සැලකිල්ල දැක්වීමට පටන් ගෙන තිබේ.

මෙතැනදී මම, ගෝලීය උණුසුම්වීම ගැන ඇතැම් ‘පිරිවැය-ප‍්‍රතිලාභ’ අංශ ගැන සහ හරිතාගාර වායු අඩු කිරීම ගැන සොයා බලන්නෙමි. මෙහි අරමුණ, දේශගුණ විපර්යාස බලපෑම් අඩු කිරීම කිසිදාක හෝ පිරිමැසුම්දායක වේදැයි යන්න ඇගයීම සහ බාහිරත්වයන් සම්පූර්ණයෙන්ම ඇතුල් කිරීම, දේශගුණ විපර්යාසයන්හි බලපෑම් සහ දේශගුණ විපර්යාස සංසිඳීම් පිරිවැය අතර තුලනය කෙලෙස බලපායිද යන්න ඇගයීම පිණිසය. මීට අමතරව, ජාතික සහ අන්තර්ජාතික මට්ටම මත පිරිවැය ගැන සාකච්ඡා කිරීමට අමතරව, අපේ එදිනෙදා ජීවිතයේ දී හරිතාගාර වායු අඩු  කිරීමේ පිරිවැය මෙන්ම වාසි ගැනද සෙවීමට මම බලාපොරොත්තු වෙමි. ජීවිත කාලයක් තුළ අප බොහෝ දෙනෙකු කොපමණ නම් හරිතාගාර වායු(හගාවා)   නිපදවනවාද? අපට අපහසුවකින් තොරව විශාල ප‍්‍රමාණයකින් ඒවා අඩු කළ නොහැකි ද? තවද එසේ කළ හැකි නම් අපට ඒ සඳහා මුදල් වැය වෙයිද?

(මේ නව ලිපි මාලාවක පළමු වැන්නයි. ඉතිරි මෙම ලිපියේ ඉතිරි කොටස් පිළිවෙලින් බ්‍රහස්පතින්දා දිනවල  තතු තුළින් බලාපොරොත්තු වෙන්න)

Royal Society Series on Advances in Science (Vol. 2) = Advances in Earth Science: From Earthquakes to Global Warming (2007) නම් ග්‍රන්ථයෙහි  The Price of Climate Change යන කොටස අසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: